Ticker

6/recent/ticker-posts

Header Ads Widget

වෙසක් උළෙලේ දී ප්‍රතිපත්ති පූජාවට මුල් තැන දෙන්න

බුදුරජාණන්වහන්සේට උපහාරයක් ලෙස පැවැත්වෙන වෙසක් පුණ්‍ය මහෝත්සවය ආමිෂ පූජාවට වඩා ප්‍රතිපත්ති පූජාවට මුල් තැන දෙමින් සමරන ලෙසත් එම උත්සවය සැණකෙළියක් කර ගනිමින් උත්සව නොපවත්වන ලෙසත් සමස්ත ලංකා ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති ආචාර්ය වැලමිටියාවේ ශ්‍රී කුසලධම්ම නාහිමියෝ ප්‍රකාශ කළශ.

එදිනට වෙසක් තොරණ, ඔලුබක්කෝ, කූඩු තරග, භක්ති ගී ආදිය පවත්වමින් විශේෂයෙන් තරුණ පිරිස් මඟ තොටේ බෙර වයමින් බයිලා කියමින් ගීත ගයමින් අශිෂ්ට ලෙස හැසිරෙති. එහිදී මඟ තොටේ යන වැඩිහිටි ජනතාවටත් අගෞරව කරමින් ගමන් කරන බවද ඒ හිමියෝ පැවසුහ.

වෙසක් පුන් පොහෝ දිනට පසු දින වැඩසටහන තොරණ ප්‍රදර්ශනය, වෙසක් නාට්‍ය ප්‍රදර්ශනය, භක්ති ගීත ගායනා, පෙරහර සහ එවැනි වැඩසටහන් සැදැහැ සිතින් කරන නමුත් ශීල භාවනා කටයුතු සඳහා ඉන් සිදු වන බාධාවන් අති විශාල බැවින් ප්‍රතිපත්ති පූජාවන් සඳහාම වෙසක් පුන් පොහෝ දින යොදා ගැනීමට ඉඩ සැලසීමට 2002 මැයි 26 වැනි දිනට යෙදුණු වෙසක් පුන් පොහෝ දින තොරණ හා නාට්‍ය ආදිය වෙනත් සංදර්ශන කටයුතු සංවිධාන නොකර වෙසක් පොහෝ දිනට පසු දින සිට ඒවා සංවිධාන කරන ලෙස අදාළ සංවිධානවලට දැනුම් දෙන මෙන් ද, ඒ සඳහා අවසර ලබා දෙන ආයතනවලින් එසේ අවසර ලබා නොදීමට කටයුතු කරන ලෙසට උපදෙස් දෙන මෙන් ද එවක සිටි බුද්ධ ශාසන ඇමැති වි.ජ.මු.ලොකු බණ්ඩාර මහතා ගෙන ආ චක්‍රලේඛයට අනුව ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැන දෙමින් වෙසක් උත්සවය සිදු කිරීමට අවශ්‍ය කටයුතු කරන්නැයි උපදෙස් දී තිබුණි.

ශ්‍රී සම්බුදු තෙමඟුල සිහි කරමින් පැවැත්වෙන ශ්‍රී බුද්ධ වර්ෂ 2562 වැනි රාජ්‍ය වෙසක් පුණ්‍ය මහෝත්සවය මේ මස 26 දින සිට මැයි මස 2 දින දක්වා “වෙසක් සතිය“ වශයෙන් රජය ප්‍රකාශයට පත් කර ඇති බව පැවසූ උන්වහන්සේ මෙරට බෞද්ධ ප්‍රබෝදයක් ඇති කිරීමට සමස්ත ලංකා බෞද්ධ බල මණ්ඩලය බලාපොරොත්තු වන බවත් කීහ.

රාජ්‍ය වෙසක් උත්සවය පිළිබඳව කොළඹ 7, බුද්ධශාසන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පෙරේදා (3) පැවැති මාධ්‍ය හමුවේ දි උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළහ.

සමස්ත ලංකා ශාසනාරක්ෂක බල මණ්ඩලයේ මඟ පෙන්වීම අනුව බුද්ධශාසන අමාත්‍යාංශය හා බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඇතුළු රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතනවල සහාය ඇතිව වෙසක් උත්සවය අභිමානවත් අයුරින් කුරුණෑගල දිස්ත්‍රික්කයේ බිංගිරිය දේවගිරි රජමහා විහාරස්ථානයේ දී පැවැත්වීමට සංවිධාන කර තිබේ.

ඊට සමගාමීව වෙසක් සතියේ සියලු විහාරස්ථාන කේන්ද්‍ර කරගනිමින් අධ්‍යාත්මික සංවර්ධනයට මුල් තැන දෙමින් අර්ථවත් හා එලදායී වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවත් රට පුරා ඇති සියලු විහාරස්ථාන, දහම් පාසල්, පාසල්, රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන ආයතන ආශ්‍රිතව ප්‍රාදේශීය හා දිස්ත්‍රික් ශාසනාරක්ෂක මණ්ඩලවල පූර්ණ මාර්ගෝපදේශකත්වයෙන් යුතුව වෙසක් සතියෙහි ක්‍රියාත්මක කිරීමට යෝජිත වැඩසටහන් සිදු කරන බවත් උන්වහන්සේ මෙහිදී සඳහන් කළහ.

ලේඛකාධිකාරී පූජ්‍ය ගෝනදූවේ ගුණානන්ද නාහිමි, කොළඹ දිස්ත්‍රික් ශාසනාරක්ෂක මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරී සහ සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ මාධ්‍ය ලේකම් ශාස්ත්‍රපති කිතලගම හේමසාර නාහිමි, බුද්ධශාසන අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍රප්‍රේම ගමගේ මහතා සහ බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් නිමල් කොටවලගෙදර මහතා ද මෙහිදී මේ පිළිබඳව අදහස් දැක්වුහ.

මානෙල් පුෂ්ප කුමාරි
ඡායාරූපය - චමින්ද නිරෝෂණ 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();