Ticker

6/recent/ticker-posts

Header Ads Widget

දුම් නොබොන කාන්තාවන් දුම්කොළ සමාගම්වල ඉලක්කයයි

Author(s): 
මහින්ද අලුත්ගෙදර

දුම්කොළ සමාගම්වල ඉලක්කය වී තිබෙන්නේ මේ රටේ දුම් නොබොන සියයට 52ක් වන කාන්තාවන් බව මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්යය සාධන බළකායේ අධ්‍යක්ෂ වෛද්‍ය සමන්ත කුමාර කිතලවආරච්චි මහතා ප්‍රකාශ කරයි.

කාන්තාවන් ඉලක්ක කර ගැනීම සඳහා එම සමාගම් විසින් විවිධ උපක්‍රම යොදා ගන්නා බව පෙන්වා දෙන ඒ මහතා රටේ ජනතාවට මිනිසුන් කවුද සතුරන් කවුරුන්ද යන්න හඳුනාගත නොහැකි යුගයක සිටි බව ද රජයේ ප්‍රතිපත්තියට අනුව එළඹෙන 2020 පමණ වනවිට දුම්කොළ වගාව ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීම සපුරා ගත හැකි ඉලක්කයක් බව ද පෙන්වා දෙයි.

එළැඹෙන 2020 වනවිට ශ්‍රී ලංකාව දුම්කොළ වගාවෙන් තොර දේශයක් බවට පත්කිරීම වෙනුවෙන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හරහා තිරසාර වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර තිබෙන බව පෙන්වාදෙන ඒ මහතා, ගොවීන් ආරක්ෂා කරමින් විකල්ප භෝග හඳුන්වා දී ඔවුන්ගේ ආර්ථික මට්ටම ඉහළ නැංවීම අපේක්ෂාව වී තිබෙන බව ද දුම්කොළ වගාව ප්‍රචලිත කිරීම වෙනුවෙන් දුම්කොළ සමාගම් විසින් ගමට ගොස් ගොවීන් වෙනුවෙන් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරමින් විවිධාකාරයේ ප්‍රතිලාභ පිරිනැමීමට කටයුතු කරන බව ද පෙන්වා දෙයි.

ඒ මහතා මේ බව සඳහන් කළේ කොළඹ ජානකී හෝටලයේ දී ඊයේ (27) පැවැති සමුළුවකට සහභාගි වෙමිනි. මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්යය සාධන බළකාය සහ කොළඹ විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨයේ දුම්කොළ කර්මාන්ත අධ්‍යයන කේන්ද්‍රය එක්ව සිදුකරන ලද ‘දුම්කොළ වගාව සහ එහි සමාජයීය බලපෑම’ පිළිබඳ විද්‍යාත්මක පර්යේෂණයේ ප්‍රතිඵල, එමඟින් අනාවරණය කරගත් තොරතුරු සහ ඉදිරි වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ප්‍රකාශයට පත්කිරීම සඳහා මේ සමුළුව සංවිධානය කෙරිණි.

එහි දී වැඩි දුරටත් අඳහස් දක්වමින් වෛද්‍ය සමන්ත කිතලවආරච්චි මහතා පෙන්වා දුන්නේ මෑතක දී දුම්කොළ වගාව තහනම් කිරීම සම්බන්ධයෙන් ප්‍රකාශයට පත්වීමත් සමඟ ඒ පිළිබඳව රටපුරා සංවාදයක් ඇතිව තිබෙන බවත් දුම්කොළ වගාවේ නිරතව සිටි ගොවීන් පිරිසක් දැනටමත් එයින් ඉවත්ව වෙනත් භෝග වගාවන් සඳහා යොමුව තිබෙන බවත්ය.

මෙහි දී අඳහස් දක්වමින් කොළඹ විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨයේ දුම්කොළ කර්මාන්ත අධ්‍යයන කේන්ද්‍රයේ අධ්‍යක්ෂ වෛද්‍ය මහේෂ් රාජසූරිය මහතා අඳහස් දක්වමින් පෙන්වා දුන්නේ මහජනතාවට සතුරු පාර්ශ්වයන් අද වනවිට මිතුරන් ලෙස පෙනී සිටින බවත් දුම්කොළ කර්මාන්තය මෙහි දී ප්‍රධාන වශයෙන් හඳුන්වා දිය හැකි බවත්ය. එවැනි පාර්ශ්වයන් බිම් මට්ටමේ ජනතාව සමඟ එක්ව විවිධ වැඩසටහන් ක්‍රියාවට නංවමින් දුම්කොළ වගාව හරහා ඉහළ ආදායමක් ලබාගත හැකි බවට පෙන්වා දෙන බව ද ඒ මහතා කීවේය.

රජයේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට තීරණය වීමත් සමඟ දුම්කොළ ගොවීන් පිරිසක් එයින් ඉවත්ව තිබෙන බව පෙන්වා දුන් ඒ මහතා වාසිසහගත ආර්ථික වගාවන් මේ වනවිට හඳුන්වා දී තිබෙන බව ද දුම්කොළ වගාව නැවැත්වීම සඳහා ධනාත්මක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බව ද සඳහන් කළේය. දුම්කොළ වගාව එළඹෙන 2020 පමණ වනවිට මෙරටින් තුරන් කිරීම සඳහා දුම්කොළ සමාගමේ බලපෑම් අහෝසි කළ යුතු වන අතර, ඒ වෙනුවෙන් සියලු පාර්ශ්වයන් සහාය ලබාදිය යුතු බව ද සඳහන් කළ මහේෂ් රාජසූරිය මහතා දුම්කොළ වගාවේ නිරත ජනතාවගේ ජීවන මට්ටම පහත වැටීමක් සිදුව තිබෙන බව ද පෙන්වා දුන්නේය.

දුම්කොළ වගාව තුරන් කිරීමට ප්‍රථම ගොවීන් පිරිසක් එම වගාවෙන් ඉවත්වීම, ලංකා දුම්කොල සමාගම විසින් සිදු කරන ඇතැම් වැඩසටහන් හේතුවෙන් එම වගාවෙන් ඉවත්වීම බාධාවක් වීම, ගොවීන් මේ වගාව සමඟ රඳවා ගැනීමට උත්සාහ කිරීම, උඳුන් හිමියන් සමාගමේ අවශ්‍යතාව වෙනුවෙන් පෙනී සිටීම, සමාගම ගොවියාගේ මිතුරකු සේ පෙනී සිටීම ආදිය මෙහි දී දැක ගත හැකි බව ද එසේ නමුත් මේ වගාවෙන් ඉවත් වන්නට ගොවීන් සූදානමින් සිටින බව ද අධ්‍යක්ෂවරයා පැවැසීය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක වන ‘මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්යය සාධක බළකායේ’ තීරණ ක්‍රියාත්මක කිරීම හා මත්ද්‍රව්‍ය නිවාරණයට අදාළ රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන සම්බන්ධීකරණය කරමින් ‘මතින් නිදහස් රටක්’ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම මෙහි ප්‍රධාන වගකීම වන අතර, ඒ අනුව ජනාධිපතිවරයා වෙනුවෙන් ‘මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බළකාය’ කැඳවීම හා පහසුකම් සැලසීම, ‘මතින් නිදහස් රටක්’ ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ ‍වැඩසටහන සඳහා බිම් මට්ටමේ සිට ජාතික මට්ටම දක්වා තිරස් හා සිරස් සම්බන්ධතාව සහතික කරමින් ඒකාබද්ධ වැඩසටහන් සැකසීම, ක්‍රියාත්මක කිරීම හා පසුවිපරම, රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන මඟින් සිදුකරනු ලබන මත්ද්‍රව්‍ය නිවාරණ කටයුතුවල ප්‍රගතිය ජනාධිපතිවරයා වෙත වාර්තා කිරීම, මත්ද්‍රව්‍ය නිවාරණ කටයුතු සඳහා වෙන් කරන ප්‍රතිපාදන කළමනාකරණය කිරීම ආදිය මේ යටතේ සිදුකෙරේ.

ඊට අමතරව රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන සඳහා සම්පත් දායකයන් පුහුණු කිරීම, අධ්‍යාපන ආධාරක සකස් කිරීම හා බෙදා හැරීම, ජනාධිපතිවරයා වෙත ලැබෙන පැමිණිලි හා යෝජනා සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීම, මත්ද්‍රව්‍ය භාවිතය අධෛර්යමත් කරන විද්යුත් හා මුද්‍රිත දැන්වීම් සකස් කර ප්‍රචාරය කිරීම, මත්ද්‍රව්‍ය භාවිතයට පෙළඹවීම් කාරකයක් වන ආකර්ෂණීය ප්‍රචාරක උපාය මාර්ග පරාජය කිරීම සඳහා ආගමික නායකයන්, රාජ්‍ය නිලධාරීන්, සමාජ ක්‍රියාකාරිකයන් මත්ද්‍රව්‍ය නිවාරණ ක්‍රියාකාරකම්වලට දායක කර ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කිරීම ආදිය සම්බන්ධයෙන් ද මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්ය සාධක බළකායේ අවධානය යොමුව තිබේ.

මද්‍යසාර, දුම්කොළ හා නීති විරෝධී මත්ද්‍රව්‍ය භාවිතය ක්‍රමානුකූලව අඩු කිරීමෙන් ඒවා භාවිතයෙන් වන හානිය අවම කිරීම මඟින් සියලු ශ්‍රී ලාංකිකයන්ගේ සෞඛ්‍ය හා යහපැවැත්ම දියුණු කිරීමත් නිෂ්පාදන ඵලදායීතාව වැඩි කිරීමත්, දිළිඳුකම පිටුදැකීමත් සඳහා සක්‍රීයව ක්‍රියාත්මක වීමත් මේ යටතේ සිදුවෙයි.

ඡායාරූපය - සිරිපාල හල්වල

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();