සන්ඩේ ඔබ්සර්වර් මොබිටෙල් වසරේ පාසල් ක්රිකට් සම්මාන උළෙල
පාසල් ක්රිකට් තරග බිමේ උද්දාමය ඉහළට ඔසවා තබන උත්කර්ෂවත් සම්මාන රාත්රියේදී වසරේ පාසල් ක්රිකට් ක්රීඩකයා සම්මානය දෝතට ගැනීමට දහසක් බලාපොරොත්තු පොදි බදින විශිෂ්ටතම ක්රීඩකයන් අතර ආරම්භයේ සිටම පෙරමුණ ගත් බම්බලපිටිය සාන්ත පීතර විදුහලේ සචින් සිල්වා අභිබවා කොළඹ ආනන්ද විදුහලේ ගිෂාන් එදිරිසිංහ පෙරමුණ ගැනීමට සමත්වී සිටී.
මේ වසරේ පැවැත්වෙන 40 වැනි සන්ඩේ ඔබ්සර්වර් - මොබිටෙල් වසරේ පාසල් ක්රිකට් ක්රීඩකයා සම්මාන උළෙලේ දී වසරේ තරුව තෝරාගැනීමේ පාඨක ඡන්දය මේ වනවිට දැඩි උණුසුම් මුහුණුවරක් ගෙන තිබේ.
අලුත්ම ප්රතිඵල සටහන අනුව මෙතෙක් පෙරමුණේ පසුවූ සචින් සිල්වා අභිබවා ගිෂාන් එදිරිසිංහ පෙරමුණට පත්වී ඇත්තේ ඡන්ද 12,446ක් ලබාගනිමිනි. ඡන්ද 10,602ක් ලබා සිටින සචින් දෙවැනි තැන පසුවෙයි. එහෙත් ඉදිරියේදී දෙදෙනා අතර තරගය තවත් උණුසුම් වනු ඇත.
පාසල් මහා ක්රිකට් තරග උණුසුම කෙමෙන් කෙමෙන් මැකීගියත් සන්ඩේ ඔබ්සර්වර් - මොබිටෙල් වසරේ පාසල් ක්රිකට් ක්රීඩකයා සම්මානය සඳහා යොවුන් ක්රීඩකයන් අතර ඇති තරගය තව තවත් උණුසුම් වීමෙන් ඔවුන්ගේ හිතමිතුරන් ද, පාසලේ සමස්ත සිසුන් පිරිස ද දැඩි අවධානයෙන් හා උනන්දුවෙන් යුතුව පසුවන බවට කිසිදු සැකයක් නොමැත.
සන්ඩේ ඔබ්සර්වර් - මොබිටෙල් වසරේ පාසල් ක්රිකට් ක්රීඩකයා සම්මානයෙන් පිදුම් ලබන ඕනෑම පාසල් ක්රීඩකයකුට එහි උණුසුම මැකීයාමටත් පෙර ජාතික ක්රිකට් පිලේ දොරටු හැරෙන අවස්ථා දශක හතරක ඉතිහාසයේ සුලබව දක්නට ලැබුණු බැවින් මෙවර සන්ඩේ ඔබ්සර්වර් - මොබිටෙල් වසරේ පාසල් ක්රිකට් ක්රීඩකයා සම්මානය හිමිකර ගන්නා ක්රීඩකයාට ඉදිරියේදී ජාතික ක්රිකට් ජර්සියේ සහ සිංහ ලාංඡනය සහිත හිස්වැස්මේ හිමිකාරයා බවට පත්වීමේ අවස්ථාව උදාවන බව කවුරුත් දනිති.
වසර 1999 ජූලි මස 7 වැනිදා උපන් ගිෂාන් විශ්වජිත් එදිරිසිංහ ආනන්ද විදුහල් පිලේ කැපී පෙනෙන තුන්ඉරියව් ක්රීඩකයෙකි. වමතින් පිත්ත හසුරුවන මේ විශිෂ්ට ක්රීඩකයා දකුණතින් පිට දඟ පන්දු යවමින් ප්රතිවාදී ක්රීඩකයන් මෙල්ල කරනු පසුගිය පාසල් තරගවලදි සුලබ දසුනක් බවට පත්විය.
හෙතෙම මෙවර සුලෝහිත සංග්රාමයේදී නාලන්දා විදුහල් පිලේ පිතිකරුවන් තිදෙනකුම දවාගනිමින් සිය දස්කම්වලින් මහා තරගය වර්ණවත් කිරීමට සමත්විය.
ඔහුට නොදෙවැනි අන්දමේ දස්කම්වලින් පාසල් ක්රිකට් පිටිය වර්ණවත් කරමින් සිටින වසර 1999 අගෝස්තු මස 18 වැනිදා උපන් සාන්ත පීතර විදුහල් පිලේ සචින් තත්සර සිල්වා දකුණතින් පිත්ත හසුරුවන අතර දකුණත් පිට දඟ පන්දු යවන්නෙකි. හෙතෙම පසුගිය ජනවාරියේ දී රිච්මන්ඩ් විදුහලට එරෙහිව සිය කණ්ඩායමට විශිෂ්ට ජයග්රහණයක් ගෙනදෙමින් ලකුණු 19කට කඩුලු 7ක්ම දවාලිමට සමත්විය. ඔහු මෙවර සාන්තුවරයන්ගේ සටනේදී සාන්ත ජෝශප් විදුහල් පිලේ පිතිකරුවන් මෙල්ල කරමින් පළමු ඉනිමේදී ලකුණු 23කට කඩුලු 3ක් දවාලීය.
ගිෂාන් සහ සචින් අතර මෙවර සන්ඩේ ඔබ්සර්වර් - මොබිටෙල් වසරේ පාසල් ක්රිකට් ක්රීඩකයා සම්මානය සඳහා ද්වන්ධ සටනක් පැවැතිය ද, ඉදිරියේදී සම්මානය හඹා යාමට තවත් ක්රීඩකයන් රැසක් එක්වනු නිසැකය.
0 Comments