සිවිල් ගුවන් සේවා අධිකාරියේ නිලධාරින් සහ සෙසු කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් වසරක් පාසා විශාල වියදමක් දරමින් කැරගෙන ගිය විදෙස් සංචාර සියල්ලම ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා කපාහැර තිබේ.
පසුගිය කාලයේදී සිවිල් ගුවන් සේවා අධිකාරිය විදෙස් සංචාර සඳහා අතිවිශාල මුදලක් වියදම් කැර ඇත. එකසිය එක්දෙනකුගෙන් සමන්විත එහි කාර්ය මණ්ඩලයේ පනහකට වැඩි පිරිසක් නිරතුරුවම විදෙස් සංචාරවල යෙදුණේ අධිකාරියේ මුදල්වලිනි.
මෙසේ වියදම් දරා නිසි ප්‍රයෝජනවත් කර්තව්‍යයක් සිදු නොවීම සම්බන්ධව රාජ්‍ය විගණනය විසින් විගණන විමසුම් පවා එම අධිකාරිය වෙත යවා තිබිණි.
එහිදී එවකට සිටි ඇමැතිවරයකු සහ තවත් දෙදෙනකුට ගුවන් සංදර්ශනයක් නැරඹීමට දින තුනක වියදම් වශයෙන් රුපියල් ලක්ෂ පහළොවකට වඩා වැඩි මුදලක් වියදම් කර තිබූ අවස්ථා ද වාර්තා විය.
ඇමැති නිමල් සිරිපාල මහතා යටතට එම අධිකාරිය පත්වීමෙන් පසු අධිකාරියේ කටයුතු විධිමත් ආකාරයකට සිදුවන බවත් අධිකාරිය තුළ කාලයක් තිස්සේ සිදුවෙමින් පැවැති මූල්‍ය නාස්තිය සම්පූර්ණයෙන් නවත්වා දැමීමටත් අනවශ්‍ය වියදම් ආදිය නතර කැර දැමූ බවත් අධිකාරියේ වෘත්තිය සමිති පවසති.
එමපමණක් නොව වසර 16 කට ආසන්න කාලයක් සිවිල් ගුවන් සේවා අධිකාරියට ස්ථිර ගොඩනැගිල්ලක් තිබුණේ නැත. මෙතෙක් කාලයක් ඔවුන් කාර්යාල කටයුතු පවත්වාගෙන යනු ලැබුවේ මසකට රුපියල් ලක්ෂ 37 ක පමණ මුදලක් ගෙවූ කුලී ගොඩනැගිල්ලකයි.
සිවිල් ගුවන් සේවා අධිකාරිය ආරම්භ වූයේ 2002 වසරේදීය. එතැන් සිට මේ දක්වා රුපියල් කෝටි හයසියය ඉක්මවූ මුදලක් කුලී කාර්යාලය වෙත ගෙවා තිබේ.
මෙම අනවශ්‍ය වියදම් නතර කර වහාම නව ගොඩනැගිල්ලක් ඉදිකර කාර්යාල කටයුතු කැරගෙන යන ලෙසට ඇමැතිවරයා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපතිවරයා ප්රමුඛ නිලධාරින්ට නියෝග කර තිබිණි.
ඒ අනුව වසර දෙකක් පමණ කෙටි කාලයක් තුළ රුපියල් කෝටි 82 ක වියදමින් කටුනායක නයිවල ප්‍රදේශයේ සිවිල් ගුවන් සේවා නව කාර්යාලය ඉදිකැර ඇත.
එම නව ගොඩනැගිල්ල විවෘත කිරීම හෙට (29) සිදුවෙයි. අද එහි පිරිත් පින්කමක් පැවැත්වෙයි. මෙම ගොඩනැගිල්ලට අලුතින් ලී බඩු සහ වෙනත් උපකරණ ද්‍රව්‍ය මිලදී ගැනීමට සැලසුම් කර තිබුණත් ඇමැතිවරයා උපදෙස් දී තිබුණේ අනවශ්‍ය වියදම් ඉවත් කැර මෙතෙක් කාර්යාලයේ තිබූ ලී බඩු සහ වෙනත් උපකරණ අලුත්වැඩියා කැර පාවිච්චියට ගන්නා ලෙසයි.
මේ ආකාරයෙන් වසර තුනක් වැනි කෙටි කාලයක් තුළ සිවිල් ගුවන් සේවා අධිකාරියේ සියලු කටයුතු ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා විධිමත්ව සකස් කැර තිබේ.
කාලයක් තිස්සේ සිදු වී තිබූ අනවශ්‍ය වියදම්, නාස්තිය, දූෂණය සම්පූර්ණයෙන් අකර්මණ්‍ය කැර කාර්යක්ෂම ලාභ ලබන ආයතනයක් බවට පත් කැර ඇත.
ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා නිරතුරුවම එම අධිකාරියේ කටයුතු අධීක්ෂණය කරමින් සිදුකර ඇති එම වෙනස පිළිබඳව එම අධිකාරියේ වෘත්තීය සමිතිවලින් ද විමසූ අතර ඇමැතිවරයා අධිකාරිය මෙවැනි තත්ත්වයකට ගෙන ඒම ඔවුන්ගේ දැඩි ඇගයීමට ලක්කරනු ලැබිණි.
0 Comments