Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඩී.එස්.අයි. පාසල් වොලිබෝල් අප්‍රේල් 27වැනිදා සිට රට පුරා

Author(s): 
ප්‍රින්ස් ගුණසේකර

ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය, අධ්‍යාපන අමාත්‍යාංශය සහ පාසල් වොලිබෝල් සංගමය එකාබද්ධව ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාවහන් නිෂ්පාදන ආයතනයක්වන ඩී. සැම්සන් සහ පුත්‍ර සමාගම සමාගමේ අනුග්‍රහයෙන් සංවිධානය කරන ඩී.එස්.අයි. සුපර් ස්පෝර්ට්ස් පාසල් වොලිබෝල් තරගාවලිය අප්‍රේල් 27වැනිදා ආරම්භ වෙයි.

මෙම තරගාවලියේ දිස්ත්‍රික් මට්ටමේ තරග මැයි 1දින දක්වා පැවැත්වෙන අතර ජාතික මට්ටමේ තරග මැයි 31 සිට ජූලි 2 දක්වා හා අවසන් මහා තරග අගෝස්තු 3 හා 4 දිනවල මහරගම ජාතික තරුණ සේවා සභා ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

පළමු වරට 11න් පහළ බාලක බාලිකා තරග ඉසව්වක් සංවිධානය කිරීමට මෙවර කටයුතු යොදා තිබීම විශේෂත්වයකි. කුඩා කළ සිටම වොලිබෝල් ක්‍රීඩාවට ඇති හැකියාව සොයා බැලීමේ අදිටනින් මෙම වයස් කාණ්ඩය හදුන්වා දෙන බව තරග සංවිධායකයෝ පවසති. වෙනදා මෙන්ම 19න් පහළ, 17න් පහළ, 15න් හා 13න් පහළ බාලක බාලිකා තරග ඉසව් පැවැත්වේ.

තරගාවලිය දිස්ත්‍රික් මට්ටමෙන් ආරම්භවන අතර එහි දී ශුරතාව සහ අනු ශූරතාව දිනා ගන්නා කණ්ඩායම් ජාතික මට්ටමේ තරගාවලියට සුදුසුකම් ලබති. කාණ්ඩ 4ක් යටතේ පැවැත්වෙන මෙවර ශූරතාවලියට කණ්ඩායම් 4000කට වැඩි ප්‍රමාණයක් සහභාගි වනු ඇතැයි ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති විදුලි බල බලශක්ති හා පුණර්ජනනීය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා පැවැසීය.

“ මේ 2018 වසර වොලිබොල් ක්‍රීඩාවට විප්ලවීය වසරක්. මේ වසරේ මෙතෙක් අප නොලැබූ ජයග්‍රහණ රාශියක් වාර්තා වේවි. ජාතික ක්‍රීඩාව දියුණු කිරීම සදහා මාධ්‍ය සහයෝගය ඉතා අවශ්‍යයි. වොලිබෝල් සියලු දෙනාටම එක්විය හැකි ක්‍රීඩාවක්. ජාතික ක්‍රීඩාවට සියලු දෙනාගේ සහය අවශ්‍යයි. ඩී. එස්. අයි. ආයතනය ඒ සදහා විශාල සහයෝගයක් ලබා දෙමින් සිටිනවා. ඒ පිළිබඳ වොලිබෝල් සම්මේලනයේ ස්තූතිය එම ආයතනයට හිමි වෙනවා“ සියඹලාපිටිය මහතා පැවැසීය.

මෙරට සියලු පාසල්වලට සහභාගි විය හැකි මේ තරගාවලිය සඳහා අයැදුම්පත් දැනටමත් පාසල් වෙත යවා ඇති අතර රට පුරා සෑම ඩී.එස්.අයි. ප්‍රදර්ශනාගාරයකින්ම ලබා ගත හැකිය.

මේ පිළිබඳ කොළඹ නිපෝන් හොටලයේ පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ ඩී. සැම්සන් සහ පුත්‍ර සමාගම සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ තුසිත රාජපක්ෂ මහතා පැවැසූවේ ව්‍යාපාරික පරමාර්ථයෙන් තොරව සමාජ මෙහෙවරක් ලෙස සිතා ක්‍රීඩාවේ දියුණුව වෙනුවෙන් අනුග්‍රහය පිරිනැමූ බවය.

“ නැගී එන පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාතික තලයට දායාද වන්නේ ඩී. එස්. අයි. පාසල් වොලිබෝල් තරගාවලියෙන්. අද ජාතික තලයේ සිටින සියලුම වොලිබෝල ක්‍රීඩක ක්‍රීඩිකාවන් එදා පාසල් වොලිබෝල් ක්ෂේත්‍රෙයන් ඉදිරියට පැමිණි දරුවන්. ඒ නිසා මෙම තරගාවලිය ඉතා වැදගත් බව අප සැවොම දන්නවා. ඉදිරියේදීත් අපගේ සහයෝගය මෙයට හිමිවනවා“ රාජපක්ෂ මහතා පැවැසීය.

මෙම මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ ලේකම් ඒ. එස්. නාලක, අධ්‍යාපන අමාත්‍යාංශයේ ක්‍රීඩා අධ්‍යක්ෂ කර්නල් මංජුල කාරියවසම්, ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ උප සභාපති හා පාසල් වොලිබෝල් තරග කමිටු සභාපති කාංචන ජයරත්න යන මහත්වරුද අදහස් දැක්විය.

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();