Ticker

6/recent/ticker-posts

Header Ads Widget

වසර 17ක් පැරණි මලල ක්‍රීඩා තරග වාර්තාවක් සාන්ත පීතර් විදුහලේ රුමේෂ් තරංග බිඳ හෙලයි

Author(s): 
ප්‍රින්ස් ගුණසේකර

කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන 56 වැනි ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ තෙවැනි දිනය වූ ඊයේ වසර 17ක් පැරණි කනිෂ්ඨ මලල ක්‍රීඩා තරග වාර්තාවක් බිඳ වැටෙයි. කොළඹ සාන්ත පීතර් විදුහලේ රුමේෂ් තරංග වයස අවුරුදු 16න් පහළ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්ව මීටර් 65. 26කින් නිමකොට මේ නව තරග වාර්තාව බිහි කළ අතර මෙහි පැරණි වාර්තාව 2001දී කොළඹ නාලන්දා විදුහලේ අයි. ඒ පරණගම මීටර් 62. 27කින් පිහිටුවා තිබුණි.

බිඳ වැටුණු මේ නව තරග වාර්තාවත් සමග මේ වන විට පිරිමි ඉසව්වලින් නව තරග වාර්තා 8ක් හා කාන්තා ඉසව්වලින් නව තරග වාර්තා 11ක් බිඳ වැටුණු අතර නව ශ්‍රී ලංකා වාර්තාවක්ද පළමු දිනයේම බිහි විය.

ඊයේ දිනයේ අවුරුදු 18න් පහළ පිරිමි මීටර් 400 තරගය තත්පර 48. 55කින් කුරුණෑගල දිස්ත්‍රික් මලල ක්‍රීඩා සංගමයේ ඩී. එම්. බෝගොඩ නිමකරමින් නව තරග වාර්තාවක් බිහිකළ අතර පසුගිය වසරේදී ටී. ආර්. ඉන්ද්‍රජිත් තත්පර 48. 87කින් මේ ඉසව්වේ පැරණි වාර්තාව පිහිටුවා තිබුණි.

20න් පහළ කාන්තා මීටර් 400 තරගයේදී නව තරග වාර්තාවක් හා වර්තාව සමවීමක් ඊයේ සටහන් වූයේ වසර 6කට පසුවය. දැනට මීටර් 100 හා 200 ජාතික ශූරිය වන රුමේෂිකා රත්නායක පාසල් සමයේදී බිහිකළ වාර්තාවක් එලෙස බිඳ වැටුණි. කෑගල්ල සාන්ත ජෝශප් බාලිකා විදුහල නියෝජනය කරමින් රුමේෂිකා රත්නායක වසර 2012දී මීටර් 400 තරගය තත්පර 56.08කින් බිහිකොට තිබූ වාර්තාව වලල ඒ රත්නායක විදුහලේ ශ්‍යාමලී කුමාරසිංහ තත්පර 55. 94කින් බිඳහෙලූ අතර වත්තල ලයිසියම් විදුහලේ සචිනි දිව්‍යාංජලී තත්පර 56. 08කින් වාර්තාව සම කළාය. වලල ඒ රත්නායක විදුහලේ ශ්‍යාමලී කුමාරසිංහ මෙයට පෙර දිනයේ මීටර් 800 නව තරග වාර්තාව ද බිහිකිරීමට සමත්වූ දක්ෂ ක්‍රීඩිකාවකි.

දින 4කින් සමන්විත ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ අවසන් දිනයේ තරග අද පැවැත්වෙන අතර ලබන මැයි මස 4 සහ 5 දිනවල දී සුගතදාස ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත දකුණු ආසියා කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියට සහභාගීවන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ නාම ලේඛනය අද ප්‍රකාශයට පත් කිරීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය බලාපොරොත්තු වේ.

එමෙන්ම ජූලි මස 4 වැනිදා සිට 8 වැනිදා දක්වා ජපානයේ ෆුජී හිදී පැවැත්වීමට නියමිත ආසියා කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියට සහභාගීවන ක්‍රීඩක ක්‍රීඩිකාවන් මේ කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ දක්ෂතා මත හඳුනාගැනීමට ද අපේක්ෂා කෙරේ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();