බරපතළ වංචා දූෂණ සොරකම් පිළිබඳව වගවිභාග කිරීමට විශේෂ අධිකරණයක් පිහිටුවීම සඳහා ඉදිරිපත් කර තිබෙන අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත සම්මත කර ගැනීම වෙනුවෙන් ජාතික හෙළ උරුමය දැඩි කැපවීමෙන් පෙනී සිටින බව එහි මහ ලේකම් ඇමැති පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කරයි.
ඇමැතිවරයා එසේ ප්‍රකාශ කළේ ඊයේ (15) බත්තරමුල්ල ජාතික හෙළ උරුමය ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.
එම පනත් කෙටුම්පත රටට ඉතාමත්ම වැදගත් බවද ප්‍රකාශ කළ ඇමැතිවරයා පනත ගෙනඒම පිළිබඳව අධිකරණ ඇමැති තලතා අතුකෝරල මහත්මියට ජාතික හෙළ උරුමයේ ස්තුතිය පළ කරන බවද කීය. අධිකරණය ස්වාධීන මෙන්ම අපක්ෂපාතී විය යුතු යැයි පැවසූ ඇමැතිවරයා මෙරට අධිකරණ පද්ධතියේ කටයුතු සිදු කිරීමේ දී නවීන තාක්ෂණික උපක්රමයන් යොදා ගත යුතු බවද ප්‍රකාශ කළේය.
අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත සම්මත වීමෙන් පසු පෙර පාලනයේ වැරැදි පිළිබඳව කටයුතු කරනවා සේ වත්මන් පාලනයේ වැරැදි පිළිබඳවද කටයුතු කළ හැකි යැයි කී ඇමැතිවරයා ජාතික හෙළ උරුමයට හැකියාවක් ඇත්නම් තාජුදීන් ඝාතනය පිළිබඳව ඉතා වේගවත් අන්දමින් කටයුතු කරන බවද පැවසීය. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව විශ්වාභංගයක් ගෙන එන බවට ජාතික හෙළ උරුමය ප්‍රකාශ නොකළ බව කී ඇමැතිවරයා අග්‍රාමාත්‍යවරයාට රට පාලනය කිරීමට ජනවරක් ලැබී ඇති බවද ප්‍රකාශ කළේය. අග්‍රාමාත්‍යවරයා සුදුසුද නොසුදුසුද කියා තීරණය කරණුයේ ආණ්ඩු පක්ෂ කණ්ඩායම බවද කීවේය. රට පෙරට ගෙන යන වැඩපිළිවෙළ මේ වන විට කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති බවද පැවසූ චම්පික රණවක ඇමැතිවරයා එය ඉදිරි සතියේ දී ජනතාවට හෙළි කරන බවද ප්‍රකාශ කළේය. රටේ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය ජනතා දිනපොතට අනුව සිදු කළ යුතු බවද ඇමැතිවරයා කීය.
මෙම අවස්ථාවට සහභාගී වෙමින් ජාතික හෙළ උරුමයේ සම සභාපති නියෝජ්‍ය ඇමැති කරුණාරත්න පරණවිතාන මහතා ප්‍රකාශ කළේ, අධිකරණ සංවිධාන (සංශෝධන) පනත ගෙන ඒම පිළිබඳව ඒකාබද්ධයේ සහ හොරු බිය වී සිටින බවයි. නීතිඥ සංගමය දේශපාලනීකරණය වෙනවාදෝ යැයි සැකයක් තිබෙන බව පැවසූ නියෝජ්‍ය ඇමැතිවරයා පනත සම්බන්ධයෙන් නිවැරැදි දැක්මකින් කටයුතු කරන ලෙස නීතිඥ සංගයෙන් ඉල්ලා සිටින බවද කීය. තමා ඊයේ දිනයේ ද නීතිඥ සංගමයේ සභාපතිවරයාගෙන් ඒ පිළිබඳව විමසූ බවද පැවසූ නියෝජ්‍ය ඇමැතිවරයා එහිදී ඔවුන් තාක්ෂණික කාරණයක් පිළිබඳව ප්‍රකාශ කළ බවද කීය. අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පතට එරෙහිව පෙත්සම් ඉදිරිපත් කිරීම සම්බන්ධව දූෂිත බලවේගයන්ගේ අශුද්ධ සන්ධානයක් තිබෙන බව සැකයක් තිබෙන බව කී නියෝජ්‍ය ඇමැතිවරයා එය වැළැක්වීම සඳහා මැදිහත් කාර පාර්ශ්වයක් ලෙස ජාතික හෙළ උරුමය අද (16) අධිකරණයට යන බවද කීය. මෙම පනතට එරෙහිව පෙත්සම් කරුවෝ විශාල සංඛ්‍යාවක් සිටින බවද නියෝජ්‍ය ඇමැතිවරයා පැවසීය.
0 Comments