මට මගේම ප්‍රශ්න තියෙනවා. ඒවට උත්තර හොයන එක එච්චර ලේසි නෑ. මොකද මම ලේසියෙන් ඒ උත්තරවලින් සෑහීමකට පත්වෙන්නෙ නැහැ. මොකද මගේ ප්‍රශ්නවලට උත්තර තියෙන්නෙ අනෙක් අය ළඟ. ඉතින් මම කොහොමද සෑහීමකට පත්වෙන්නෙ?
ප්‍රශ්න කියන්නෙත් මම හදාගත්ත ඒවා. ඒ වුණාට මම උත්තර හොයන්නේ පිට මිනිස්සු මත්තෙ. මේ ලෝකේ මම විතරක් හිටිය නම් ප්‍රශ්න නැතිවෙන්න තිබුණා. ඒත් ඒක මහා විකාර සිතුවිල්ලක්.
පිරිමියෙක් වගේ නෙමෙයි. ගැහැනු විවෘතව සමාජයේ හැසිරෙද්දි ගොඩක් අය ඒ දිහා බලන්නෙ වපර ඇහැකින්. අපි තාක්ෂණිකව, විද්‍යාත්මකව, කොයිතරම් දියුණු වුණත් මිනිස්සු ගැහැනියව දකින්නෙ සම්ප්‍රදායික විදිහට කියලයි මට හිතෙන්නෙ. තමන් කැමති විදිහට ඇඳුම් අදින්න පලදින්න, කැමති වේලාවක කැමති තැනකට යන්න, කැමති පිරිමියෙක්ට ආදරේ කරන්න, තමන්ගෙ විවාහය ගැන තීරණය කරන්න, දරුවන් බිහිකිරීම ගැන තීරණය කරන්න, රැකියාවක් තෝරගන්න.... මේවගේ බොහොමයක් තැන් වලදි ගැහැනියට සිද්ධ වෙනවා බැඳීම් සහ සමාජය කියන කාරණාවලට අනුකූලව හැඩගැහෙන්න. තමන්ගේ හැඟීම්, බලාපොරොත්තු යටපත් කර ගෙන ඉහතින් සඳහන් කල කාරණා වලට අනුගත වෙන්න. ඉතින් ගැහැනු කවදද නිදහසේ ජීවත් වෙන්නෙ? තියෙන බැදීම් සහ අලුතින් පටන් ගන්න බැදීම් වලට අනුව යාන්ත්‍රික සත්වයෙක් වෙන්න ගැහැනියට සිද්ධ වෙනවා.
එහෙම හිරවෙච්ච අය හිත ඇතුෙළන් නිදහස හොයනවා. එහෙම නැත්නම් හැඟීම් මරල දානවා.
නමුත් හැඟීම් මරල දානවට වඩා හොරෙන් හරි ඒ හැඟීම් ජීවත් කරන්න පුළුවන් නම් ගැහැනු හරි සුන්දරයි. ඒක මම කියන දෙයක් නෙමෙයි. මම දකින දෙයක්. එහෙම ගැහැනුන්ට පිරිමි යටිහිතින් හරිම කෑදරයි. හැබැයි ඒ අයිති කරගන්න නෙමෙයි. ටික කාලෙකට හරි ළගින් තියාගන්න. එහෙම නැත්නම් ටික වෙලාවකට හරි ළගින් තියාගන්න.
පිරිමි වශී කරගන්න මේකප් ගොඩක් තවර ගන්නවත්, නවීන විලාසිතා ගොඩක්වත් ඕන වෙන්නෙ නෑ. අසීමිතව නිදහස විඳින ගැහැනුන්ට පිරිමි ආකර්ෂණය වෙන්නෙ නිතැතින්මයි.
ඉස්සර කාලෙ නම් හොරෙන් ගැහැනු රසවිඳින්න පිරිමි හැංගිලා හිටියෙ නාන ළිං ළඟ, පොකුණු ළඟ, යන එන පාරවල් ගානෙ, බෝක්කු උඩ. පෝයට පන්සල් යන්නෙත් ලස්සන ගැහැනු ළමයි බලන්න. පෙරහරක්, කාර්නිවල් එකක්, වෙසක් වලට එහෙමත් නෙත් වසඟ කරන ලලනාවක් දැක ගන්න බොහොමයක් කොලු ගැටව් මග බලාගෙන ඉන්නවා .
දැන් ඒ හැමදෙයක්ම වෙනස් වෙලා. ගැහැනු රස විඳින්න පුළුවන් ක්‍රම තමන්ගෙ මොබයිල් එකේම තියෙනවා. කොච්චර දුර හිටියත් ළඟ ඉන්නවා වගේ දැනෙනවා. ගැහැනු පිරිමි සංසර්ගය හැර අනෙක් බොහොමයක් අවශ්‍යතා දැන් සමාජ ජාලය භාවිතා කරල කර ගන්න පුළුවන් .
හිරවෙලා, කොටුවෙලා හිටිය ගැහැනු පිරිමි දෙගොල්ලොම තමන්ගෙ නිදහස හොයාගත්තෙ සකර්බර්ග්ට පිං සිද්ධ වෙන්න. facebook ලෝකයම වෙනස් කළා. පහුගිය දවස් වල අපේ රටේ තිබුන facebook වාරණයත් එක්ක අපේ ජිවිත වලට බුකියේ තිබුන බලපෑම හොදින්ම දැනුණා.
මේ කතාවත් බුකියට සම්බන්ධයි.
මම දන්න අක්කා කෙනෙක් හිටියා. එයාට facebook පෙම්වතෙක් හිටියා. හැබැයි කවදාවත් මුණගැහිලා නෑ. මොකද ඒ මනුස්සයා හිටියෙ අල්ලපු රටේ. ඇත්තටම අතින්වත් අල්ලන්න බැරි ඒ වගේ පෙම්වතෙක්ගෙන් මට නං වැඩක් නැහැ. ඒත් අක්කනං මම හිතන්නෙ පවුල් ජීවිතේ එයාට අහිමි සැනසීම හොයාගත්තෙ ඒ පෙම්වතාගෙන්. ඒත් සැමියාට කීප වතාවක් මේ ප්‍රේමය අහුවෙද්දි සැනසීම වැනසීමක් වුණා. මම හැම වේලාවෙම කල්පනා කළේ ඇයි ඒ වගේ සම්බන්ධයක් නිසා ජීවිතේ අවුල් කර ගන්නෙ? අඩු තරමින් එක හමුවීමක්වත් නැතුව නිකන්ම විත්තිකාරියක් වීම මහා අපරාධයක්.
ගැහැනු හොයන්නෙ ආදරේ. තමන්ගෙ කෙනෙකුගෙන් ඒ දේ නොලැබෙද්දි කාලයක් ගිහින් හරි තමන්ගේ අවශ්‍යතා කොහොම හරි ඉෂ්ට කර ගන්න පෙෙළඹෙනවා. තමන් ගැන නිතර හොයල බලද්දි, ආදරණීය කතා කියද්දි ගැහැනු අතරමං වෙනවා.
සහමුලින්ම, ලිංගිකත්වය ඉල්ලන පිරිමියෙකු ප්‍රතික්ෂේප කළත්,
"මම හරිම ආසයි ඔයාගෙ පපුවට ඔළුව තියන් ඉන්න"
කියන පිරිමින්ට ගැහැනු හිත යටින් කැමතියි. ඒ පැණි වෑහෙන කතා වලින් ගැහැනුන්ගෙ හැඟීම් පිබිදෙනවා. ඒනිසා ගැහැනු හිතන්නෙ කෙලින්ම sex වලටකැමතී කියන පිරිමි වනචරයි. නමුත් වටේ ගිහින් අවසානෙ එතැනටම එන පිරිමි වැදගත් .
එතැනදි සමහර ගැහැනුන්ට වරදිනවා. ඒත් වැරදි වැරදි හරි ගැහැනු ආදරේ සොයමින් තමන්ගෙ හීනවල ජීවත් වෙනවා. සමහරු නිදහසේ සීමා මායිම් තරණය කරද්දි තවත් සමහරු හොරෙන් ඒ ලෝකෙ ජීවිතයක් හොයන්න උත්සහ කරනවා.
ගැහැනු සංකීර්ණයි. ඒ වගේම සංවේදීයි. ආක්‍රමණශීලියි .
කොච්චර වැරදුණත්, පැරදුණත් ආයෙ නැගිටින්නත්, කිසිදෙයක් නොවුණු ගානට ජීවිතේ ඊළඟ පියවර තියන්නත් තරම් ධෛර්ය වන්තයි.
ඒ තමයි ගැහැනුන්ගෙ හැටි...
[ශිවන්ති ඒකනායක- resa]
0 Comments