සිරියානු ප්‍රහාරය අධිරාජ්‍යවාදී යුදවාදී ප්‍රතිපත්තියේම තවත් එක් අවස්ථාවක් බව ජනතා විමුක්ති පෙරමුණ නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
සිරියාව රසායනික අවි භාවිත කළ බවට චෝදනා එල්ල කරමින් අමෙරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානි හා ප්‍රංශ ඒකාබද්ධ හමුදා විසින් සිරියාවට ප්‍රහාරයක් එල්ල කර තිබේ. මේ පහරදීමේ තීරණය ගෙන තිබෙන්නේ අමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, එක්සත් රාජධානියේ අගමැතිනි තෙරේසා මේ හා ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රෝන්ගේ නියෝග පරිදි බව ජනතා විමුක්ති පෙරමුණේ නිවේදනයේ සඳහන් වේ.
එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.
ස්වෛරී රටක් වන සිරියාවට ඉහත රටවල් විසින් තම රටවල යුද බලය යොදාගෙන එල්ල කරන ලද ආක්රමණකාරී හා ම්ලේච්ඡ ප්‍රහාරය අපි දැඩි පිළිකුළෙන් යුතුව හෙළා දකිමු.
මේ පහරදීමට මූලික වූ සිදුවීමට පදනම් වී ඇත්තේ, සිරියාවේ ඩූමා නගරයට එල්ල වූයේ යැයි කියනු ලබන රසායනික අවි ප්රහාරයකි. බැලු බැල්මටම මෙය සාවද්‍ය ප්‍රවෘත්තියක් සේ පෙනී යන අතර කඩිනමින් ප්‍රහාර එල්ල කර ඇත්තේ, සිරියාවෙන් රසායනික අවි ප්‍රහාරයක් සැබැවින්ම සිදුවූයේද යන්න පිළිබඳව නිශ්චිත තහවුරුවක් නොමැතිවය. එසේම 2016 වසරේදී රසායනික අවි තහනම් කිරීම සඳහා වූ සංවිධානය විසින් සිරියාව තමන් සතු සියලු රසායනික අවි විනාශ කර දමා ඇතැයි සහතික කර තිබියෙදීය.
සිරියාව විසින් රසායනික අවි ප්‍රහාරයක් සිදුකළ තත්ත්වයක් යටතේදී වුවද මැදිහත් විය යුත්තේ ජාත්‍යන්තරව පිළිගත් නීතියට හා සම්ප්‍රදායන්ට අනුකූලවය. එහෙත් මේ ප්‍රහාරය සිදුකර ඇත්තේ එක්සත් ජාතීන්ගේ ප්රඥප්තිය ඇතුළු පිළිගත් ජාත්‍යන්තර නීති-රීති උල්ලංඝනය කරමිනි. එය ලෝකයට ලබා දී ඇත්තේ නරක පූර්වාදර්ශයකි.
මේ ප්‍රහාරය සඳහා ‘නිදහසට කරුණු‘ ලෙස සිරියානු රසායනික අවි කතාවක් යොදා ගත්තද මෙය සත්‍ය ලෙසම මැදපෙරදිග කලාපයේ තම දේශපාලන හා යුද ආධිපත්‍යය තහවුරු කර ගැනීම සඳහාත් එමගින් මේ කලාපයේ තෙල් සම්පත ඇතුළු ස්වභාවික සම්පත්වල පාලනය තමන් අතට ගැනීම සඳහාත් දශක ගණනාවක් තිස්සේ අමෙරිකා එක්සත් ජනපදය ඇතුළු අධිරාජ්‍යවාදී බලවේග විසින් ගෙනයනු ලබන යුදවාදී ප්‍රතිපත්තියේම තවත් එක් අවස්ථාවක් බව පැහැදිලිය. එසේම මෙවැනි ක්‍රියා මගින් සිදුවන්නේ, කලාපය තුළ යුද උණුසුම තව තවත් වැඩිවීමය. සෙසු රටවල්ද යුද්ධය වෙත කැඳවීමය.
මේ තත්ත්වය තුළ සිරියාවට එරෙහිව සිදුකළ මේ ම්ලේච්ඡ ප්‍රහාරය දැඩි පිළිකුළෙන් හෙළා දකින ජනතා විමුක්ති පෙරමුණ, මනුෂ්‍ය සංහාර සිදුවීම වැළැක්වීමේ මුවාවෙන් සිදුකෙරෙන අධිරාජ්‍යවාදී යුදමය ආක්‍රමණ හා රටවල් යටත් කිරීම් මගින් අධිරාජ්‍ය ගැති රූකඩ පාලනයන් ගොඩනැගීමේ ක්‍රියාදාම පරාජයට කිරීමට පෙරට එන ලෙස සමස්ත ලෝකවාසී ප්රගතිශීලී හා අධිරාජ්‍ය විරෝධී ජනතාවගෙන් ඉල්ලා සිටී.
0 Comments