කාන්තා තරගයට සියලු පළාත් සහභාගීත්වය පහළට
ජාතික මහා ක්‍රීඩා උළෙලේ නව වාර්තාවක් බිහිකරමින් බස්නාහිර පළාතේ මධුමාලී පෙරේරා කාන්තා මැරතන් රන් පදක්කම දිනා ගනියි. පසුගිය වසරේ ඇඹිලිපිටියේ පැවැති ජාතික මහා ක්‍රීඩා උළෙලේ කාන්තා මැරතන් තරගයේදී පැය 2:55.36කින් ඇය විසින්ම පිහිටුවා තිබූ වාර්තාව ඊයේ පැය 2: 55.03කින් අලුත් කිරීමට මධුමාලී පෙරේරා සමත් වූවාය. මධුමාලී පෙරේරා ජාතික මහා ක්‍රීඩා උළෙලේ මැරතන් රන් පදක්කම පිට පිට දෙවැනි වරටත් තමන් සතු කරගැනීම කැපී පෙණුනි.
පසුගිය වසරේ මැරතන් ශූරතාව දිනාගත් උතුරු මැද පළාතේ පී. ඩී. අරුණසිරි 5වැනි ස්ථානයට පත්කරමින් බස්නාහිර පළාතේ ඩී. ජී. බී. සඳරුවන් මෙවර පිරිමි මැරතන් රන් පදක්කම දිනා ගත්තේය. පසුගිය වසරේදී දෙවැනි ස්ථානයට පත්වූ බස්නාහිර පළාතේ කේ. එස්. ටී. ගුණසේකර පිරිමි මැරතන් තරගයේ මෙවර ද දෙවැනි ස්ථානයට පත්වූ අතර කාන්තා තරගයේ පසුගිය වසරේ 5වැනි ස්ථානයේ සිටි බස්නාහිර පළාතේ කුමාරී ප්‍රනාන්දු මෙවර දෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණියාය.
පිරිමි හා කාන්තා මැරතන් තරග දෙකේම වැඩි ගෞරව බස්නාහිර පළාත දිනා ගත් අතර පිරිමි මැරතන් තරගයේ පළමු ස්ථාන තුනම බස්නාහිර පළාතට හිමිවූ අතර, කාන්තා තරගයේ පළමු හා දෙවැනි ස්ථාන බස්නාහිර පළාත සතු විය.
පාදෙනිය මංසන්දියෙන් ආරම්භවූ කිලෝමීටර් 42.195 ක දුරකින් යුක්ත කාන්තා හා පිරිමි මැරතන් තරගවලදී කාන්තා සහභාගීත්වය අවම මට්ටමක පැවැතීම කපී පෙනුණි. පළාත් 9කින් ක්‍රීඩිකාවන් 54ක් මැරතන් තරගයට සහභාගී විය යුතු වුවද, ඊයේ තරගයට එක්ව සිටියේ ක්‍රීඩිකාවන් 27ක් පමණි. පිරිමි මැරතන් තරගයට පළාත් 9කින් ක්‍රීඩකයෝ 74ක් එක්ව සිටියහ.
පිරිමි කණ්ඩායම් ශූරතාව බස්නාහිර පළාත වෙත හිමිවූ අතර එහි අනු ශූරතාව උතුරු පළාත දිනා ගත්තේය. මෙවර කාන්තා ශූරතා හා අනු ශූරතාවලට කිසිදු පළාතක් සුදුසුකම් ලබා නොතිබීම විශේෂත්වයකි.
අභිනවයෙන් පත් වූ ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් කමල් පද්මසිරි මහතා මෙහි ප්‍රධාන ආරාධිත වශයෙන් සහභාගී වු අතර ක්‍රීඩා අමාත්‍යාංශයේ හිටපු ලේකම් වත්මන් ජනාධිපති අතිරේක ලේකම් ජයන්ත විජේරත්න මහතා ද මේ අවස්ථාව සඳහා විශේෂ ආරාධිතයකු ලෙස එක් විය.
තරග ප්‍රතිඵල මෙසේය:
පිරිමි - 1.ඩී. ජී. බී. සඳරුවන් පැය 2:26.23 (බස්නාහිර), 2. කේ. එස්. ටී. ගුණසේකර පැය 3:02.06 (බස්නාහිර), 3. මහේෂ් ගුණතිලක පැය 2:28.36 (බස්නාහිර), 4. මදුරංග කුමාර පැය 2:29.09 (ඌව), 5. පී. ඩී. අරුණසිරි පැය 2:30.52 (උතුරු මැද)
කාන්තා - 1.මධුමාලී පෙරේරා පැය 2:55.03 (බස්නාහිර), 2. කුමාරී ප්‍රනාන්දු පැය 3:02.06 (බස්නාහිර), 3. එන්. එන්. බණ්ඩාර පැය 3:07.08 (සබරගමුව), 4. ඩී. ජී. කරුණාරත්න පැය 3:12.22 (මධ්‍යම) 5. එස්. හේමා පැය 3:20.30 (උතුර)


0 Comments