මෙරට සහ විදෙස් රටවලට පැනගෙන සංවිධානාත්මක අපරාධ මෙහෙයවන සහ ක්‍රියාත්මක කරන සියලුම පාතාල අපරාධකරුවන් අත්අඩංගුවට ගෙන මර්දනය කිරීම සඳහා ආරක්ෂක අංශ කිහිපයක් එකතු වී දැවැන්ත මෙහෙයුමක් රටපුරා ක්‍රියාත්මක කර තිබේ.
මෙරට සිට අපරාධ කර විදෙස් රටවලට පැනගෙන සිටින සියලුම අපරාධකරුවන් කොටු කැර ගැනීම සඳහා ද ජාත්‍යන්තර පොලිසිය සමඟ එක්වද එම මෙහෙයුම ජාත්‍යන්තරයටද ව්‍යාප්ත කැර ඇත.
පොලිස් විශේෂ කාර්යය බළකාය, කොළඹ අපරාධ කොට්ඨාසය, සංවිධානාත්මක අපරාධ කොට්ඨාසය, මත්ද්‍රව්‍ය නාශක කොට්ඨාසය සහ දිවයිනේ සියලුම පොලිස් අපරාධ මෙහෙයුම් ඒකක සමඟ එක්ව මෙම මෙහෙයුම මේ වන විටත් ක්‍රියාත්මක වෙයි.
එහි ප්‍රතිඵලයක් වශයෙන් ප්‍රධාන පාතාල ගෝලයන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන එනම් මාකඳුරේ මධුෂ් සහ අංගොඩ ලොක්කා යන මෙරට අපරාධ කර විදෙස් රටවලට පැන සිට අපරාධ මෙහෙයවන පාතාල නායකයන් දෙදෙනාගේ මෙරට සිටින ප්‍රධාන පාතාල ගෝලයා වූ නව ඇලවලගේ සරත් කුමාර හෙවත් "චීටි" නැමැත්තා විශේෂ කාර්ය බළකාය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
අනෙක් පාතාල ගෝලයා වන්නේ අගතිපුර සරත් පණ්ඩිතරත්න හෙවත් "සරා මල්ලී" නමැත්තා ද අත්අඩංගුවට ගෙන තිබේ.
මොහු ජයමුණි සුජීව හෙවත් කොස්ගොඩ නමැති රටින් පැන සිටින පාතාල නායකයාගේ මෙරට සිටින ප්‍රධාන ගෝලයා වෙයි.
2014 වර්ෂයේ කොටිකාවත්ත අංගොඩ ප්‍රදේශයේ ගිනි අවි ළඟ තබාගැනීම පාතාල අපරාධ මෙහෙයවීම සම්බන්ධව අත්අඩංගුවට ගෙන සිටි චීටි මද්දුමාල් ලසන්ත පෙරේරා නොහොත් අංගොඩ ලොක්කා සහ සමරසිංහ ආරච්චිගේ මධුෂ් ලක්ෂිත හෙවත් මාකඳුරේ මධුෂ් විසින් විදෙස් රටවල සිට කරනු ලබන සංවිධානාත්මක අපරාධ සහ මත්කුඩු ජාවාරම මෙරට සිට මෙහෙයවනු ලබන්නේ චීටි නමැත්තා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි නීතිඥ රුවන් ගුණසේකර මහතා පවසයි. බොරලැස්ගමුවේදී පෙරේදා පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබූ අගතිපුර සරත් පණ්ඩිතරත්න හෙවත් සරා මල්ලී 2017 වසරේ බොරැල්ලේදී දෙදෙනකු කපාකොටා ඝාතනය කිරීම, මතුගම, අලුත්ගම, වැලිපැන්න ප්‍රදේශවලදී මනුෂ්‍ය ඝාතන සහ මිනීමැරීමට තැත්කිරීම සිදුකිරීම, ගිනි අවි ළඟ තබාගැනීම ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ අයෙකි. ඔහුට වරෙන්තු පහක් නිකුත් වී තිබේ. මොහු වරින්වර විදෙස් ගතව සිට පැමිණ අපරාධ සිදුකර යළි දෝහකටාර් බලා ගොස් සිටින අයෙකි. 2018 ජනවාරි මාසයේ දෝහකටාර් ගොස් ඇති මොහු පසුගිය මාර්තු 15 යළි ආපසු මෙරටට පැමිණ සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.
මෙම සංවිධානාත්මක අපරාධකරුවන් මෙරට සහ විදෙස් රටවල සැඟවී සිටියත් වැඩි කාලයක් ගතවීමට පෙර ඔවුන් සියල්ල අත්අඩංගුවට ගෙන නීතිය හමුවට පමුණුවා පාතාලය සම්පූර්ණයෙන් මර්දනය කිරීමට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ උපදෙස් මත සියලුම අපරාධ මෙහෙයුම් ඒකක මෙහෙයුම් සිදු කරගෙන යන බව ද පොලිස් අධිකාරි නීතිඥ රුවන් ගුණසේකර මහතා කීය.
0 Comments