Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ශ්‍රී ලංකා ගු වන් හමුදාව වැඩිදියුණු කිරීමට පියවර ගන්නවා

Author(s): 
මහින්ද අලුත්ගෙදර

* ගෙවී ගිය දශක කිහිපය තුළ යුද, නාවික, ගුවන් හමුදාවන් ඉතාම විශිෂ්ට සේවයක් අපේ මාතෘභූමිය වෙනුවෙන් ජාතියේ අනාගතය වෙනුවෙන් ඉටුකර තිබෙනවා.
* ත්‍රස්තවාදය පරාජය කරන්නට අපේ ත්‍රිවිධ හමුදාව පොලීසිය සහ සිවිල් ආරක්ෂක බළකාය කරන ලද කැපකිරීම විශිෂ්ටයි
* මේ ගුවන් හමුදා පාසල තවත් වැඩිදියුණු කිරීමට රජයක් වශයෙන් අපි බලාපොරොත්තු වෙනවා
* ගුවන් හමුදාව ලෙස දිගු කලක් කළ සේවයට ජාතියේ උත්තමාචාරය හිමිවිය යුතුයි

නොබෙදුනු රටක් ලෙස අප මාතෘභූමි‍යේ නිඳහස, ස්වෛරීත්වය සහ භෞමික අඛණ්ඩතාවය සියල්ල ආරක්ෂා කිරීම වෙනුවෙන් විශිෂ්ට ‍සේවාවක් ඉටුකරන ශ්‍රී ලංකා ගුවන් හමුදාව තවදුරටත් වැඩිදියුණු කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා බව ජනාධිපති ‍මෛත්‍රීපාල සිරි‍සේන මහතා ප්‍රකාශ කරයි.

නව තාක්ෂණයට යොමු ‍වෙමින් අ‍පේ රටට වඩා අධිතාක්ෂණයෙන් පොහොසත් රටවල ගුවන් හමුදාවන් මෙන්ම අනෙකුත් හමුදාවල දැනුම, ශිල්පීය ඥානය සහ අනෙකුත් අවශ්‍ය භාවිතයන් ආදි සියල්ල සඳහා අවශ්‍ය සහාය ලබාගැනීමට අපේක්ෂා කරන බව ‍පෙන්වා‍දෙන ඒ මහතා දැනුම, තාක්ෂණය, උපදේශකත්වය, මඟපෙන්වීම, අපිට වඩා දියුණු රටවලින් ලබාගත යුතු බවද පවසයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ දියතලාව ගුවන් හමුදා සටන් පුහුණු පාසලේ දී පෙරේදා (02) පෙරවරුවේ පැවැති ජනාධිපති වර්ණ ප්‍රදානය කිරීමේ අවස්ථාවට සහභාගි වෙමිනි. දේශයේ ආරක්ෂාව මෙන්ම ලක්වැසියන්ගේ සුරක්ෂිතතාව තහවුරු කිරීම වෙනුවෙන් නිරතුරුව කැපවී සිදුකරන ලද අමිල මෙහෙවර ඇඟයීම වෙනුවෙන් දියතලාව ගුවන් හමුදා සටන් පුහුණු පාසල වෙත මේ ජනාධිපති වර්ණ ප්‍රදානය සිදුකෙරිණි.

මෙහිදී වැඩිදුරටත් අඳහස් පළකළ මෛත්‍රීපාල සිරිසේන මහතා,

දියතලාව ගුවන් හමුදා සටන් පුහුණු පාසල දිඟු කලක් කළ සේවය ඇඟයීමට ලක්කරමින් ඊට ගෞරව කරමින් සහ ජාතියේ ප්‍රණාමය පිරිනමන මේ වැදගත් අවස්ථාවට සහභාගි වන්නට ලැබීම සම්බන්ධයෙන් සතුටු වෙනවා. වර්ණ ප්‍රදානයක් තුළ බලාපොරොත්තු වන්නේත් එහි අර්ථය වන්නේත් එහි පරමාර්ථය සහ අරමුණ වන්නේත් දිඟු කලක් මේ අධ්‍යාපන ආයතනය කළ සේවය ඇඟයීමට ලක්කිරීම, ගරු කිරීම සහ ඒ වෙනුවෙන් ඉහළ තක්සේරුවක් ලබාදීමයි. අපේ රටේ ගෙවී ගිය දශක කිහිපය තුළ යුද, නාවික, ගුවන් හමුදාවන් ඉතාම විශිෂ්ට සේවයක් අපේ මාතෘභූමිය වෙනුවෙන්, ජාතියේ අනාගතය වෙනුවෙන් ඉටුකර තිබෙනවා. ඒ අතරතුර වසර 27ක් 28ක් තිබූ එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන්ගේ යුද්ධය සහ ඔවුන්ගේ කුරිරුකම්, ඔවුන්ගේ අමානුෂිකභාවය හා ත්‍රස්තවාදය පරාජය කරන්නට අපේ ත්‍රිවිධ හමුදාව, පොලීසිය සහ සිවිල් ආරක්ෂක බළකාය කරන ලද කැපකිරීම විශිෂ්ටයි.

එහිදී ගුවන් හමුදාව සිය වගකීම සහ යුතුකම අපේ මාතෘභූමිය වෙනුවෙන් ජාතියේ අනාගතය සඳහා එකම රටක් ලෙස නොබෙදුනු රටක් ලෙස සහ රටේ නිඳහස, ස්වෛරිත්වය, භෞමික අඛණ්ඩතාවය සියල්ල ආරක්ෂා කිරීම වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරනු ලැබුවා. මෙවැනි වර්ණ ප්‍රදානයක් කිරීමේ දී මේ ආයතනයට ගරු කිරීමේ දී යුද්ධයේ දී හා ඉන් භාහිරව අපේ ආරක්ෂක හමුදාවන් රටතුළ ඇතිවූ විවිධ ආපදාවන් විවිධ හදිසි තත්ත්වයන් තුළ සිය සේවාව ඉටුකිරීමේ දී ජීවිත පරිත්‍යාග කළා. ඒ ජීවිත පරිත්‍යාග කළ සියලු දෙනාත්, ආබාධිත තත්ත්වයට පත් සියලු දෙනාත්, සේවය කරමින් සිට විශ්‍රාම ගිය සෑම කෙනෙක්ම, අද සේවය කරන අයටත් අපේ ජාතියේ සහ රජයේ ගෞරවය පිරිනැමිය යුතු වෙනවා.

ඒ නිසා මේ අවස්ථාව තුළ අපි රජයක් ලෙස මේ ගුවන් හමුදා පාසල තවත් වැඩිදියුණු කිරීමට රජයක් වශයෙන් අපි බලාපොරොත්තු වෙනවා. නව තාක්ෂණයට යොමු කිරීම මෙන්ම අපිට වඩා අධිතාක්ෂණයෙන් පොහොසත් රටවලින් අපේ ගුවන් හමුදාව මෙන්ම අනෙකුත් හමුදාවල දැනුම, ශිල්පීය ඥානය සහ අනෙකුත් අවශ්‍ය භාවිතයන් ආදි සියල්ල සඳහා අවශ්‍ය සහාය ලබාගැනීමට අපේක්ෂා කරනවා. දැනුම, තාක්ෂණය, උපදේශකත්වය, මඟපෙන්වීම, අපිට වඩා දියුණු රටවලින් අපි ලබාගත යුතු වෙනවා. ඒ නිසා ඔබ සැමට මම ආශිර්වාද කරනවා, සුබ පතනවා. ගුවන් හමුදාව ලෙස දිඟුකලක් කළ සේවයට ජාතියේ උත්තමාචාරය හිමිවිය යුතු වෙනවා. ගුවන් හමුදාවේ සහ මේ පාසලේ සේවය අපිට තවත් අවශ්‍ය වෙනවා. මෙහි සේවය කර සැමට සුබ පතනවා. අපේ රට වෙනුවෙන් සියලු දෙනාගේම වගකීම සහ යුතුකම ඉටුකරමින් ඉදිරියේ දී අපේ රට ලෝකයේ ප්‍රබුද්ධ රටක් ලෙස ඉදිරියට ගෙන යාම සදහා සියලු දෙනාම කැපවිය යුතු වෙනවා.

ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා - වසර 67ක ගුවන් හමුදා ඉතිහාසයට සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් දියතලාව ගුවන් හමුදා සටන් පුහුණු පාසල වෙත ජනාධිපති වර්ණයක් හිමිවෙනවා. හමුදා ඒකකයක් විසින් සිදුකරන විශිෂ්ට මෙහෙය අගය කරමින් ලබාදිය හැකි උසස්ම සම්මානය ලෙස මේ ජනාධිපති වර්ණ පිරිනැමීම හඳුන්වන්න පුළුවන්. 1951 වසරේ දී රාජකීය ගුවන් හමුදාවක් වශයෙන් ආරම්භ කළ ශ්‍රී ලංකා ගුවන් හමුදාමේ මෙහෙවර අගය කරමින් ජනාධිපති වර්ණ ප්‍රදානය සඳහා ජනාධීපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් තීරණය විශිෂ්ටයි. ශ්‍රී ලංකා භූමිය මෙන් 27 ගුණයක් අහස අපි විසින් ආරක්ෂා කරනවා. ඒ වඟේම රටේ ශීඝ්‍ර සංවර්ධනයේ කොටස්කරුවෙක් වශයෙන් ද ගුවන් හමුදාව කටයුතු කරනවා. වීරෝධාර රණවිරුවන් වෙනුවෙන් නිවාස ලබාදීම, දරුවන් වෙනුවෙන් ශිෂ්‍යත්ව ලබාදීම, වැටුප් විෂමතා සංශෝධනය කිරීම ආදි සුබසාධන වැඩසටහන් රැසක් මේ වනවිට ක්‍රියාත්මක කර තිබෙනවා. දියතලාව ගුවන් හමුදා සටන් පුහුණු පාසල වෙත ජනාධිපති වර්ණයක් පිරිනැමීම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත අපේ ප්‍රණාමය පිරිනමනවා.

1952 වසරේ දී රාජකීය ලංකා ගුවන් හමුදා කඳවුරක් ලෙස ස්ථාපිත කිරීමෙන් පසුව 1972 වසරේ දී ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත්වීමත් සමඟ ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුර දියතලාව යන නමින් මේ පුහුණු පාසල හඳුන්වා දී තිබේ. ඒ අනුව ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් රටේ සහ ජාතියේ හෙට දවස වෙනුවෙන් ඉටුකරන විශීෂ්ට මෙහෙවර අගය කරමින් හිමිවූ නවවැනි ජනාධිපති වර්ණය මෙය වන අතර 1976 වසරේ දී ප්‍රථම ජනාධිපති වර්ණ හිමිව තිබේ. වසර 67ක කාලයක් පුරා ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් විශාල කාර්යභාරයක් අපේ මාතෘභූමිය වෙනුවෙන් ඉටුකර තිබෙන අතර 2009 වසරේ දී පංච වර්ණයෙන් පිදුම් ලබා තිබේ.

ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජයගුණරත්න, යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක, නාවික හමුදාපති වයිෂ් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ, දියතලාව ගුවන් හමුදා සටන් පුහුණු පාසලේ අණදෙන නිලධාරී එයාර් කොමදෝරු පීටර්සන් ප්‍රනාන්දු, ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගිහාන් සෙනෙවිරත්න මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

ඡායාරූප-නිරෝෂ් බටේපොළ සහ ජනාධිපති මාධ්‍ය අංශය

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();