ශ්‍රී ලංකා නිදහස් කම්කරු කොංග්‍රසය යන වෘත්තීය සමිතියට අයත් රුපියල් ලක්ෂ 39 ක මුදලක් සාවද්‍ය පරිහරණය ඇතුළු අධිචෝදනා ලැබ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහි නඩුව ලබන මාර්තු 6 වැනිදා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජේරත්න මහතා ඊයේ (27) නියෝග කෙළේය.
එදිනට අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි අධිකරණය හමුවේ ඊයේ (27) පෙනී සිටි සාක්කිකරුවනට විනිසුරුවරයා අවවාද කෙළේය.
නඩුව විභාගය සඳහා ඊයේ (27) කැඳවූවද නඩු විභාගයට අවශ්‍ය ලේඛන කිහිපයක් විත්තියට ලැබී නොමැති බවට විත්තිකාර මහින්දානන්ද අලුත්ගමගේ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නලීන් ලද්දුවහෙට්ටි මහතා අධිකරණයට කරුණු දක්වමින් නඩු විභාගයට සූදානම් වීමට එම ලේඛන අවශ්‍ය බව දන්වා සිටියේය.
කරුණු සලකා බැලූ විනිසුරුවරයා අදාළ ලේඛන විත්තියට ලබාදීමට නීතිපතිවරයාට නියම කෙළේය.
විත්තිකාර මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඊයේ (27) අධිකරණය හමුවේ පෙනී සිටියේය. නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා පෙනී සිටියේය.


0 Comments