මීතොටමුල්ල කසළ කන්දට වගකිව යුතු කිසි කෙනකුට මේ වන තෙක් දඬුවම් ලබාදී නොමැති බව එය මියගිය පුද්ගලයන්ටත් කරන අවමානයක් බවත් මහ නගර හා බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතා පැවැසීය.
මීතොටමුල්ල කුණු කන්ද කඩා වැටීම පිළිබඳ සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසම මඟින් නිර්දේශ ඉදිරිපත් කර ඇති බවත් වගකිව යුතු පුද්ගලයන් පස් දෙනකු හා රාජ්‍ය ආයතන එහි සඳහන් කර ඇති බවත් ඇමැතිවරයා අනාවරණය කළේය.
මහා නගර හා බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතා මේ අදහස් පළ කළේ ශ‍්‍රී ලංකා ඉඩම් ගොඩ කිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සේවකයන් ඇගයීම වෙනුවෙන් සංවිධානය කර තිබූ ‘සංස්ථා අභිමානී’ උත්සව අවස්ථාවට සහභාගී වෙමිනි. මේ උත්සවය පසුගිය දා නෙළුම් පොකුණ රඟහලේ දී පැවැත්විණි.
මීතොටමුල්ලේ කසළ කන්ද නාය යෑම පිළිබඳව කිහිප වතාවක් අනතුරු ඇඟවීම් කළ බවත්, කවුරුත් එම අනතුරු ගණන් නොගත් බවත් ඇමැති චම්පික රණවක මහතා පැවැසීය.
අනාගතයේ දී ජල කළමනාකරණය පිළිබඳ අභියෝග රැසක් මතු විය හැකි බවත් නියඟය හා ගංවතුර හා විටින් විට මතුවිය හැකි බවත් ඒ සඳහා යෝධ ජලව්‍යාපෘති අවශ්‍ය බවත් හෙතෙම පෙන්වා දුන්නේය.
එහි දී අදහස් දැක් වූ ඇමැතිවරයා මෙසේ ද කීය.
කාලයට ප‍්‍රශ්න විසඳන්න ඉඩදී කටයුතු කළ අතර, ඉතාම කනගාටු දේ, මීතොටමුල්ල කසළ කන්දෙන් තිස් ගණනකගේ ජීවිත නැති වුණා. ඒ පිළිබඳව පත් කළ ජනාධිපති කොමිසම ඉදිරියේ විවිධ පිරිස් සාක්‍ෂි දුන් අතර, විනිශ්චයකාරවරයා විසින් ඉදිරිපත් කර තිබෙන නිර්දේශ අතර රාජ්‍ය ආයතන පහක් සහ මේ අපරාධයට වගකිව යුත්තන් හැටියට පුද්ගලයන් ගණනාවක් නම් කර තිබෙන බවයි. එනමුත් ඒ කිසිම පුද්ගලයකුට හෝ රාජ්‍ය ආයතනයකට, මේ මිය ගිය ජීවිතවල වගකීම දරන කිසි කෙනකුට මේ වන තෙක් දඬුවම් ලබාදී නොමැත. එය කසළ කන්දට, කසළ ගොඩගැසීමටත් වඩා ඉතාම භයානක වරදක් සේම මියගිය පිරිසට කරන ඉතාම බලගතු අවමානයක්.
රටේ එක් පැත්තක ගංවතුර ඇති වන විට තවත් පැත්තක නියඟය ඇති වන බව ද, එම නිසා මේ ගංවතුර පාලනය කර වැඩි වන වතුර නියඟය පවතින ප‍්‍රදේශ කරා රැගෙන යාමේ යෝධ ජල ව්‍යාපෘතියක් රටට අවශ්‍ය බව ද ඇමැතිවරයා පවසයි. ඕලන්ද යුගයේ මෙන් ජලය භාවිත කර ප‍්‍රවාහන පද්ධතියක් ඇති කර ගැනීම අවශ්‍ය බවත්, කැලණි ගගේ ජලය භාවිත කර ඵලදායී ප‍්‍රවාහන පද්ධතියක් ඒ ආශ‍්‍රයෙන් නිර්මාණය කර ගත හැකි වන බවයි. කැලණි ගගේ වැඩි වන ගංවතුර පාලනය කිරීමෙන් ගංගාව ආශි‍්‍රත නගර නිර්මාණය කර ගනිමින්, වැඩි වතුර වියළි කලාප වෙත රැගෙන යාමට කටයුතු කිරීම තුළින් එම ප‍්‍රදේශවල ගොවි ජනතාව දුකින් මුදා ගැනීමට හැකියාව ඇති බව ද ඇමැති චම්පික රණවක මහතා පවසයි.
එවැනි මහා පරිමාණ ව්‍යාපෘතීන්, විශේෂයෙන්ම ගංවතුර පාලනය කිරීමේ උපාය මාර්ග සඳහා ගොඩනැඟිය යුතු ආයතනය ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව බවත් ඒ සඳහා මූලික පිඹුරුපත් මේ වන විට සකස් කරමින් සිටින බව ද ඇමැතිවරයා වැඩි දුරටත් පැවැසීය.


0 Comments