Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ශ්‍රීලනිපයේ තනතුරු තිබෙන්නේ පක්ෂයේ අයට මිස වෙනත් පක්ෂ අටෝගෙන ඉන්න අයට නොවේ

සන්ධාන මහලේකම් තනතුර බදාගෙන සිටීමේ ආශාවක් තමන්ට නොවූවද ,ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරුවල සිටින අය ඉවත් කර එම තනතුරු, අටවා ගත් වෙනත් පක්ෂවල අයට දීමට නම් කිසිසේත් ඉඩ නොතබන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන ඇමැති මහින්ද අමරවීර මහතා කියයි.

කැබිනට් මණ්ඩලයේ තමන් සමග එකට සිටි මිතුරන්ගෙන් එක් පුද්ගලයෙක් දැන් ආණ්ඩුවෙන් ඉවත්වී තමන් ඇතුළු පක්ෂයේ අයට බැන බැන යන බවත් ඔහු මේ ලෝකයේ නොබැන ඇත්තේ බුදුරජාණන්වහන්සේට, යේසුස්වහන්සේට සහ අල්ලාහ් දෙවියන්ට පමණක් බවත් අමරවීර මහතා පෙන්වා දෙයි.

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන ඇමැති මහින්ද අමරවීර මහතා මේ අදහස් පළ කළේ කුඩාවැල්ල නව ධීවර ජැටිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගි වෙමිනි. ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශය විසින් රුපියල් මිලියන 130ක වියදමින් ඉදි කළ මේ ජැටිය මීටර් 100ක් දිග වන අතර එහි ධීවර යාත්‍රා 1000ක් පමණ නැංගුරම් ලා තැබීමේ පහසුකම් සහිතය.

කුඩාවැල්ල ධීවර ප්‍රජාව විසින් ඔවුන්ගේ යාත්‍රා නවත්වා තැබීමේ පහසුකම් සහිතව ධීවර ජැටියක් සකස් කර දෙන ලෙස කළක් තිස්සේ කළ ඉල්ලීම අනුව මෙම ධීවර ජැටිය ඉදිකිරීමට අමාත්‍යංශය පියවර ගෙන තිබිණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් පළ කළ ඇමැතිවරයා,

අපිත් එක්ක එකට ඇමැති මණ්ඩලයේ වාඩි වෙලා හිටපු අපේ මිතුරන් පිරිසක් මේ ආණ්ඩුවෙන් ඉවත් වෙන්න තීරණය කළා. අපි මේ ආණ්ඩුවත් එක්ක ඉන්නේ ගරු ජනාධිපතිතුමා රැකගත යුතු නිසයි. ඒක තමයි අපේ පක්ෂයේ තීරණය. නමුත් අපෙන් ඉවත් වෙච්ච අපේ මිතුරන්ගෙන් එක්කෙනෙක් දැන් අපිට පළු යන්ඩ බනිනවා.

එයා කියනවා අපි සටන පාවා දුන්නා කියළා. අපි මොන සටනක්වත් පාවා දුන්නේ නෑ. අපි ඉන්නේ පක්ෂය ගන්නා තීන්දු තීරණ මත. පක්ෂය කියනවා නම් ආණ්ඩුවෙන් අපි ඉවත් වෙමු කියළා අපිත් එදාට මේ ආණ්ඩුවෙන් ඉවත් වෙනවා. මේ තනතුරු අපිට අදාළ නෑ.

අපේ මිත්‍රයා දැනට බැනලා නැත්තේ මේ ලෝකේ තුන්දෙනෙකුට විතරයි. ඒ බුදුරජාණන්වහන්සේටයි, යේසුස්වහන්සේටයි, අල්ලාහ් දෙවියන්ටයි විතරයි. අපේ මහාසංඝරත්නයට බැන්නා. රටේ සියලුම නායකයන්ට බැන්නා. හිටපු ජනාධිපතිනියට බැන්නා. අනිත් හැමෝටම බැනලා තියෙනවා. බනින එක එයාගේ පුරුද්දක්. ඒ නිසා අපි ඒවා ගණන් ගන්නේ නැහැ.

නමුත් ඒ 16 දෙනා අපෙන් ඉවත් වෙලා ගියාට පස්සේ අපිට එල්ල කරන චෝදනා ගැන අපි තවම කතා කළේ නෑ. අපි ඒවට උත්තර දෙන එකත් ලබන සතියේ පටන් ගන්නවා. මේ ළඟකදී එයාලා කියලා තිබුනා සන්ධාන මහලේකම් ධුරයෙන් මම ඉවත් කරනවා කියලා. මම ජනාධිපතිතුමාට කිව්වා මාව සුදුසු නැත්නම් ඉවත් කරන්න කියලා. මම මේ තනතුරු බදාගෙන ඉන්න කෙනෙක් නොවෙයි. කැමැති කෙනෙකුට ඒක දුන්නට මට කමක් නෑ.

හැබැයි මම තවත් එකක් කියනවා. අපේ පක්ෂයේ තනතුරුවල ඉන්න අය ඉවත් කරලා වෙනත් පක්ෂවල ඉන්න අයට ඒවා දෙන්න අපි ඉඩ තියන්නේ නෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරු තියෙන්නේ ඒ පක්ෂයේ අයට මිසක් වෙනත් පක්ෂ අටෝගෙන ඒවයේ ඉන්න අයට නොවෙයි. ඒ නිසා අපි කියන්නේ අපේ පක්ෂයේ තනතුරු ඔය අටෝගෙන පක්ෂවල අයට දෙන්න ආවොත් එදාට අපිත් නිකම් ඉන්නේ නෑ කියලයි.

මේ ආණ්ඩුව 2020 වෙනකම් ඉදිරියට යනවා. ජනාධිපතිතුමා පක්ෂයේ සභාපතිවරයා වශයෙන් මේ ආණ්ඩුව ඉදිරියට පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ආචාර්ය සරත් අමුණුගම මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කළා. ඒ කමිටු වාර්තාව අනුව ඉදිරි පියවර ක්‍රියාත්මක කරනවා.

රටේ සංවර්ධනය උදෙසා රජය විසින් විශාල වැඩ කොටසක් පසුගිය වසර තුන තුළ කළා. නමුත් ඒවා ජනතාව අතරට ගියේ නෑ. හුඟක් මාධ්‍ය කරන්නේ අපි කියන කතාවක කොටසක් අල්ලාගෙන ඒක පෙන්වන එක විතරයි. ඒ හින්දා ජනතාව අතර මතයක් තියෙනවා මේ ආණ්ඩුවේ ඉන්නේ කතා කරන ඇමැතිලා විතරයි වැඩ කරන අය නොවෙයි කියලා.

අපි දන්නවා මේ රටේ ඉන්ධන මිල 2015 ජනවාරි මාසයේ ඉදලා වසර තුනක් එක දිගට ශත පහකින්වත් වැඩි කළේ නෑ. ඒ හින්දා අපිට විශාල පාඩුවක් රුපියල් බිලියන 400ක පමණ පාඩුවක් සිදුවුනා. ඒ වගේම මෙවර අවුරුදු සමය ඉතා සාර්ථකයි. බඩුමිල ශීඝ්‍රයෙන් පහළ ගියා. නමුත් ඒගැන කිසිදු මාධ්‍යයක් කතා කළේ නැහැ. ඒක තමයි ගැටලුව. ඒ නිසා මම මාධ්‍යයෙන් ඉල්ලා සිටින්නේ අපේ දේශපාලන කතා දැම්මාට කමක් නෑ. අඩුම තරමින් අසවල් සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කරනකොටවත් මේක කිව්වා කියලා දානවා නම් තමයි හොඳ යැයිද ඇමැතිවරයා කීය.

මේ අවස්ථාවට ධීවර රාජ්‍ය ඇමැති දිලිප් වෙදආරච්චි මහතා ද සහභාගි විය.

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();