Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ආණ්ඩුව ලක්ෂ දහයකට ඔප්පු ලබාදීම ජනතාවට දුන් තවත් ඡන්ද පොරොන්දු ඉටුකිරීමක්

ඇමැති ගයන්ත කරුණාතිලක

ඉඩම් ඔප්පු දශ ලක්ෂයක් රජයේ ඉඩම්වල පදිංචි ජනතාවට ලබාදීමේ කඩිනම් ජාතික වැඩපිළිවෙළ යහපාලන රජය මේ රටේ ජනතාවට දුන් තවත් මැතිවරණ පොරොන්දුවක් ඉටුකිරීමක් බව ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ ඇමැති ගයන්ත කරුණාතිලක මහතා පැවැසීය.

ඒ මහතා එසේ කීවේ මීට වසර 27කට ඉහත කොළොන්නාව ආසනයේ “තිස් අමුණුවෙල” භූමියේ රජයේ ඉඩම් ලබාගෙන නිවාස ඉදිකර පදිංචි වූ නිවැසියන් 50 දෙනකුට නීත්‍යානුකූල සින්නක්කර ඔප්පු ලබාදීමේ උළෙලට සහභාගීව කරන ලද කතාවේදීය.

කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කොළොන්නාව එක්සත් ජාතික පක්ෂ සංවිධායක එස්. එම්. මරික්කාර් මහතා විසින් සංවිධානය කොට තිබූ මේ උළෙල කොළොන්නාව මංගලපාය උත්සව ශාලාවේදී පැවැත්විණි.

මේ වසර අවසන් වීමට පෙර මේ ඔප්පු දසලක්ෂයම බෙදා දීම තම අමාත්‍යාංශයේ අරමුණ බවද කී ඇමැතිවරයා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව හරහා මේ රටේ ඉඩම් නොමැති බදු ඔප්පු මගින් නිවාස හිමිකම් ලබා සිටින පිරිසටද සහනදායී මිලක් අනුව ඔප්පු ලබාදීමට පියවර ගෙන සිටින අතර කලින් රුපියල් 25000කට බදු ඔප්පු ලබාගත් අයෙකුට නව ක්‍රමය අනුව සින්නක්කර ඔප්පුවක් සඳහා දැන් ගෙවීමට සිදුවන්නේ රුපියල් 7000ක් වැනි මුදලක් බවද ගාස්තු වශයෙන් එදා ලක්ෂ 52ක් අයකළ ඉඩමකට අද ගෙවීමට සිදුවන්නේ රුපියල් 15000ක් වැනි මුදලක් බවද ඇමැතිවරයා පැහැදිලි කළේය.

ඇමැතිවරයා මෙසේද කීවේය.

අද මේ ඔප්පු ලබන පිරිසට මෙතෙක් නිල වශයෙන් පිළිගත් ඔප්පුවක් තිබුණේ නැහැ. එම නිසා මේ ඔප්පුව බොහෝම වැදගත්. මේක ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයේ ලියාපදිංචි කරවා ගත යුතුයි. දරුවෙකු පාසලට ඉදිරිපත් කිරීමේ සම්මුඛ පරීක්ෂණයට ඉඩම් ඔප්පුවක් නොමැතිකම සම්බන්ධව මින් ඉදිරියට මේ පිරිසට ගැටලුවක් පැනනගින්නේ නැහැ. ඒ වගේම අවශ්‍ය නම් දරුවෙකුගේ නමට ඔප්පුව ලියා දිය හැකියි. නැතිනම් ප්‍රදේශයේ ඉඩම් හා නිවාසවල වටිනාකම අනුව විකුණාගත හැකියි.

රජය මගින් කොළොන්නාව ආසනයේ ඔප්පු ලබාදීමට නියමිත ඉඩම් නිවාසවලින් වැඩි හරියක් ඒවායේ පදිංචි කරුවන්ට ලබාදී තියෙන්නේ මේ ආසනයේ මන්ත්‍රී වරයෙකු වශයෙන් කටයුතු කරපු වීරසිංහ මල්ලිමාරච්චි ඇමතිතුමායි. ඒ වගේම එක්සත් ජාතික පක්ෂ පාලන යුගවලයි මේ කටයුතු කෙරී තිබෙන්නේ. අද කොළොන්නාවේ සංවිධායකවරයා ලෙස කටයුතු කරන එස්.එම්. මරික්කාර් මහතාද තමන්ගේ ඡන්ද දායකයින් වෙනුවෙන් විශාල කාර්ය භාරයක් ඉටු කරන තරුණ මන්ත්‍රීවරයෙකුයි. සමහර අවස්ථාවල ඇමැති වරයෙකුවූ තමාද එතුමාගේ උපදෙස් ලබනවායිද කී ඇමැතිවරයා එවැනි මන්ත්‍රීවරුන්ට සහයෝගයදී උනන්දු කිරීම ජනතාවගේ යුතුකම බවද කීය.

කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා - ඉස්සර මේ වගේ රාජ්‍ය අනුග්‍රහයෙන් ලොකු වැඩක් කරන කොට රට පුරාම සීගිරිය පර්වතය තරම් උසට නායකයාගේ කටවුට් ගහලයි ප්‍රචාරය කරන්නේ. දැන් එහෙම ප්‍රචාරක වැඩ කෙරෙන්නේ නැහැ. මේ වාගේ ජනතාවට ප්‍රයෝජනවත් ශ්‍රේෂ්ඨ වැඩකෙරෙන කොට දේශපාලකයන් හැටියට ප්‍රචාරයක් තියෙන්න ඕනෑ. ඒක අපේ රජයේ තියෙන ලොකු අඩුපාඩුවක්.

මම කොළොන්නාව ආසනයේ වැඩ බාර ගත්තේ මල්ලිමාරච්චි ඇමැතිතුමා නතර කරපු තැනින් ආරම්භ කරනවා කියලයි. ඒක අද මේ ප්‍රදේශයේ සින්නක්කර ඔප්පුවක් නොමැතිව හිටපු ඉඩම් හිමිකරුවන්ට ඔප්පු ප්‍රදානය කිරීමෙන්ම කාහටත් පෙනී යනවා. එදා එතුමා මේ ඉඩම් ජනතාවට බෙදා දුන්නේ එක්සත් ජාතික පක්ෂ රජයක් යටතේයි. අදත් යහපාලන රජය යටතේ අපි මේ රටට විශාල වැඩකොටසක් ඉටුකරමින් සිටිනවා. මට උවමනා කොළොන්නාව ආසනය කොළඹ නගරයේ දියුණුම නගරයක් බවට පත්කරන්නයි.

එදා සුදු අධිරාජ්‍යවාදීන්ගේ පාලන කාලයේ ආරම්භ කරපු ජලනළ ක්‍රමය පාලම් බෝක්කුයි තවමත් මේ ප්‍රදේශයේ මාර්ගවල තියෙන්නේ.මම ඒ නිසා තමයි රුපියල් කෝටි 360ක් සල්ලි හොයාගෙන අඹතලේ සිට ඔරුගොඩවත්ත දක්වා මාර්ගය මංතීරු හතරේ සුපිරි මාර්ගයක් ලෙස සියලු යටිතල පහසුකම් සහිතව සංවර්ධනය කිරීමේ කටයුතු ආරම්භ කළේ. එතැනින් නැවතුනේ නැහැ. කැලණි මිටියාවතේ ජලගැලීම් තර්ජනයට එකම හේතුවක් වන තොටළඟ අඹතලේ පැරැණි මාර්ගය අඩි 3 ක් උස්සලා කාපට් කරන්න ඕස්ට්‍රේලියාවෙන් කෝටි 165ක මුදලක් ලබාගත්තා පමණක් නොවෙයි. ගංවතුර තර්ජනය නැති කරන්න ගොතටුව හාවඩ් බැම්මට යටින් ලොක් ගේට් එකක් දාලා වැසි කාලයට එකතුවන ජලය දියවන්නා ඇළ මාර්ගය දිගේ වැල්ලවත්ත ප්‍රදේශයෙන් මුහුදට ගලාගෙන යන ක්‍රමවේදයක් අදාළ අමාත්‍යාංශ සමඟ සාකච්ඡාකොට සකස් කරගෙන යන්නේ මේ ජල ප්‍රශ්නය විසඳුණුවිට කොළොන්නාවේ දියුණුවට කිසිම බාධාවක් ඇතිවෙන්නේ නැහැ.

තවත් මිලියන 900 කින් පාරවල් 27 ක් කාපට් කරලා සංවර්ධනය කිරීමටද පියවර ගෙන ඇතැයිද කීය.

කොළොන්නාව නගර සභා සභාපති වී. එස්. ගුත්තිල සිල්වා හා කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභා විපක්ෂ නායක ඉන්දික කුරුප්පුආරච්චි මහත්වරුද මෙහිදී අදහස් දැක්වූහ.

කොළොන්නාව සමූහ ඒ. සුමනසේන

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();