Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ගැටලු තිබුණත් කාන්තා නියෝජනය ආපසු හරවන්න දෙන්න බැහැ

කුමන ගැටලු මතු වුවත් පළාත් පාලන ආයතනවල 25% කාන්තා නියෝජනය කිසිදු අයුරකින් ආපසු හැරවීමට කටයුතු නොකළ යුතු බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසයි.

ලැබී ඇති ඡන්ද ප්‍රතිඵල අනුව ඇතැම් පළාත් පාලන ආයතනවල මෙය ක්‍රියාත්මක කිරීමේදී ප්‍රායෝගික ගැටලු මතුවන බව තමන් ද පිළිගන්නා බව පවසන ඒ මහතා, එහෙත් මේ මොහොතේ කළ යුතු වන්නේ 25% කාන්තා නියෝජනය බාධාවකින් තොරව ක්‍රියාත්මක කළ හැකි පළාත් පාලන ආයතන කඩිනමින් ස්ථාපිත කිරීම හා සෙසු පළාත් පාලන ආයතනවල එම තත්ත්වය විසඳීම සඳහා නීති සම්පාදකයන් හා සියලු දේශපාලන පක්ෂ මැතිවරණ කොමිෂන් සභාව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම බවත්, සඳහන් කරයි.

25% කාන්තා නියෝජනය නැවත වරක් සංශෝධනය කිරීමට සූදානමක් පවතින බව දැනගැනීමට තිබෙන බවත් පවසන ඒ මහතා, ඇතිවී තිබෙන ව්‍යාකූලතාව මඟහැරවීම සඳහා කාන්තා නියෝජනය අඩු කළහොත් එයින් ජනමතය හෑල්ලුවට ලක්වන බවත් පෙන්වා දෙයි.

එමෙන්ම පළාත් පාලන ආයතනවලට ලැයිස්තුවෙන් සභිකයන් පත් කිරීමේදී හැකියාව හා දක්ෂතාව සහිත කාන්තාවන් හා පිරිමින් පත් කර ගැනීමටත් ඒ ඒ පක්ෂ කටයුතු කළ යුතු යැයිද රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසයි.

මාර්තු 12 ව්‍යාපාරය මඟින් කොළඹ සමාජය හා සාමයික කේන්ද්‍රයේ ඊයේ (20) පැවැත්වූ මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ බව පැවැසීය.

එහිදී අදහස් දැක්වූ රෝහණ හෙට්ටිආරච්චි මහතා - පළාත් පාලන මැතිවරණයේ ප්‍රකාශයට පත්ව ඇති ප්‍රතිඵල දෙස බලනවිට අපට පෙනී යන්නේ අපේක්ෂකයන්ගේ පුද්ගල දක්ෂතාව කෙරෙහි අවධානය යොමු කරනවා වෙනුවට පළාත් පාලන මැතිවරණය ජාතික මැතිවරණයක් සේ සලකා තමන්ගේ ඡන්දය පාවිච්චි කර ඇති බවයි. කෙසේ වෙතත් මේ මැතිවරණයේදී ජනතාව තමන් කැමති පක්ෂය වෙනුවෙන් ඡන්දය පාවිච්චි කර අවසන්. දැන් පක්ෂවලට තිබෙන්නේ තමන්ගේ ජනතාව වෙනුවෙන් යුතුකම් ඉටු කිරීමයි. එය කළ හැකි වන්නේ ඡන්ද දායකයාගේ ගෞරවාදරයට ලක් වන ඔවුන් අපේක්ෂා කරන ආකාරයේ පුද්ගලයකුට අදාළ පළාත් පාලන ආයතනවල සභාපති තනතුර ලබා දීමෙන් පමණයි.

මාර්තු 12 ව්‍යාපාරයේ මෙහෙයුම් කමිටු සාමාජික මංජුල ගජනායක මහතා-පළාත් පාලන මැතිවරණයේ පශ්චාත් මැතිවරණ සමයේ විශේෂයෙන් ම කාන්තාවන් අගතියට පත්ව තිබෙනවා. පශ්චාත් මැතිරවණ ප්‍රචණ්ඩ ක්‍රියා වළක්වන්න, කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය නවත්වන්න කියලා එකම පක්ෂ නායකයකුවත් මෙතෙක් ප්‍රකාශ කර නෑ.

අපේක්ෂක ලැයිස්තු සැකසීමේදී 25% කාන්තා නියෝජනය පිළිබඳ අවධානය යොමු කළත් මැතිවරණ ප්‍රතිඵල ලැබීමෙන් පසු කාන්තා නියෝජනය අඩපණ කිරීමට ඇතැමුන් කටයුතු කරමින් සිටිනවා. පක්ෂ විදිහට ගත්තොත් පළාත් පාලන ආයතනවල කාන්තා නියෝජනය වැඩිකිරීමට එක්සත් ජාතික පක්ෂය දැඩි උත්සාහයක් ගත්තා. ඒ නිසා පළාත් පාලන ආයතනවල කාන්තා නියෝජනය අඩපණ කිරීමට එම පක්ෂයට කිසිම හේතුවක් ඇත්තේ නැති බව අපේ විශ්වාසයයි. ඒ නිසා අපි අගමැතිතුමාගෙන් ඉල්ලා සිටිනවා කිසිම හේතුවක් මත මේ කාන්තා නියෝජනය අඩු කරන්න ඉඩ දෙන්න එපා කියලා.

සිතාරා සේනානි හා සඳුන් රමේෂ්
ඡයාරූපය- සිරිපාල හල්වල 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();