Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මිලටරි පාලනයක්, හිට්ලර් පාලනයක් ඕන කියනවා නම් ඉතිහාසයේ පාඩම් ආයෙත් ඉගෙන ගනිමු – ඇමති නවීන් කියයි.

 

Minister_Naveen_Kotmale

සමහර අය කියනවා නම් අපිට ඕන මිලටරි පාලනයක්, අපිට ඕන හිට්ලර් පාලනයක් කියලා පොඩ්ඩක් ඉතිහාසයේ පාඩම් ආයෙත් ඉගෙන ගනිමු කියා පවසන බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක ප්‍රකාශ කර සිටී. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ කොත්මලේ පූඩළුඔය ප්‍රදේශයේදී පැවති එක්සත් ජාතික පාක්ෂික ජන හමුවේදී තම පාක්ෂිකයින් අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“ළඟදී අපේ ස්වාමීන් වහන්සේ නමක් කියනවා හිට්ලර් ආපහු එන්න ඕනේ කියලා ලංකාවට. ඕන කෙනෙක් කමක් නෑ හිට්ලර් වගේ කෙනෙක් නම් ඕන නෑ. අපි දන්නවා මිනිස්සු මරනවා මිනිස්සුන්ට නිදහසක් නෑ හමුදා පාලනය. බ්‍රිගේඩියර්වරු තමයි රට පාලනය කරන්නේ.  ටිකක් හිතලා බලන්න මේ ආණ්ඩුවේ කොයි තරම් අඩුපාඩුකම් තිබුණත් නිදහස කියන එක තියෙනවා. අද අපිට ඕන දෙයක් කියන්න පුළුවන්. අද සුදු වෑන් සංස්කෘතියක් නෑ . සමහර අය කියනවා නම් අපිට ඕන මිලටරි පාලනයක් කියනවා නම්, අපිට ඕන හිට්ලර් පාලනයක් කියනවා නම් මම කියනවා පොඩ්ඩක් ඉතිහාසයේ පාඩම් ආයෙත් ඉගෙන ගනිමු කියලා. මක් නිසාද හිට්ලර් එදා කළ දේ ජර්මනියට කිබිසිනියා කළා ජර්මනිය ඔහු එදා. අලුගෝසු සමාජයක් බවට ජර්මනිය පත් කළා. අපේ එහෙම සංස්කෘතියක් නෑ. අපේ තියෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ස්වරූපයක්. අපිට තියෙන්නේ නිදහස. අපි මේක අගය කළ යුතුයි.”

මම ඉතාමත් සතුටු වනවා අද දින මාගේ නිජ බිම වන කොත්මලේ මගේ පවුලේ හදවත වන මේ පින් බිමට ඇවිල්ලා මාගේ ඥාතීන් සමඟ සුළු මොහොතක් ගත කිරීමට ලැබීම ගැන. අපි මෙවැනිම උත්සවයක් නුවරඑළිය ආසනයේත් පැවැත්වූවා. විශේෂයෙන්ම මට මතක් වෙනවා මගේ දේශපාලන ගමනේ 1995 මම පුංචි සංවිධායකවරයෙක් විදිහට පටන් අරගෙන අද පක්ෂයේ ප්‍රබලම තනතුරක් මට ලැබිලා තියෙනවා. මට මේ තනතුර ලබා ගැනීමට විශාල ශක්තියත් කොත්මලේ ජනතාව මට ලබා දීලා තියෙනවා.

මගේ ජීවිතේ කවදාවත් මම ඒක අමතක කරන්නේ නෑ. මක් නිසා ද තමන්ගේ මුල අමතක නොකර තමා කොහෙන්ද ආවේ? තමන්ගේ අනාගතය කොහාටද යන්නේ ? අනාගතයේ ඒ තැන්වලට ගිහිල්ලා  ඒ හැරවුම් ලක්ෂ වලදී තමන් සමඟ කවුද ඉන්නේ ? ඒ ජනතාවයි කියන මූලික ගුණාංග මිනිහෙක්ගේ ඇගේ තිබිය යුතුයි. තමන්ට උදව්කරන මිනිස්සුන්ට උදවු කිරීමට උවමනාවක් හදවතේ හැඟීමක් තිබිය යුතුයි. එහෙම නැත්නම් මේ දේශපාලනය කරලා බලයටයි තනතුරු වලටයි විතරක් නෙවෙයි අපේ අප්පච්චි අපි දේශපාලනය ඉගැන්වූයේ.

අපේ අප්පච්චි අපිට දේශපාලනය ඉගැන්වූයේ නවින් පුතේ, මයන්ත පුතේ පුළුවන් තරම් මිනිස්සුන්ට උදව් කරන්න. ඉතිං මේ අවුරුදු 20 පමණ එක්සත් ජාතික පක්ෂයේ විපක්ෂයේ ඉඳලා තියෙනවා.   මේ කාලය තුළ අපිට නොයෙකුත් අමිහිරි අත්දැකීම් වලට මුහුණ දෙන්න සිද්ධ වුණා. මේ කාලය තුළ අපගේ බලාපොරොත්තු සඵල වුණේ නෑ. අපි 2015 බලයට ආවාට පසුව සියලු දෙනාම හිතුවා ඉතාමත්ම ඉක්මණින් අපෙගේ සිහින ඉෂ්ට කර ගන්න පුළුවන් වෙයි කියලා. අද එහෙම තත්ත්වයක් වෙලා නෑ. ඒ නිසා තමයි එක්සත් ජාතික පක්ෂය කියන මේ ප්‍රබලතම දේශපාලන පක්ෂය , ඒ වගේම ප්‍රවිශ්ඨ ප්‍රබල බුද්
ධිමත් නායකයන් බිහි කළ දේශපාලන පක්ෂය අද මාස 06න් බිහිවුණු හදිසියේ නමක් නැති පොහොට්ටුව කියන දේශපාලන බලවේගයට දෙවැනි වෙලා තියෙන්නේ ඒකයි. අපි අනිවාර්යෙන්ම මේ තත්ත්වය තමුන්නාන්සේලා වෙනුවෙන් හරි ගස්සනවා කියන එක මම කියන්න කැමතියි. අපි මේ එක්සත් ජාතික පක්ෂය නැති වෙන්න ඉඩ දෙන්නේ නෑ. අපේ තාත්තලාට කරන ලොකුම අගෞරවය තමයි මේ දේශපාලන බලවේගය ක්‍රමක්‍රමයෙන් හීන වීමට දෙන එක. එහෙම නම් අපිට අද යුතුකමක් තියෙනවා කෙළින් කතා කරලා මේ ප්‍රශ්න දිහා බුද්ධිමත්ව බලලා අපගේ නායකත්වයත් සමඟ ගැටිලා හෝ මේ තිබෙන ප්‍රශ්න වලට විසඳුම් ලබා දෙන්න. අද එක්සත් ජාතික පාක්ෂිකයෝ කියන්නේ අපිව බලා ගන්න. අපිට යම්කිසි දෙයක් කරන්න. අපි එදා ඉඳලා ගොඩක් ඉවසීමෙන් බලා ගෙන හිටියා. අපේ ගමේ පාර, ප්‍රජා ශාලාව, ලයිට් වතුර ටික ලබා දෙන්න කියලා . අපිට මතකයි ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාගේ කාලයේ වැඩ වුණු හැටි. අපිට මතකයි 1977 1994 වෙනකන් එක්සත් ජාතික පාක්ෂිකයන්ට වැඩ කරපු හැටි. අද මම සෑම සිකුරාදාම සිරිකොත මූලස්ථානයේ ඉන්නවා. සමහර අවස්ථාවල පාක්ෂිකයෝ ඇවිල්ලා අඬනවා. ඒ අය කියනවා අපි කැමතියි පක්ෂය වෙනුවෙන් මැරෙන්න වුණත්. නමුතක් අපිටත් ඕනේ අපේ පක්ෂය අපි බලාගනියි කියන හැඟීම.  

ගාමිණී දිසානායක මැතිතුමා විශේෂයෙන්ම මනුස්සත්වය අගය කළ දේශපාලඥයෙක් නායකයෙක්.  දැන් පෙන් වූ වීඩියෝ දර්ශන වලින් දකින්න ඇති එතුමා එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වෙලා රාජාලියා ගෙන් වෙනමම ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ යනුවෙන් පක්ෂයක් ඇති කර ගෙන ඡන්දය ඉල්ලුවා. ඒ පෙන් වූ මාස්වෙල රැස්වීමේ හිටියේ මිනිස්සු 10 දෙනයි. ඒ එතුමාගේම ගමේ. ඒක තමයි දේශපාලනය කියන්නේ.  

සමහර තැන් වලට ගියහම එක්සත් ජාතික පක්ෂයෙන් අයින් වෙලා ඉන්නේ මිනිස්සු දෙන්නයි තුන් දෙනයි. ඒත් එතුමා ඒ මිනිස්සුන්ට කතා කළා. මොකද එතුමා මට කීවා නවීන් පුතේ මම මෙතන තුන් දෙනෙක්ට කතා කළත්, අර ගෙවල් ඇත්ළේ ඉන්න මිනිස්සු මගේ කතාව අහ ගෙන ඉන්නවා කියලා. මොකද ඒ දවස් වල මිනිස්සු එන්න බයයි ගාමිණී දිසානායක මැතිතුමාගේ කතාව අහන්න. එවැනි දේශපාලනයක් කරලා තමයි අපි මේ තැනට ආවේ.  මම නිතරම කියන දෙයක් තමයි මටයි මගේ සහෝදරයටයි ඔටුණු පළඳවන්නවත් සාටක පළඳවන්නවත් අපේ තාත්තලා හිටියේ නෑ. අපි පටන් ගත්තේ පහළ මට්ටමින්. සාමාන්‍ය සංවිධායක ධුර අරගෙන අනුරුද්ධ රත්වත්ත මහත්යාත් එක්ක ගැටිලා ඒ තිබ්බ භීෂණයට තර්ජන ගර්ජන වලට මුහුණදීලා ක්‍රමක්‍රමයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී වෙලා නියෝජ්‍ය ඇමතිවරයෙක් වෙලා කැබිනට් ඇමතිවරයෙක් වුණේ බොහොම අමාරුවෙන්. එම නිසා මම සතුටු වෙනවා විශේෂයෙන්ම මට මේ ලැබුණු එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක තනතුර ගැන. මේ තනතුර මට ලබා දුන්නේ මගේ පක්ෂයේ සංවිධායකවරු හා පක්ෂයේ මන්ත්‍රීවරුන්ය. නායකතුමා හදිසියේ එන්න කීවා අරලියගහ මන්දිරයට. මන්ත්‍රීවරුන්ට හා සංවිධායකවරුන්ට හදිසියේ කොළ දුන්නා. ඒ කොළ වල තමන් කැමති 10 දෙනෙකුගේ නම් ලියන්න කීවා. ඒ වෙලාවේ තමුන්නාන්සේලාගේ මේ නවින් දිසානායකට තමයි වැඩිම ප්‍රසාදය හිමි වුණේ. ඒ රහස් ඡන්දයෙන් තමයි මට මේ ජාතික සංවිධායක තනතුර හිමි වෙන්න අවස්ථාව ලැබුණේ.

ඉතිං අපි එදා තරුණ මන්ත්‍රීවරු හැටියට මට විශාල සිහින බලාපොරොත්තු තිබුණා. මම හිතුවා දේශපාලන ගමනේ ඉතාම ඉක්මණට ගිහිල්ලා මම වෙනුවෙන් නෙවේ ජනතාව වෙනුවෙන් පාක්ෂිකයෝ වෙනුවෙන් විශාල වැඩ කොටසක් කරන්න අවශ්‍යයි කියලා. මම දේශපාලනය බැලුවේ හරියටම හොඳ අතින්. මෙය කළ යුතු දෙයක් හැටියටයි දේශපාලනය දිහා බැලුවේ. ඒ නිසා අපි පක්ෂයේ යම් යම් අසාධාරණකම් වෙන කොට පක්ෂය වැරදි තීරණ ගන්න කොට , පක්ෂය සුදුසු කෙනාට සුදුසු තැන දෙන්නේ නැති වෙන කොට අපි ඉතාමත් නිර්භීතව කතා කළ. අපි කීවා මේ පක්ෂය ප්‍රතිසංවිධානය කරන්න අවශ්‍යයි. අලුත් දිශාවකට ගෙන යන්න අවශ්‍යයි.  අපි ඒකයි අපේ ජීවිත කාලයේ විශාල කොටසක් විපක්ෂයේ හිටියේ. අපි මැතිවරණ කීයක් පැරදුණාද ? එදා විජයග්‍රාහී දේශපාලන බලවේගය. ඔටෝ එකේ 40% ඡන්ද වැටෙන පක්ෂය. දැන් 33% වැටිලා තියෙනවා. නමුත් නවින් එදා කීවා මේ විදිහට යන්න බෑ කියලා. මම එහෙම කීව නිසා මාව කොන් කළා. මට තැනක් දුන්නේ නෑ.

නමුත් මම අද අපගේ නායකතුමා සමඟ ඉතාමත් හොඳින් වැඩ කරනවා. එදා තරුණ කොල්ලා නෙවෙයි අද කතා කරන්නේ මම දැන් වයසයි අවුරුදු 50යි. මගේ තාත්තා ඒ ත්‍රස්තවාදයට මුහුණ දෙනකොට අවුරුදු 52යි. නමුත් අපි දේශපාලන ගමනක් ඇවිල්ලා තියෙනවා. විශ්වාස කරන්න අවුරුදු 20ක දේශපාලන ගමනක්. මම තරුණයන්ට කියනවා මේ දේශපාලනයට එන්න.

අද තමුන්නාන්සේලාගේ දූ පුතුන් දේශපාලනයට එන්නේ නෑ. අපි ඇත්ත කතා කරන්න ඕනේ.  මේ තරුණයෝ අම්මලා තාත්තලාගෙන් අහනවා අපිට මොනවද දේශපාලනයෙන් ලැබුණේ කියලා. නමුත් මම කියන්නේ මේ අත්දැකීම් ලබා ගන්න දේශපාලනය තමයි හොඳම දේ. තමන්ගේ හදවත හොඳ නම් බුද්ධියක් තියෙනවා නම්, ජනතාවට සේවය කරන්න උවමනාවක් තියෙනවා නම් දේශපාලනය තමයි හොඳම දේ. මක් නිසා ද අපි ලබන මේ අත්දැකීම් කිසිම විශ්ව විද්‍යාලයකින් ලබා ගන්න බෑ. කිසිම ඉස්කෝලෙකින් ලබා ගන්න බෑ. මට ඒ අත්දැකීම් තුළින් අද ඕනෑම දෙයක් සමඟ ගැටිලා ප්‍රජාතන්ත්‍ර නායකයෙක් හැටියට මට පුළුවන් ඕනෑම දේකට මුහුණ දෙන්න කියන විශ්වාසය අද මගේ හදවතේ තියෙනවා.

යම් කෙනෙක්ට බණින කොට තර්ජනය කරන කොට ඒ ප්‍රජාතන්ත්‍රවාදී ස්වරූපය. ඒ අයිතිය ඕනෑම පුද්ගලයෙකුට තියෙනවා. නිදහස් මාධ්‍ය මේ රටේ තිබෙන මූලික සන්ධිස්ථානයක්.  මාධ්‍ය වේදීන් ඕනෑම පුද්ගලයෙක්ට නායකයෙක්ට ප්‍රහාර එල්ල කරන කොට සුදු වෑන් එක්ක දාලා ඒ මිනිහව උස්සලා ඝාතනය කරන එක නෙවෙයි විසඳුම. අපි ඒවට විරුද්ධයි. ඒවට විරුද්ධ නිසා තමයි අපි මහින්ද රාජපක්ෂ ආණ්ඩුවෙන් එළියට ඇවිල්ලා ඒ ආණ්ඩුව පැරැද්දුවේ. අපි කවදාවත් එවැනි සංස්කෘතියකට ආය මේ රටේ පාලන බලය ලබා දෙන්නේ නෑ කියන එක මම තමුන්නාන්සේලාට පැහැදිලිව කියනවා.

එම නිසා අද ඒ අඩුපාඩුකම් තිබෙනවා නම් විශේෂයෙන්ම ගමේ සංවර්ධනයට අපි තමුන්නාන්සේලාට පැහැදිලිව කියනවා රුපියල් මිලියන 200ක් සෑම ගමකටම ලබා දෙනවා. කෝටි 20ක මුදලක් අපි තමුන්නාන්සේලා ලබා දෙනවා ඉදිරි මාස 6 තුළ කියන එක පැහැදිලිවම ප්‍රකාශ කරනවා.   මේවා පැහැදිලිවම දිස්ත්‍රික් නායකයා හරහා අපේ ආසන සංවිධායකවරුන්ට අපි බෙදා දෙනවා. තමුන්නාන්සේලාට අවශ්‍ය දේ කියන්න අපි අනිවාර්යෙන්ම ඒවා තමුන්නාන්සේලාට ලබා දෙනවා. අපි අනිවාර්යෙන්ම රස්සා ලබා දෙනවා ගමේ තරුණයන්ට. අපි එය කළ යුතුයි. එදා 1994 සමෘද්ධියට රස්සා දුන්නා නම් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ට රස්සා දුන්නා නම් ඇයි අපිට බැරි ඒක කරන්න.  මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාව අපි මෙතන ඉන්ඳුවේ එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ ඡන්දෙන් කියන එක මා මේ අවස්ථාවේ මතක් කරන්න කැමතියි. එතුමා අපිට මේවාට සහයෝගය ලබා දිය යුතුයි. අපි බලාපොරොත්තු වෙනවා අලුතින් සෑම අසනයකටම 1000ට සමෘද්ධිය ලබා දෙන්න. එදා ඡන්දයේදී අපිට පුංචි පාඩමක් ඉගැන්නුවා. නමුත් මතක තියා ගන්න 56% රාජපක්ෂලාට ඡන්දය දුන්නේ නෑ. රතු එළියක් පත්තු වුණා. ඉතිං අපි දැන ගන්න ඕන මිනිස්සු මොනවාද කියන්නේ කියලා. මිනිස්සුන්ගේ පොහොර සහනාධාරය කපලා. වල් නාශක නැතිව , රුකී රස්සා ඇති කරන්නේ නැතිව වචන වලින් පමණක් ඡන්ද දිනන්න බෑ. ඒ නිසා මම බලාපොරොත්තු වෙනවා පනක්ෂයට උචිත පක්ෂය ජයග්‍රාහී මාවතකට ගෙන යන්න පුළුවන් වැඩපිළිවෙලක් නවින් දිසානායක ඉදිරිපත් කරනවා කියන එක මම කියන්න කැමතියි.  

මේ සැලැස්මට දැනටමත් පක්ෂ නායකත්වයෙන් අනුමැතිඅය ලැබිලා තියෙනවා. මට මෙ සඳහා ලක්ෂ 4000 ක් වෙන් වෙලා තියෙනවා. මම මේ මුදල් බිම් මට්ටමේ අපේ පාක්ෂිකයින්ට ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. මම කියන්නේ පසුගිය ඡන්දය අපිට හොඳයි .අපේ නායකයින්ගේ ඇස් ඇරුණා. නායකයන්ට ජනතාවගේ දුක ප්‍රශ්න තේරුණා දැනුණා.   නැත්නම් මෙහෙම වැඩපිළිවෙලක් දියත් කරන්න එන්නේ නෑ. ඒ නිසයි පාක්ෂිකයන් බලා ගන්න ප්‍රතිපාදන වෙන් කරන්නේ. 2020 මැතිවරණයට අපි ලෑස්ති වෙනවා. අපි අපේ පරාජයන්ගෙන් පෝෂණයවනවා මිසක් දේශපාලනයෙන් පස්සට යන්නේ නෑ. අපි මේ යන ගමන එක් වෙලා යන්න අවශ්‍යයි. එක්සත් ජාතික පක්ෂයේ මූලික ප්‍රතිපත්ති ආරක්ෂා කරන්න අවශ්‍යයි. ඒක තමයි මේ විවෘත ආර්ථික වෙළදපල ක්‍රමය හරහා අපේ ජනතාවට අවශ්‍ය 21 වන ශතවර්ෂයට උචිත ගුණාත්මක පොහොසත් රටක් ඇති කළ යුතුයි. අපිට ලේබල් ගහනවා දේශද්‍රෝහීන් කියලා .

අපි කවදාවත් සංඝරත්නයට විරුද්ධව ක්‍රියා කරලා නෑ. මගේ පියාගේ සෙවනින් කොත්මලේ මහවැලි මහා සෑය ජනතාවට ලබා දුන්නා. අපි සිංහල බෞද්ධකමට විරුද්ධ නම් අපි මෙහෙම කරනවා ද? අපේ සිංහලකමට බෞද්ධකමට විරුද්ධවන දෙයක් වනවා නම් ප්‍රථමයෙන්ම ඊට නැගී සිටින්නේ මේ නවින් දිසානායක බව මම පැහැදිලිවම ප්‍රකාශ කරන්න කැමතියි. ඉතිං අපි මේ රටට බලපෑම් කිරීමට කාටවත් ඉඩ දෙන්නෙක් නෑ. අපි රාජපක්ෂලා වගේ අපේ සිංහල බෞද්ධකම වැඩිය පෙන්වන්නේ නෑ . නමුත් අපි සිංහල බෞද්ධකම ආරක්ෂා කරන පක්ෂයක්. අපේ සියලු නායකයෝ අනෙකුත් සියලු ආගම් වලටත් එක සේ සැලකුවා. අගෞරව කළේ නෑ. අපි සියලු ජාතීන්ට එක සේ සලකනවා. එක්සත් ජාතික පක්ෂය කියන්නේ ඒකටයි. මගේ අත් පවිත්‍රයි. මම මේ අත් දෙකින් මුදල් හම්බ කරලා නෑ. මේ අත් වල ලේ ගෑවිලා නෑ. මේ අත් වල සුදු වෑන් සංස්කෘතියක් නෑ. මම අතක් දික් කරලා මාත් එක්ක එකතු වෙන්න කියලා මම ඔබ සැමට ආරාධනා කරනවා යැයි පැවසීය.

The post මිලටරි පාලනයක්, හිට්ලර් පාලනයක් ඕන කියනවා නම් ඉතිහාසයේ පාඩම් ආයෙත් ඉගෙන ගනිමු – ඇමති නවීන් කියයි. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();