Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සේවකයකු ආයතනයක් වෙනුවෙන් කැපකළ කාලය ඇගැයීම සේවකයාටත් ආයතනයටත් ගෞරවයක්

උත්සවය ආරම්භ කරමින් ආයතන අධ්‍යක්ෂිකා උමාශාන්ති රාජමන්ත්‍රී මහත්මිය පහන්සිළු දල්වමින්

 

ලේක්හවුස් සභාපති ක්‍රිශාන්ත කුරේ

ඕනෑම සේවකයකු ආයතනය වෙනුවෙන් කොපමණ කලක් කැප කළ සේවකයකුදැයි හඳුන්වාදීම එම ආයතනයට මෙන්ම ආයතනයට සිය ශ්‍රම දායකත්වය ලබා දෙන සේවකයාටද ලබාදෙන ගරු බුහුමනක් බව ලේක්හවුස් ආයතනයේ සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිශාන්ත කුරේ මහතා අවධාරණය කළේය.

ආයතනයක් සාර්ථකව ඉදිරියට යෑමට සේව්‍ය සේවක දෙපක්ෂයම සිය වගකීම හරිහැටි අවබෝධ කර ගතයුතු මෙන්ම ආයතනයක සම්පූර්ණ විනය අත්‍යාවශ්‍ය බවද සභාපතිවරයා අවධාරණය කළේය.

ලේක්හවුස් ආයතනයේ දීර්ඝ ‍සේවා ඇගයීම වෙනුවෙන් කොළඹ හිල්ටන් හෝටල් පරිශ්‍රයේ පසුගියදා (29) පැවැති උත්සවය අමතමින් සභාපති ක්‍රිශාන්ත කුරේ මහතා මේ බව ප්‍රකාශ කළේය.

එහිදී අදහස් දැක්වූ සභාපති ක්‍රිශාන්ත කුරේ මහතා:

මා ඇවිත් සිටින්නේ මා දන්නා පිරිසක් හමුවට. මේ උත්සවය තිබෙන්නේත් මම දන්න තැනකයි. උත්සවය පිළිබඳ මා විස්තර විමසීමේදී ලේක්හවුස් ආයතනයේ වසර 35ක්, වසර 25ක් සිටි සේවක මහත්ම මහත්මීන්ට වසර ගණනාවක් පුරාම ක්‍රියාත්මක කෙරෙන සම්මාන පිරිනැමීමේ මේ වසරේ වැඩ සටහන ලෙස හඳුන්වා දුන්නා. මා එහිදී පැහැදිළි කළා ලේක්හවුස් යනුවෙන් හඳුන්වනවාට වඩා ආයතනයේ හිටි ලේක්හවුස් ආයතනයට වැඩ කළ අයට සම්මාන පිරිනැමීම වඩා වැදගත් බව. මා සම්මානලාභීන් ගැන තොරතුරු සොයා බලද්දී මේ පිරිස ලේක්හවුස් ආයතනයට සිය ශ්‍රමය වැය කරමින් කැපවීමකින් දිවා රාත්‍රී නොබලා වැඩ කරන පිරිස් බව පෙන්වා දී තිබෙනවා. එය ඇත්තටම තමන්ට පෞද්ගලිකවත් ආයතනයටත් විශාල දිරිදීමක්.

මේ අ‍යගේ ජීවිත කාලයෙන් වැඩිහරියක් වැඩ කර තිබෙන්නේ ලේක්හවුස් ආයතනයේ. යම්කිසි දවසක ඔබලාගේ දරුවන්ට, සමාජයත්, ලේක්හවුස් ආයතනයත් කියයි ඔබගේ පියා මව තම ශ්‍රමය ආයතනය වෙනුවෙන් වැය කළ අය බව. ඒ කියනවිට ඉන් ඒ සියලු දෙනාටම ආඩම්බරයක්, සතුටක් ඇතිවෙනවා.

මම මේ ආයතනයට ඇවිත් මාස අටක් වෙනවා. අපි දැක්මක්, සැලසුමක් ඇතිව මේ ගමන යන්න ක්‍රියාත්මක වෙනවා. අදත් අපි තවත් සඟරාවක් ආරම්භ කළා. දැනට මාසයකට පෙර දිනපතා පුවත්පතක් “රැස” නමින් ආරම්භ කළා. එහෙත් ආයතනයක පෙත්සම් කියන, කේළාම් කියන සංස්කෘතිය නවත්වා වැඩ කරන සංස්කෘතිය ඉදිරියට ගෙන යායුතුයි. එය ආයතනයේ ප්‍රගතියට අත්වැලක්. අද ලේක්හවුස් ආයතනයට වයස 25ට අඩු තරුණයන් තරුණියන් බැ‍ඳෙනවා. කොන්ත්‍රාත් පදනම මත ඔවුන් එසේ එක්වන්නේ. සිළුමිණ පුවත්පත සමඟ පළවූ සත්මඬල අද සිට මාසික සඟරාවක් ලෙස නිකුත් කෙරෙනවා.

ලේක්හවුස් ආයතනයේ ගමන්මග ශක්තිමත්ව ඉදිරියට යන බව වටහාගෙන ඇති නිසා ඒවගේ වැඩ කරන පිරිසක් අපට අවශ්‍යයි. ලේක්හවුස් ආයතනයේ සභාපති ලෙස අනාගතයේදී පත් වෙන්නේ මටත් වඩා වයසින් අඩුකෙනෙකු යන්න මගේ විශ්වාසයයි. වත්මන් ලෝකය ගමන් ගන්නා අධිතාක්ෂණය සමඟ සටන් කළ හැකි එවැනි තරුණ පිරිස් සමඟ ආයතනය ඉදිරියට ගෙනයාමට කටයුතු කරමු. අද දින මේ දීර්ඝ සේවා සම්මාන ගන්නා සියලු දෙනාට මම සුබපතනවා.

ලේක්හවුස් ආයතනයේ සාමාන්‍යාධිකාරී අභය අමරදාස මහතා,

සහෝදර සේවක පිරිස වසර තිස්පහක හා වසර විසිපහක සේවාවක් ඉටුකළ අයයි. මේ අය ඇගයීම අපේ යුතුකමක්. ලේක්හවුස් ආයතනය දිවංගත ඩී. ආර්. විජයවර්ධන මහතා ලාබය ගැන හිතා ආරම්භ කළ ආයතනයක් නොවෙයි. නිදහස වෙනුවෙන් වරක සටන් කළ මේ ආයතනය තවත් වරෙක ශ්‍රී ලාංකේය අභිමානය ඉදිරියට ගෙනයාමට කටයුතු කළා.

මේ ආයතනයට දශක නවයකට වඩා ඉතිහාසයක් තිබෙනවා. මෙතන සිටින සේවකයන් දශක තුනක් සේවය කර තිබෙනවා. අවසාන වසර 30 නොයෙකුත් කරදර මැද තමයි ගෙවන්න වුණේ. තිස්පහ සමරන අය ඒ පිළිබඳ දන්නවා. භයංකර කාලයේ පවා අප ආයතනයේ සේවය කළ අය මෙතන සිටිනවා. ත්‍රස්තවාදීන් ආයතනයට ඇතුළුවූ මොහොතේ අපේ සේවක ප්‍රජාවගේ මුහුණු අප දැක්කා. ආරක්ෂක අංශවලට නොදෙවැනි ලෙස අපේ සේවකයින් එදා කටයුතු කළා.

අපේ සභාපතිතුමා අපට ඉලක්ක රට වෙනුවෙන්, ජාතිය වෙනුවෙන් රජය වෙනුවෙන් ලබාදී තිබෙනවා. ඒවා ක්‍රියාත්මක කරන්න වැඩිහරියක් මහන්සි වන්නේ මේ ජ්‍යෙෂ්ඨ සේවක ප්‍රජාවයි. ඒ නිසා මෙවැනි ඇගයීමක් ඉතාම වටිනවා. අද දින තිළිණ ලබන වසර 35 හා 25 සමරණ‍ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන්ට ප්‍රණාමය පුද කරනවා.

කර්තෘ මණ්ඩල පරිපාලන අංශයේ වසර 35ක දීර්ඝ සේවා උපහාර ලද අනෝමා ගමගේ මහත්මිය සම්මානලාභීන් නියෝජනය කරමින් සිය කෘතඥතාව ආයතනය වෙත පිරිනැමුවාය.

ලේක්හවුස් ආයතනයේ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න, අධ්‍යක්ෂිකා උමාශාන්ති රාජමන්ත්‍රී, කර්තෘවරුන් වන පුෂ්පා රොවෙල්, ලක්ෂ්මන් පියසේන, ලලිත් අලහකෝන්, දර්ශා බැස්ටියන්,චාමර ලක්ෂාන් මහත්ම මහත්මීහු ද නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරුන් වන සුභාෂ් කරුණාරත්න, නාරද සුමනරත්න, විරාජිත් බොයිස්, ලාල් පෙරේරා, ගාමිණී නුකුලසූරිය, සුමිත් කොතලාවල, රසන්ත චන්ද්‍රතිලක, ජ්‍යෙෂ්ඨ කළමනාකාර චන්ද්‍රලාල් යන මහත්වරු ද සමාගම් ලේකම්වරිය වන කුමුදු ගුණවර්ධන මහත්මිය ද සම්මානලාභීන්ගේ පවුල්වල ඥාතීහුද මේ අවස්ථාවට සහභාගී වූහ.

චමීර ඇල්ලදෙණිය

ඡායාරූප
චින්තක කුමාරසිංහ සහ රුක්මල් ගමගේ 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();