Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අප­රා­ධයෙන් පසු ජීවිතය

දූෂණයකට බඳුන් වූ කෙනෙකු (ස්ත්‍රීයක්/පුරුෂයෙක්) මතු දිනෙක විවාහ/ආවාහ කර ගැනීමට කෙනෙකුගේ ඇති කැමැත්ත අකමැත්ත ශ්‍රී ලාංකික සමාජයේ එදිනෙදා කටයුතුවල නිරත වෙන ගමන් බිමන් යන සාමාන්‍ය මිනිසුන්ගෙන් කළ විමසීමක පටිගත කිරීමක් දුටිමි. එය සමාජ ජාලා තුළ සැරිසරමින් මා වෙතද පැමිණි මුත් ඉන් පෙර ඉන්දියාවේදි සිදු කළ එම සමීක්ෂණය ඒ වන විටත් දැක තිබුණෙමි.

නමුත් ශ්‍රී ලාංකික සමාජයේ මිනිසුන්ගෙන් එම ප්‍රශ්නයට ලැබුණ පිළිතුරු වඩා සංවේගය උපදවන්නේ ඔවුන් ලිංගික බලහත්කාරකමට ලක් වූ කෙනෙකු සමඟ යුග දිවියක් ගෙවීමට අකමැති බව කී නිසා නොව කැමැති කී අය පවා "ලිංගික දූෂණය" යන්න කුමක්දැයි කියාවත් තේරුම් නොගෙන සිටීමයි.

ලංකාවේ සාමාන්‍ය වචන භාවිතයේදී ලිංගික බලහත්කාරකමක්/අපරාධයකට ගොදුරු වීම "දූෂණයකට" ගොදුරු වීමක් ලෙස සලකයි සහ එලෙස හැඳින්වෙයි. මේ වචනය නිර්මාණය ලිංගික අපරාධයට බඳුන් වූ අයට අපහාස කිරීමට, ඔවුන්ගේ වටිනාකමක් නැති බව ඇඟවීමට හෝ ඔවුන් අපිරිසිදු වූ කොටසක් බව හැඳින්වීමේ අරමුණින් පටන් ගත්/භාවිත වෙන වචනයක් නොවූවත් ශ්‍රී ලාංකික සමාජයේ බොහෝ පිරිස එම "ලිංගික දූෂණය" යන යෙදුම භාවිත කරන්නේ අපරාධයට ගොදුරු වූ අය තවත් පීඩාවට පත් කිරීමටයි. ලිංගික අපරාධයකට ගොදුරු වූ කෙනෙකුගේ මනස ශරීරය ඈ/ඔහු ගේ ජීවිතයේ පෙර වූ ස්වභාවය ලිංගික අපරාධයකට ගොදුරු වීමෙන් පසු අනවශ්‍ය ඇතැම් විට කුරිරු වෙනස්කමකට බඳුන් වීම සත්‍යයක් වූවත්, ඔවුන්ට දූෂණය වූවන් ලෙස හංවඩු ගැසීමේ අවශ්‍යතාවක් නැත. අපි මේ ගැන බොහෝ අවස්ථාවල කතා කර ඇත්තෙමු. නමුත් ඊටත් වඩා අනුකම්පා සහගත තත්ත්වය වන්නේ සමහර මිනිසුන් කෙනෙකුගේ කන්‍යාභාවය අහිමි වීම එසේ නැති නම් තනිකරම ලිංගික ක්‍රියාවල යෙදීම, සංසර්ගය "දූෂණය" ලෙස හැඳින්වීමයි.

මා ඉහත සඳහන් කළ සමාජ සමීක්ෂණයට සහභාගී වූ සමහර අය කියන්නේ "දූෂණය වෙච්ච එක්කෙනෙක් බඳිනවා. නමුත් ඒක එයාගේ වැරද්දක් නොවේ නම් විතරයි." කියායි. ලිංගික අපරාධයකට ගොදුරු වීම (දූෂණයට ලක් වීම ) කෙනෙකුගේ වරදකින් වන්නේ නැත. බොහෝ අවස්ථාවල නොදන්නා අයටත් වඩා තමන් දන්නා මිනිසුන් අතින්ම ලිංගික අපරාධවලට ගොදුරු වෙන අහිංසක දරුවන්, ගැහැනුන් ඇතැම් විට පිරිමින්ගේ පවා එවැනි අපරාධයකට ගොදුරු වන්නේ ඔවුන්ගේ වරදක් නිසා නොවේ.

මැද පෙරදිග ගිය අම්මා කෙනෙකු නැති ගෙදරක කුඩා දැරිය තමන්ගේම පියා, පවුලේ වැඩිහිටි ඥාතියෙකු අතින් ලිංගික අපරාධයකට ගොදුරු වීමත් රාත්‍රියේ සාදයකට සහභාගී වූ යුවතියක් බීමතින් සිටිද්දී ඇගේම මිතුරෙකු විසින් ලිංගික බලහත්කාරමක් කිරීමත් යන අවස්ථා දෙකේම අපරාධයට ගොදුරු වූ අයගේ අත වරදක් නැත.

අපරාධයේ වරද, වගකීම භාර විය යුත්තේ අපරාධකරුවාට පමණි. බොහෝ අවස්ථා දකුණු ආසියාතික සහ ශ්‍රී ලාංකික සමාජය බොහෝ අවස්ථාවල අපරාධකරුවන්ට වඩා අපරාධයට ගොදුරු වන්නන්ට දඬුවම් කිරීමට කැමැති දුෂ්ට පිරිසක් බවට පත් වීමට හේතුව දුප්පත්කම නිසා ඇති වී ඇති නොනැසී පැවතීමේ තරගය මතින් ආ ක්‍රමයේ ප්‍රතිඵලයක් වෙනත් බොරු මවාපෑම්වලින් වසා ගනිමින් පසුව එය සංස්කෘතියේම කොටසක් වෙන තැනට පත් වීමක් වීද?

කෙසේ නමුත් ඇතැම් සංස්කෘති, ආගමික කොටස් තුළ ලිංගික අධ්‍යාපනය හෙලා දැකීම සිදු වෙන්නේ තමන්ගේ පිරිස දැනුවත් වූ විට පාලනය කිරීමට, අපයෝජනය කිරීමට, පාවිච්චි කිරීමට ඇති අවස්ථාව මඟහැරී යන නිසයි. ඇමරිකාවේ පවා ඇතැම් ජනකොටස් දරුවන්ට පාසල තුළ ලිංගික අධ්‍යාපනය ඉගැන්වීමට විරුද්ධ වේ. එවැනි පාඩම් සිදුවෙන අවස්ථාවට ඔවුන්ගේ දරුවන් ඒවායින් බැහැර කිරීමට ඔවුන් විසින් නිත්‍යානූකූල ලියකියවිලි සපයයි. ඇතැම් පිරිස් තමන්ගේ දරුවන් එවැනි දැනීමක් ලැබීම සම්පූර්ණයෙන්ම වැලකීමේ අරමුණින් දරුවන්ට නිවසේදී අධ්‍යාපනය ලබා දේ. ඔවුන්ගේ දරුවන් පාසලට යන්නේ නැත. දරුවන් පාසලට නොයවා ගෙදරදී අධ්‍යාපනය දෙන (home school) සියලුම මවුපියන්ගේ අරමුණ එය නොවන බව තදින් සඳහන් කරමි.

නොදැනුවත් පිරිස පාවිච්චි කිරීමටත් අනිසි ලෙස පාවිච්චි කිරීමටත් පහසු නිසා ඇතැම් ජන කොටස්වල අපරාධකරුවන්ට පහසුකම සැලැසෙන ක්‍රමයක් ගොඩනැගී ඇත. දකුණු ආසියාතික රටවල බොහෝ ප්‍රශ්නවලට විසඳුම අධ්‍යාපනය තුළින් අවම කර ගැනීම/නැතිකර ගැනීම කළ හැකි වූවත් සංස්කෘතිය ආගම වැනි කාරණා උලුප්පා දක්වමින් ඒවා ආයුධ කරගනිමින් මිනිසුන් දැනුවත් වීම වලක්වන්නේ මිනිසුන්ගේන් ප්‍රයෝජන ගන්නා පිරිසක් සහ ඒවාට රැවටෙන අනුවණ පිරිසක් පහසුවෙන් ඇතිවෙන නිසාය. සමහරුන්ට මොහඳුර ප්‍රීතියකි. අඳුරේ අතපත ගැම්ම මිස එළිය සොයා ගැනීමත් සොයා දීමත් ඔවුන්ට අවාසි සහගතය.

කෙසේ නමුත් " දූෂණය " යන්න සංසර්ගයේ යෙදීමට භාවිත වීම තරම් නූගත් තත්ත්වයකට මේ තරම් පිරුණු පොහොසත් මිහිරි බසක් වූ සිංහල බස හසුරුවන්නන් පත් වීම අතිශය ඛේදජනක වේ. එයට හේතුව ලංකාවේ මිනිසුන් ලිංගික ක්‍රියාව, සංසර්ගය, මෙවුන්දමට අකමැති එය හෙලා දකින පිරිසක් වීම නිසා නම් විය නොහැකිය. ශ්‍රී ලාංකිකයා සංසර්ගයට අකමැති පිරිසක් නම් වර්ග කිලෝමීටර් 65,610 (වර්ග සැතපුම් 25,330) ප්‍රමාණයක කුඩා රටක් වූ ලංකාවේ මිලියන 21,444,000 පමණ මිනිසුන් පිරිසක් ඇති විය නොහැක. ගැටලුව වන්නේ ලිංගිකව එක්වීම යන අති ස්වභාවික ක්‍රියාවලියේ වටිනාකම, ආරක්ෂාකාරි ලෙස ලිංගිකව එක්වීම, එය ජීවිතය විඳීමට කාරණාවක් කර ගන්නවා වෙනුවට ජීවිතය විඳවීමට කාරණාවක් බවට පත්කර ගැනීමයි. මා ඉහත සඳහන් කළ සමීක්ෂණයට සහභාගී වී එක තරුණයෙක් මෙවැනි පිළිතුරක් දෙයි "එක එකා දූෂණය කළ කෙල්ලෙක් මම බඳින්නේ මොකටද?" කෙනෙක් විවාහ වීමට කන්‍යාවක් සොයන්නේ නම් ඒ ඔහුගේ වැඩකි. එයට බාධා කිරීම අපගේ වැඩක් නොවේ. නමුත් කෙනෙකු කැමැත්තෙන් ලිංගික කටයුතුවල නිරත වීම පවා "දූෂණ" යන වචනයෙන් හැඳින්වීමට තරම ලිංගික ක්‍රියාව හෙලා දැකීම අතාර්කික මෝඩ දැකීමකි.

එසේම ලිංගික අපරාධයකය ගොදුරු වූ අය අත කිසිදු වරදක් නැත. කෙනෙක් ඔබ මරා දැමූ විට ඔබේ දේ කොල්ලකා ගත් විට, ඔබට පහර දුන් විට එය ඔබේ වරදක් නොවන්නේ නම් ඔබ ලිංගික අපරාධයකට ගොදුරු වීම ඔබේ වරදක් වන්නේ කෙසේද? එසේම වැඩිහිටි පුද්ගලයෙක් කැමැත්තෙන් තවත් එවැනි කැමැති අය සමඟ සංසර්ගයේ යෙදීම ලිංගික ක්‍රියාවල යෙදීම දූෂණය වීමක් හෝ කිරීමක් නොවේ. දූෂණය වී ඇත්තේ ඇතැමුන්ගේ මනසත්, බස හැසිරවීමත්, සංස්කෘතියත් දැකීමත් වේ.

හිමාලි එන්. ලියනගේ

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();