* අපි දැන ගන්න ඕනෑ ජනතා මතය අනුව හැදෙන්න.නිවැරැදි වෙන්න. ඉල්ලීම් අනුව ඉදිරියට යන්න.
* ජාතීන් අතර විශ්වාසය බිඳ වැටෙන විට රට අඩපණ වෙනවා. අප එම විශ්වාසය සෑම විටම ආරක්ෂා කළ යුතුයි.
අපි සිංහල බෞද්ධයන් ලෙස සියල්ලන් සමඟ එකට එක්ව වැඩ කිරීමට හැකි වාතාවරණයක් ඇති කර ගත යුතු බවත් සිංහල බෞද්ධයන් බහුතරයක් සිටින රටක් ලෙස වෙනත් ආගමික කණ්ඩායම් සමඟ එක්ව විශ්වාසයෙන් කටයුතු කළ යුතු බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කෙළේය.
කෑගල්ල , දමුණුපොළ ශ්‍රී ආනන්දාරාම විහාරස්ථානයේ ඉදි කළ රන්වැට සහිත බෝධි ප්‍රාකාරය හා ඝණ්ටාර කුලුන පෙරේදා (15) විවෘත කිරීමෙන් අනතුරුව පැවැති උත්සව සභාව අමතමින් අගමැතිවරයා මේ බව පැවසිය.
එහි වැඩිදුරටත් අදහස් දැක් වූ අගමැතිවරයා මෙසේ ද පැවසීය.
ජාතීන් අතර විශ්වාසය බිඳ වැටෙන විට රට අඩපණ වෙනවා. අප එම විශ්වාසය සෑම විටම ආරක්ෂා කළ යුතුයි.සිංහල අවුරුද්දෙන් පස්සේ තරුණ තරුණියන්ට රැකියා ලබා දෙන වැඩපිළිවෙළක් හදනවා.දේශීය හා විදේශිය අයෝජකයන්ට මෙරට තුළ අයෝජන අවස්ථා ලබා දි කර්මාන්ත ශාලා, හෝටල් ආරම්භ කර වරාය, ගුවන්තොටුපොළ සංවර්ධනය කිරීමට කටයුතු කරනවා. ඒ සඳහා දැනට ඉල්ලිම් කර තිබෙනවා. දිර්ඝ කාලින සැලසුමක් ක්‍රියාත්මක කරනවා. එදා ජේ .ආර්. ජයවර්ධන මැතිතුමා වෙළෙඳ කලාප,මහවැලි ව්‍යාපාරය ආරම්භ කළා. ප්‍රේමදාස ජනාධිපතිතුමා ඇඟලුම් කර්මාන්ත ශාලා ආරම්භ කළා.එවැනි වැඩ පිළිවෙළවල් ආණ්ඩුව ඉදිරියේ දී ආරම්භ කරනවා.ඒ හරහා ගමට සංවර්ධනය ගෙන ඒමට කටයුතු කරනවා.ඒ සඳහා අදාළ අමාත්‍යාංශ,අයෝජන මණ්ඩලය,වයඹ හා දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශය සමඟ එක්ව මූලික කටයුතු මේවන විට සිදු කර අවසන්.
1979 වන විට චීනය අපට වඩා සංවර්ධන අතින් පහළ මට්ටමක තිබුණේ.පාපැදියයි ඔවුන්ට තිබුණේ. අද බටහිර රටක් වගේ චීනයේ වාහන පිරිලා.වසර කිපයකට පෙර යුරෝපයට මම යන අවස්ථාවක ඩුබායි ගුවන් තොටුපොළට ගියා.එදා එහි තිබුණේ ටකරන් මඩු දෙකක් හා ගොඩනැගිලි තුනක් පමණයි.ඩුබායි අද අපිට වඩා සංවර්ධනය අතින් ඉහළට ගිහිල්ලා.අපි කුඩා කළ මතකයි කොළඹ වරයේ සේවයට සිංගප්පූරු සේවකයෝ ආවා .අද අපේ අය සිංගප්පූරු වරායේ වැඩ කරනවා. එදා සෞඛ්‍යය පහසුකම් ලබා ගන්න මැලේසියාවේ,සිංගප්පූරුවේ අය ලංකාවට ආවා. අද අපි සෞඛ්‍යය පහසුකම් ගන්න ඒ රටවලට යනවා.අපිට වසර 30 ක යුද්ධයකට මුහුණ දෙන්න සිදු වුණා.ඒ නිසා රටේ සංවර්ධනය පසුබැස්සා.අපේ දේශපාලනය කුමක් වුවත් අපි බැලිය යුත්තේ ගමේ සංවර්ධනය පිළිබඳවයි.ඒක අපේ මූලික යුතුකමක්.ඒ වැඩ කටයුත්ත ආරම්භ කළා.අපිට පළමු වසර දෙක තුළ ඒ කටයුත්ත අමාරු වුණා. රටේ ණය ගෙවීමට හා අනෙකුත් ප්‍රශ්න නිසා.ඒ සමඟම ජනතාවගේ ඉවසීමත් අඩු වුණා.ඒවායේ ප්‍රතිඵල පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී පෙනුනා.අපිට විරුද්ධව ජනතාව ඡන්දය දුන්නා.අපි කළ ප්‍රකාශයන් ගණනාවක් ක්‍රියාත්මක වුණේ නෑ. එහෙම නැතිනම් අපි කරන කටයුතුවල වේගය මදි වුණා.එහෙම නැති නම් ජනතාවගේ ජීවන බර වැඩි නිසා හෝ පොහොර හිඟය නිසා හෝ යම් ප්‍රශ්න ඇති වුණා. අපි දැන ගන්න ඕනෑ ජනතා මතය අනුව හැදෙන්න.නිවැරැදි වෙන්න.ඉල්ලීම් අනුව ඉදිරියට යන්න.දේශපාලනය කියන්නේ පිල් දෙකකට,තුනකට බෙදිලා කරන කඹ ඇදිල්ලක් නොවෙයි.අපි බලන්න ඕනෑ රටේ ජනතාවට සේවය කරන්න.මෙතට ඉන්න අය සිතන්න ඕනෑ අපි කොහොමද දියුණු වෙන්නේ කියලා. වැරදි නිවරදි කිරීමට අපි ඉන්නවා.
පළාත් පාලන මැතිවරණය නිමා වී මාසයක් ගියා .තෙල්දෙනියේ පසුගියදා ඇති වූ ප්‍රශ්නවලය මුහුණ දෙන්න වුණා.දැන් රටක් විධියට අපි ඉදිරියට යන්න ඕනෑ.සිංහල අවුරුද්දට ජනතාවට බඩු හා අතේ මුදල් තියෙන්නත් ඕනෑ. රැකියා ලබා දෙන්න අයෝජකයෝ ගෙන්න කටයුතු කරනවා.ඒවායේ ප්‍රතිඵල ගමට එනවා.එවිට ගමේ ඇති නැති පරතරය නැති වෙනවා.ඒ සඳහා අවශ්‍ය මූලික අඩිතාලම සකස් කර අවසන්. රටේ උද්ධමනය පාලනය කිරීම අවශ්‍යයි.ජනතාව අතට සල්ලි ලැබෙන්න අවශ්‍යයි.එය සිදු කිරීමට බලාපොරොන්තු වෙනවා.රටක සංවර්ධනයක් නැතිනම් කර්මාන්ත ශාලා ඇතුළු අනෙකුත් ජනතාවගේ පහසුකම් ලැබෙන්නේ නෑ.ඉදිරියේ දී ජනතාවගේ ආදායම් තත්ත්වය වැඩි දියුණු කිරීමට කටයුතු කරනවා.
රටේ ඇති වී තිබෙන නියගය නිසා කන්න හතරක් වගා කිරීමට නොහැකි වුණා.එම නිසා කෘෂිකර්මාන්තය පහත වැටුනා.රබර් මිල පහත වැටුනා.එම නිසා ආර්ථිකය ගොඩනගන්න අවශ්‍යයි.ඉදිරියේ දි රටේ ආර්ථිකය ශක්තිමත් කර උපාධිධාරීන් ඇතුළුව රැකියා ලබාදීමට කටයුතු කරනවා.
ගමේ පන්සල නිසා තමයි ගමේ ජනතාවගේ දියුණුවක් ඇති වෙන්නේ.ගමේ දායකයෝ ශක්තිමත් නම් පන්සලත් ශක්තිමත් වෙනවා.ගම්මානවල අය දේශපාලන වශයෙන් හෝ වෙනත් කරුණයක් වශයෙන් බෙදුනත් දායක සභාව තුළ එක්වී වැඩ කිරීමට අවස්ථාව ලැබෙනවා.ඒ ශක්තිය අපි ආරක්ෂා කරන්න අවශ්‍යයි.බහුතර සිංහල බෞද්ධයන් විදිහට අපි අනෙක් කොටස්වල විස්වාසය ඇති වන පරිදි කටයුතු කළ යුතුයි.නැතිනම් එය බහුතරයට වෙන හානියක්.එම නිසා අන්‍යය අය තුළ ඒ විශ්වාසය ඇති කළ යුතුයි.
ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතා-
ගමේ පන්සල දියුණු වෙනවා කියන්නේ ඒ සමගම ගම දියුණු වෙනවා කියන එකයි.බෞද්ධ මහජන නියෝජිතයන් විදිහට අපි මෙවැනි ගම්වල පන්සල් දියුණු කිරීම යුතු කමක් මෙන්ම වගකීමක් වෙනවා.ජගත් කරුණාරත්න මහතා වැනි පුද්ගලික ධන පරිත්‍යාගයෙන් මෙවැනි ප්‍රදේශවල සිදු කරන මෙවැනි ක්‍රියා අපි අගය කරනවා.
මෙම අවස්ථාවට විහාරාධිපති මල්වානේ ඉන්ද්‍රසුමන හිමි ඇතුළු ප්‍රදේශයේ මහා සංඝරත්නය වැඩම කර සිටි අතර මුලසුන ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ වරාගොඩ ප්‍රේමරතන හිමි හෙබ වූහ.අනුශාසනාව අමරපුර නිකායේ සභාපති ගංතුනේ අස්සජී හිමියෝ සිදු කළහ.
විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකළ රන් වැට සහිත බෝධි ප්‍රාකාරය හා ඝණ්ඨාර කුළුණ සඳහා කඩවත ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු වූ ජගත් සුමිත්‍ර මහතා මූල්‍යය අනුග්‍රහය ලබා දී තිබෙයි.
බුලත්කොහුපිටිය සමූහ
0 Comments