Ticker

6/recent/ticker-posts

Header Ads Widget

‘ශ්‍රී ලංකා T – Cup’ පළමු අදියර ජය ජපානයේ යසුහරු නකාජිමා ට

Author(s): 
වර්නන් ගුණසේකර

‘ශ්‍රී ලංකා T – Cup’ ජාත්‍යන්තර පාපැදි තරගයේ පාසිකුඩා සිට මහියංගණය දක්වා කිලෝ මීටර 124ක දුර ප්‍රමාණයක ඊයේ පැවැති පළමු අදියර ජයග්‍රහණය කිරීමට ජපානයේ යසුහරු නකාජිමා සමත් විය.

නකාජිමා කහ ජර්සිය හිමිකර ගත්තේ පැය 2යි මිනිත්තු 47යි තත්පර 42කින් තරගය නිම කරමිණි. බෝනස් ලකුණු තත්පර 12ක්ද සමග ඔහු හෙට දෙවැනි අදියර තරගය ආරම්භ කරන්නේ පැය 2යි මිනිත්තු 47යි තත්පර 30ක කාලයක සිටය.

කසකස්තානයේ ස්ටෙෆාන් අස්ටෆ්යෙව් පැය 2යි මිනිත්තු 47යි තත්පර 33ක් (බෝනස් සමගින්) සටහන් කරමින් දෙවැනි ස්ථානයට පිවිසි අතර ජපානයේ යොෂිමිට්සු හිරාට්සුකා (2:47:42) තෙවැනි ස්ථානයට පත්විය.

පළමු අදියර තරගයේ ‘ස්ප්‍රින්ට්’ ජයග්‍රාහකයන් වූයේ නවසීලන්තයේ ලෝගන් ග්‍රිෆින් හා තරගයේ දෙවැනියා වූ අස්ටෆ්යෙව් ය. ග්‍රිෆින් කිලෝ මීටර 23.2ක් අවසානයේ කඩවතමාදුවදීද, අස්ටෆ්යෙව් කිලෝ මීටර 67.8ක් අවසානයේ කළුකැලේ හංදියේදීද මේ ‘ස්ප්‍රින්ට්’ ජයග්‍රහණ අත්කර ගත්හ.

ඊයේ පැවැති තරගයේ පළමු අදියරේ හොඳම ශ්‍රී ලාංකික තරගකරුවා වූයේ ශ්‍රී ලංකා පාපැදි කණ්ඩායමේ සන්ජු ඩිමන්ත ය. ඔහු වාර්තා කළ කාලය පැය 2යි මිනිත්තු 51යි තත්පර 05කි. ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ සභාපතිගේ කණ්ඩායමේ ජනක හේමන්ත කුමාර හා ලහිරු මධුශංක ශ්‍රී ලංකා තරගකරුවන් දස දෙනා අතරින් පිළිවෙළින් දෙවැනි හා තෙවැනි ස්ථාන හිමිකර ගත්හ.

ලංකා ස්පෝට්රයිසන් ආයතනය සංවිධානය කළ මේ ‘ශ්‍රී ලංකා T –Cup’ තරගය ජාත්‍යන්තර පාපැදි සංගමයේ කැලැන්ඩරයට ඇතුළත්ව ශ්‍රී ලංකාවේ පවත්වන පළමු තරගය ලෙසින් ඉතිහාසයට එක්වෙයි. මීට අමතරව මෙය මේ වර්ෂය ඇතුළත දකුණු ආසියාවේ පවත්වන එම සංගමයේ එක ම පාපැදි තරගයද වෙයි.

නැඟෙනහිර පළාතේ ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතා දුන් සංඥාවක් අනුව පාසිකුඩාහි ‘පාසි විලා’ හෝටලය අභියසින් ආරම්භ වූ තරගයට තරගකරුවන් 64 දෙනෙකු කණ්ඩායම් 13ක් නියෝජනය කරමින් සහභාගි වූහ. තරගකරුවන්ට පාපැදි ධාවනයේ යෙදීමට සිදුවූයේ සෙන්ටිග්‍රේඩ් අංශක 38ක දැඩි හිරු රශ්මියකය.

තරගයට සහභාගි වන රටවල ධජ වනමින් කුඩා පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් පාසිකුඩා මග දෙපස සිටි අතර වාලච්චනෙයි නගරයේ මහ සෙනඟක් අත්පුඩි ගසමින් තරගකරුවන් දිරිමත් කළහ. බොහෝ දෙනා තමන්ගේ ජංගම දුරකථනවලින් ඡායාරූප ගනිමින් හා තමන් පසුකර යන තරගය වීඩියෝ ගත කරමින් සිටිනු දක්නට ලැබිණි.

තරගයේ කිලෝ මීටර 28ක් පමණ ගෙවී යද්දී සෙවනගලට පෙර පළමු තරගකරුවන් පොකුර සෙසු අයගෙන් මිදී වේගයෙන් ඉදිරියට ඇදී ගියහ. ජූලියන් අමදෝරි (ප්‍රංශය), යසුහාරු නකාජිමා (ජපානය), කැම්බල් ජෝන්ස් (ඔස්ට්‍රේලියාව), ඩොන්ග්හියොක් චොයි (කොරියාව), යොෂිමිට්සු හිරාට්සුකා (ජපානය), නිකලස් මග්නන් (කැනඩාව), නඔයා යොෂිඔකා (ජපානය), තෝමස් කෝට්ස් (ඔස්ට්‍රේලියාව), යසුහරු නකාජිමා (ජපානය), ස්ටෙෆාන් අස්ටෆ්යෙව් (කසකස්තානය), ලෝගන් ග්‍රිෆින් (නවසිලන්තය), යියොන්වූ යූ (කොරියාව) හා මැට් අමින් (මලයාසියාව) ඉදිරියේ සිටි පොකුරේ වූහ.

තරග අවසානයට කිලෝ මීටර 30 – 35ක් පමණ දුරක් තිබියදී මේ පොකුරෙන්ද මිදීමට සමත් වූ යසුහරු නකාජිමා, ස්ටෙෆාන් අස්ටෆ්යෙව් හා යොෂිමිට්සු හිරාට්සුකා ජය රේඛාව කරා වේගයෙන් පැමිණි අතර නකාජිමා පළමුවෙන්ද, අස්ටෆ්යෙව් දෙවැනියටද, හිරාට්සුකා තෙවැනියටද තරගය නිම කළහ.

ඌව පලාතේ මහ ඇමැති චාමර සම්පත් දසනායක මහතා අතින් ඊයේ දිනයේ ජයග්‍රාහකයන්ට ත්‍යාග පිරිනැමිණි.

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();