යොවුන් පුරය සමාප්ති උලෙළේදී අගමැති කියයි
රටේ උතුර, දකුණ ඇතුළු අනෙක් සියලු ප්‍රදේශවල තරුණ පරම්පරාවේ එකමුතුකම බෙදීමට හෝ විනාශ කර දැමීමට කිසිවකුටවත් අවස්ථාව ලබා නොදී ආරක්ෂා කර තහවුරු කිරීමේ වගකීම තරුණ පරම්පරාව සතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසිය.
එකමුතුකම ආරක්ෂා කළහොත් නැවත යුද්ධයකට යාමේ අවශ්‍යතාවක් ඇති නොවන බවද අවුරුදු 30 ක් අපේ රටේ පැවති යුද්ධයට නැවතත් යෑමට කිසිවකු කැමති නැති බවත් අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
නිකවැරටිය, පශු සම්පත් සංවර්ධන මණ්ඩල පරිශ්‍රයේ 31 දින පැවති යොවුන් පුරය 2018 තරුණ හමුවට සහභාගී වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඒ බව පැවසීය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කිය. මේ රටේ අවුරුදු 30 ක් ජාතිවාදී කෝලහාල තිබුණා. බෙදුම්වාදී ත්‍රස්තවාදය ක්‍රියාත්මක වුණා. අපේ අනාගතය නැති වුණා. මේ අවාසනාවන්ත තත්ත්වය නිසා කී දෙනෙකුගේ ජීවිත නැති වුණා ද? එදා අපි සමග සිටි බොහෝ දෙනෙක් යුද්ධයට බිලි වුණා. අත්පා අහිමි වුණා. නැවත මෙවැනි යුද්ධයක් ඇති වෙනවා දකින්න ඔබ කැමැති ද? තමන්ගේ ගම් විනාශ වෙනවා දකින්න ගම් බෙදී වෙන්වෙනවා දකින්න ඔබ කැමැතිද? ඔබේ ඥාතීන්, හිතමිතුරන් විනාශ වෙනවා දකින්න ඔබ කැමැතිද? මේ සෑම කෙනාම මෙම ස්ථානයට පැමිණ සිටින්නේ ශ්‍රීලාංකිකයන් ලෙසයි.
කුමන ජාතියකට, ආගමකට, වෘත්තියකට අයත් වුවත් ඔබ සියලූ දෙනා මේ භූමියට පැමිණ තිබෙන්නේ එකට එකතුවී, එක්සත් වී ඒ එක්සත් කම භුක්ති විඳ නැවත පිටව යෑමටයි. ඒ එක්සත් කම අපි ආරක්ෂා කළ යුතුයි.
සිංහල ජාතියක් ලෙස අපට අපේ ජාතිය සංස්කෘතිය ගැන ආඩම්බර විය හැකියි. එමෙන්ම දෙමළ ජනතාවට තමන්ගේ ජාතිය තමන්ගේ සංස්කෘතිය ගැන ආඩම්බර විය හැකියි. බෞද්ධ ජනතාවට මේ රටේ ප්‍රමුඛස්ථානය ලැබෙන ආගම ලෙසත් රටේ සංස්කෘතිය හැඩගස්වා තිබූ ධර්මය ලෙසත් අපිට ආඩම්බර විය හැකියි. එය අපි ආරක්ෂා කරගත යුතුයි. ඒ වගේම හින්දු ජනතාවට තමන්ගේ ආගම ධර්මය ඇදහීමට හා එය ආරක්ෂා කිරීමට අවස්ථාව තිබිය යුතුයි.
එමෙන්ම අනෙක් ජනකොටස්වලටද ඒ අයිතිය තිබෙනවා. ඔවුන්ගේ ඒ අයිතියට ගරු කර අපි ජීවත් විය යුතුයි. මේ රටේ පැවැති යුද්ධය නිසා ආර්ථික, සමාජ දියුණුව මෙන්ම අධ්‍යාපන, සෞඛ්‍ය හා අනෙකුත් සියලූ ක්ෂේත්රවල දියුණුව පස්සට ගියා. දැන් අපි ඒ තත්ත්වයන් අවබෝධ කරගෙන ඉදිරියට ගොස් මේ ක්‍රමය වෙනස් කළ යුතුව තිබෙනවා. ඒ ගැන කිසිම ප්‍රශ්නයක් නැහැ.
ඒ ක්‍රමය මාරු කරන්න නම් අපි නැවත බෙදිලා ජාතිවාදයට රට තල්ලු කර ඒ කටයුත්ත කරන්න බැහැ. ඒ නිසා මා ඔබෙන් ඉල්ලා සිටින්නේ ඔබ ජීවත් වන ප්‍රදේශවලට ගොස් ඥාතීන් හිතමිතුරන් සමග මේ අත්දැකීම් හුවමාරු කර ගනිමින් එකමුතුකම ආරක්ෂා කරන ලෙසයි. අපි එක්සත් වෙනවා නම් රට ඉදිරියට ගෙන යා හැකියි. රට හා ජනතාව ඉදිරියට යන මාර්ගය සකස් කර දීම අපේ අරමුණයි. ඒ මාර්ගය සකස් කර දීමටයි අපි මෙතැන ඉන්නේ. ඒ මාර්ගයේ ගමන් කර ඔබ කැමැති ආකාරයට ක්‍රමය වෙනස් කරන්න අවස්ථාව දීමටයි අපි මෙතැන ඉන්නේ. ඒ නිසා ඔබත් අනෙක් තරුණයොත් අප සමග එකට එකතුවී ඉදිරියට ගමන් කරමු යැයි මා ඔබ සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා.
0 Comments