Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ආහාර සුරක්ෂිතතාවය ඇති කිරීමෙන් ගැටලු රැසකට විසඳුම් ලබාගත හැකියි

ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාවය ඇති කිරීම මඟින් තවත් ගැටලු රැසකට එකවර විසඳුම් ලබා ගැනීමට හැකි වෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ ප්‍රකාශ කළහ‍.

ගොවි තැනේ ප්‍රශ්නය විසඳන්නට අපට හැකියාවක් ලැබුණොත් අපේ රට සදාකල් ජෛව විවිධත්වයෙන් යුතු රටක් ආඩම්බර බවට පත් වන බව ද උන්වහන්සේ පැවසුහ.

උන් වහන්සේ මේ බව ප්‍රකාශ කෙළේ ධාර්මික ගොවිතැනක්, නිරෝගී ජනතාවක් - වසවිස නැති රටක් තේමාවෙන් ජනාධිපති කාර්යාලය ක්‍රියාත්මක කරන තුන් අවුරුදු වැඩපිළිවෙළහි දෙවසරක ප්‍රගතිය සමාලෝචනය කිරීමේ අවස්ථාවට එක් වෙමිනි.

බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ඊයේ (24) පැවැති මෙම උත්සවයේදී උන්වහන්සේ මෙසේ ද ප්‍රකාශ කළහ.

අද ලෝකයේ ඇති වී තිබෙන තත්ත්වය ගැන කාටත් අවබෝධයක් තිබෙනවා. රටවල් 64 ක ජනතාව යුද්ධය නිසා මැරෙනවා. කෝටි 100 කට අධික ජනතාවක් සාගතයෙන් පීඩා විඳිනවා. ලංකාවේ ග්‍රාමීය ජනතාව ආහාර නිෂ්පාදනය ගැන විශාල ගැටලුවලට මුහුණ දී සිටිනවා. වකුගඩු රෝගීන් ලක්ෂ තුනක් පමණ ඉන්නවා. පිළිකා රෝගීන් වසරකට එක් දහස් පන්සීයක් පමණ ලියාපදංචි වෙනවා. දියවැඩියා, හර්ද රෝග, ඔටිසම් වැනි රෝග තිබෙනවා. අපේ රටේ ණය ද ඉතා විශාලයි. ඒ අතර වාරයේ අපි අධිවේගී මාර්ග හදනවා. එහිදී ආහාර කියන්නේ මිනිසාගේ පළමු අවශ්‍යතාවයයි. ආහාර ඖෂධයක්. ආහාර නැත්නම් අපි අසහනයට පත් වෙනවා. බඩගින්න කියන්නේ අසාධ්‍ය රෝගයක්. බඩගින්න නිසා තමන්ගේ දරුවන්වත් කාපු මිනිස්සු ඉන්නවා. අපි කරන්න ඕනේ ගොඩනැගිලි, පාරවල් හදනවාට වඩා රටේ ආහාර සුරක්ෂිතතාව ඇති කිරීමට කටයුතු කිරීමයි. මිනිස්සුන්ගේ ආහාර ප්‍රශ්නය විසදා ගත් විට අපට ගැටලු රැසකට එකවර විසඳුම් ලැබෙනවා. වසරකට ආහාර ගෙන්වීමට අපට විශාල මුදලක් වැය කරනවා. අපි පුවක්, තිප්පිලි පවා ගෙන්වනවා. සැමන්, කරවල ගෙන්වනවා. නමුත් හාල් ද ආනයනය කරනවා. මේ සියල්ලට යන මුදල ඩොලර් බිලියන 300 ක් විතර වෙනවා. සීනි, කිරිපිටි, පොහොර මේ සියල්ලත් එක්ක තමයි මේ මුදල වැය වෙන්නේ. මේක නැවැත්තුවොත් අපේ රටේ මුදල් ඉතුරු වෙනවා. ඒ වෙනුවෙන් තමයි අපි මේ වසවිසෙන් තොර වගා වැඩසටහන ආරම්භ කළේ.

අපි පොහොර හදන වැඩපිළිවෙළ පටන් ගත් විට විවිධ ගැටලුවලට මුහුණ දුන්නා. මෙය රාජ්‍ය මැදිහත්වීමටකින් කළ යුතු වුණා. ඒ අනුව හමුදාවේ දායකත්වය ලබා ගත්තා. ලංකාවේ පළමු වතාවට එක දවසට පොහොර ටොන් 10 ක් 20 ක් අපි නිෂ්පාදනය කළා. ආයෝජකයින් සොයා ගත්තා. ඒ අනුව අපි විශාල මෙහෙයුමක් කළා.

චීනයේ, ජපානයේ ආදී රටවල වසවිසෙන් තොර වගාව ගැන විද්‍යාත්මක ක්‍රමවේදයන් තිබෙනවා. ස්වභාව ධර්මයේ ජීව ක්‍රියාවලිය හඳුනා ගැනීමෙන් අපට මේ සියලු තත්ත්වයන් හදුනා ගන්න පුළුවන්.

නමුත් නූතන කෘෂිකර්මාන්තයේ වෙන්නේ ග්ලයිෆොසේට් ගහලා පසේ ක්ෂ්‍රද්‍ර ජීවියා මරලා දානවා. පස්සේ යුරියා ගහනවා. මෙය බටහිර කෘෂිකර්මාන්තයට අදාළ වුවත් අපේ රටට මෙය ගැලපෙන්නේ නැහැ. මෙහි ලොකු බණක් ද තිබෙනවා. ඒ නිසා අපි මේ වැඩපිළිවෙළට ධාර්මික කියලා යොදා ගත්තා. මෙය සෙල්ලිපි වලත් තිබෙනවා.

වැඩිම රසායනික ද්‍රව්‍ය නිෂ්පාදනය කරන රට චීනය වුවත් 2015 සිට චීනයත් ජෛව විද්‍යාත්මක ක්‍රමය භාවිත කරනවා. රසායනික පොහොර නැතිව වී වගාව කරන්න බැහැ කියලා අපි කියන්නේ. මේ නිසා මෙය රටක ඉරණම තීරණය කරන සාධකයක් වෙලා. අපි අක්කර 5 ක මේ වගාව කරලා බලමු.

ඡන්දය පැරදුණේ පොහොර සහනාධාරය ලෙස නැවත මුදල් දෙන්නට කටයුතු කළ නිසා කියලා ඇතැම් අය කියනවා. එසේ නම් මහරගම ප්‍රධාන පක්ෂ දෙකම නැතිව වෙනත් අලුත්ම පක්ෂයක් ජයග්‍රහණය කළේ ඇයි. ඒ පළාතේ වගා කරන්නේත් නැහැ. අපි කිව්වේ රසායනික පොහොර ගෙන්න එපා කියලා නෙවෙයි. සෘජුව පොහොර දෙන්නේ නැතිව සල්ලි දෙන්න කියලා විතරයි. ඒ අනුව ගොවියාට පුලුවන් කැමැති පොහොරක් යොදන්න. අපි අද ඔප්පු කර පෙන්නලා තිබෙනවා කාබනික පොහොර මඟින් අස්වැන්න වැඩියෙන් ලැබෙනවා කියලා.

අපි එක සැරේම රසායනික ගොවිතැන එක සැරේම ආපස්සට හරවන්න කියලා නෙවේ. සියලු වල්නාෂක අපි නැවැත්වුවේ නැහැ. අපි ඉතා කුඩා ප්‍රදේශයක තමයි අත්හදා බැලීම කළේ. දැන් නැවත කලින් ලෙසම පොහොර දෙන්න තීරණයක් අරගෙන තිබෙනවා. අපිට කතා කරන්නවත් අවස්ථාවක් නැහැ. නමුත් තව අවුරුදු එකහමාරකින් ඡන්දයක් තිබෙනවා. කොන්ද පණ ඇතිව වසවිසෙන් තොර ගොවිතැනක් ඇති කරන්න පුලුවන් නායකයෙක් බලයට ගේන්න අපි සියලු දෙනා කටයුතු කළ යුතුයි.

ජනාධිපති වෙන්න දැන් පක්ෂවල අය බලාගෙන ඉන්නවා.ඊළග ජනාධිපතිවරණයේදී ග්ලයිෆොසේට් දෙනවා කියලා ඡන්දේ ඉල්ලන්න එන අය ව පරාජය කළ යුතු වෙනවා. අපි බලශක්ති, ගොවිතැන හා ඖෂධ ප්‍රශ්නවලට මුහුණ දෙනවා. වසවිසෙන් තොර ගොවිතැනක් ඇති කිරීම මඟින් අපිට පුලුවන් පෙති කරල් භාවිත නොකර අවුරුදු 100 ක් ජීවත් වෙන මිනිසෙක් බිහි කරන්න.

ක්ෂමා ආයතනයේ සභාපති, අශෝක අබේගුණවර්ධන මහතා,

වර්තමාන ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව සොබාවික ගොවිතැන ප්‍රචලිත කිරීම සඳහා මෙම ව්‍යාපෘතිය ආරම්භ කරනු ලැබුවා. කාබනික කෘෂි කර්මාන්තය අපේ රටේ දීර්ඝ පාරම්පරික මතකයක් ඇති කරන්නක්. 2016 මාර්තු අපි මේ පරිශ්‍රෙය්දී වස විස නැති ජාතික පොළක් පවත්වමින් මේ වැඩපිළිවෙළ ආරම්භ කළා. අද වසර දෙකකට පසුව එහි ප්‍රගතිය ගැන රටට කියනවා. අද වන විට අපිට රසායනික පොහොර අභිබවා යාමට හැකියාව ලැබී තිබෙනවා. අපේ රටේ පැවැති පාරම්පරික ගොවිතැන ලංකාවේ කෘෂිකර්ම ගැටලුව විසඳීමට ඇති එකම විකල්පය බව හඳුනා ගනු ලැබුවා. ජෛව විද්‍යාත්මක ගොවිතැන රාක්ෂයෙක් නොවේ. අපේ අනාගතයට අයිති ගොවිතැනයි. එයින් අස්වැන්න වැඩියි. ලාභය වැඩියි. වියදම අඩුයි. මහන්සිය ද අඩුයි. අපේ රටේ පවතින ජෛව විවිධත්වයෙන් අපිට ගොවි තැන් කරන්න පුලුවන්.

වෙළෙඳපොලේ රසායනික ද්‍රව්‍ය යෙදු නිෂ්පාදන මිල අඩුයි. නමුත් කාබනික නිෂ්පාදන මිල වැඩියි. මෙය අපිට ගැටලුවක් වුණා. අපි ඒ ගැන සොයා බැලුවා. මේ මහපොළොවේ වසර 10 කට අධික කාලයක් පර්යේෂණ කර උත්තර හොයා ගත්ත පිරිසක් අපිට හමු වුණා. ඒ අය එක්කයි අපි මේ ගමන ආවේ. ඒ අය අධ්‍යයනය කරලා, පර්යේෂණ කරලා තිබුණා. ලංකාවට එය රැගෙන ඒමයි සිදු කළ යුතු වුණේ. වැඩිදියුණු කළ බීජ එක්ක වැඩි අස්වැන්නක් ගන්න පුලුවන් කියලා තමයි බොහෝ අය හිතුවේ. නමුත් අද එය බොරුවක් බව ඔප්පු වෙලා තිබෙනවා.

වස විස නැතිව තරඟකාරී ලෙස ඉදිරියට යන්න තිබෙන විසඳුම පාරම්පරික ගොවිතැන පමණයි. නවීන විද්‍යාවට අනුව නම් අපිට වැඩිදියුණු කරන ලද බීජ භාවිත කරන්න වෙනවා.

පසුගිය කන්න තුනේදී ගොවීන් 5000 ක් එක් වී කිලෝ කෝටියක් වී නිෂ්පාදනය කළා. මෙයට යුද හමුදාව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව අපට උපකාර කළා. යැයි ද කීවේය.

මෙහිදී ආචාර්ය අශෝක රන්වල මහතා ද දේශනයක් පැවැත්විය. කාබනික වී නිෂ්පාදනය සඳහා දායක වු ගොවීන් හා එම වැඩපිළිවෙළ ජනතාව අතරට ගෙන ගිය මාධ්‍යවේදීන්, විද්වතුන් මෙහිදී සම්මානයට පාත්‍ර වුහ. උත්සවය අවසානයේ දී විවෘත සාකච්ඡා වටයක් ද පැවැත්විණි.

මෙම අවස්ථාවට මහා සංඝරත්නය මෙන්ම කෘෂි කර්ම අමාත්‍යංශයේ ලේකම් බී.විජේරත්න, වාරි කලමනාකරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා වන්දිකා ඇතුගල මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් සහ ගොවි මහත්වරු පිරිසක් ද එක් වුහ.

සමන්මලී ප්‍රියශාන්ති, චන්දිමා කරුණාරත්න
ඡායාරූපය - සිරිපාල හල්වල

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();