Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ලෝක ක්‍රිකට් පිටියේ ශ්‍රී ලාංකේය අභිමානය රන්ජන් මඩුගල්ල

Author(s): 
ෆවුස් මොහොමඩ්

සන්ඩේ ඔබ්සර්වර් මොබිටෙල් වසරේ පාසල් ක්‍රිකට් සම්මාන උළෙල

ඔබ්සර්වර් වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මාන උළෙලේ මංගල අවස්ථාව සටහන් වූ 1979 වසරේ එම සම්මානයට හිමිකම් කී රන්ජන් සෙනරත් මඩුගල්ල දශක 4ක ඔබ්සර්වර් වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මාන ඉතිහාසයේ සදාකාලික මතක සටහනකි.

මහනුවර ත්‍රිත්ව විදුහලෙන් බිහිවූ පසුව කොළඹ රාජකීය විදුහලේ සුපිරි ක්‍රිකට් තරුව බවට පත්වූ රන්ජන් මඩුගල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ අදටත් කීර්තිමත් චරිතයකි. හෙතෙම ජාතික කණ්ඩායමට එක්වූයේ ක්‍රීඩකයකු ලෙස ලැබූ ජනප්‍රියත්වයත්, ගෞරවයත් ඔබ්සර්වර් පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානයෙන් දීප්තිමත් කරගනිමිනි. රාජකීය - සාන්ත තෝමස් විදුහල් අතර වාර්ෂික නිල් මහා සටන ක්‍රිකට් තර‍ගයේ සියවැනි තරගය සටහන් වූ 1979 වසරේදී රාජකීය විදුහල් පිල මෙහෙයවීමේ භාග්‍ය උදාකර ගත් මඩුගල්ල එම තරගය ජයපරාජයෙන් තොරව නිමා කරගත්තේය.

ඔහුගේ ක්‍රිකට් ජීවිතය දීර්ඝ එකක් නොවීය. එය දශකයක් තරම්වත් දිගු නොවීය. ඔහු ක්‍රීඩාවෙන් සමුගත්තේ අවුරුදු 29දී තරම් තරුණ වියේදීමය. එහෙත් ඉන් අනතුරුව දශක දෙකකට වැඩි කාලයක් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයන්ට ක්‍රීඩාවේ ජීවගුණය රැක ගැනීම සඳහා මහඟු සේවයක් ඉටු කරමින් ඔහු තවමත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ජීවමානය.

පිතිකරුවකු ලෙසත්, නායකයකු ලෙසත් ජාතික ක්‍රිකට් පිල වර්ණවත් කළ මඩුගල්ල ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ දෙවැනි අර්ධ ශතකයට හිමිකම් කීවේ අර්ජුන රණතුංගට පමණක් දෙවැනි වෙමිනි. 1982දී එංගලන්තය සමග පැවැති ශ්‍රී ලංකාවේ මංගල ටෙස්ට් තරගයේදීම ඔහු මේ දස්කම පෑ අතර ඉන් අනතුරුව වසර ගණනාවක් පුරා ජාතික කණ්ඩායමට අනුපමේය දායකත්වයක් ලබා දුන්නේය.

1959 අප්‍රේල් මස 22 වැනිදා මහනුවරදී උපත ලැබූ මේ දකුණත් පිතිකරුවා ජාතික කණ්ඩායමේ රැඳී සිටි කාලය කෙටි වූවත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ තරග තීරකවරයකු ලෙස තවමත් සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරමින් සිටින්නේ ශ්‍රී ලංකාවේ අභිමානය ජාත්‍යන්තර තලයට ඔසවා තබමිනි.

රන්ජන් මඩුගල්ල ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ තරග තීරකවරයකු බවට පත්වූයේ 1993 වසරේදීය. ඔහු වර්තමානයේදී තරග තීරකවරුන්ගේ ප්‍රධානියා ලෙස කටයුතු කරන අතර වැඩිම එක්දින තරග සංඛ්‍යාවක තරග තීරකවරයා ලෙස තරග 300කට අධික සංඛ්‍යාවකට සිය දායකත්වය ලබා දුන්නේය. එමෙන්ම තරග තීරකවරයකු ලෙස ටෙස්ට් තරග සියයක් සම්පූර්ණ කළ පළමු තරග තීරකවරයා ද මඩුගල්ලය. එය ටෙස්ට් තරග 150 දක්වා ඉහළ දමමින් සිය වාර්තාව අලුත් කරගැනීමට ද ඔහුට හැකිවිය. ඒ වාර්තාව තවමත් ඔහු සතුය. එපමණක් නොව විස්සයි20 ජාත්‍යන්තර තරග වැඩිම ප්‍රමාණයක තරග තීරකවරයා ලෙස කටයුතු කිරීමේ වාර්තාවත් අත්පත් කරගැනීමට මඩුගල්ලට අවස්ථාව උදාවිය. ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ ඒ සියලු මුහුණුවර අතර තරග 500ක් සහ තරග 550ක් සම්පූර්ණ කළ එකම තරග තීරකවරයා ද ඔහුය. මේ වාර්තා ගොන්න කරපින්නා ගෙන ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සහ පරිපාලකයන්ගේ නොමඳ ගෞරවයට පාත්‍රවී සිටින රන්ජන් මඩුගල්ලට පාසල් තරග දිවියේ අවසන් වාරයේදී ඔබ්සර්වර් වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය කදිම උත්තේජනයක් වූවාට කිසිදු සැකයක් ‍නොමැත.

මෙරට පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ දස්කම් ඇගැයීමට ලක් කෙරෙන ප්‍රමුඛතම පාසල් ක්‍රිකට් සම්මාන උළෙල මීට දශකයකට පෙර ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් සමාගම සමග අත්වැල් බැඳ ගැනීමෙන් තවත් ශක්තිමත් වී තිබේ. මේ අසිරිමත් සම්බන්ධතාව තුළින් දශකයක් පුරා බිහිකළ පාසල් ක්‍රිකට් තරු රැසක් මේ වනවිට ජාතික කණ්ඩායමට එක්වී සිටිති. ජාත්‍යන්තරය ජයගනිමින් සිටිති. තවත් මාස කිහිපයකින් තවත් එවැනි පාසල් තරුවක් බිහිවනු ඇත. ඒ තරුව සොයා යන මේ ගමනට රන්ජන් මඩුගල්ල භූමිකාව කදිම නිදසුනක් සපයා තිබේ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();