Ticker

6/recent/ticker-posts

Header Ads Widget

රාජ්‍ය සේවකයන්ගේ අවුරුදු 60 සීමාව පෞද්ගලික අංශයටත් ලබා දිය යුතුයි

Author(s): 
අනුර ප්‍රේමලාල්

රාජ්‍ය අංශයේ සේවකයන්ට වයස අවුරුදු 60 දක්වා සේවය කිරීමට ලබා දී ඇති අවස්ථාව පෞද්ගලික අංශයේ සේවකයන්ටත් ලබා දිය යුතු බවත් ඒ සම්බන්ධව පවතින ගැටලු සාකච්ඡා කිරීමට රජය සුදානම් බවත් කම්කරු හා වෘත්තීය සමිති සබඳතා සහ සබරගමු සංවර්ධන ඇමැති ඩබ්ලිව්.ඩී.ජේ සෙනෙවිරත්න මහතා පැවැසීය.

ඒ මහතා මේ අදහස් පල කෙළේ ඉකුත්(26) පැවති ජාතික කම්කරු උපදේශන සභාවේදීය. කම්කරු අමාත්‍යාංශයේදී මේ සාකච්ඡාව පැවැත්විණි.

පෞද්ගලික අංශයේ සේවක විශ්‍රාම වයස 55 සිට 60 දක්වා වැඩි කිරීම තුළින් රට තුළ පවතින රැකියා විරහිතභාවය තවත් වැඩිවෙනු ඇති බවත් එය තරුණ අසහනයට වැඩිවීමට හේතුවිය හැකි බවත් සේව්‍ය සම්මේලනයේ නියෝජිතයන්ගේ අදහස විය.බොහෝ ආයතනවල ඉහල තනතුරු වලට පිවිසීමට කණිෂ්ඨ, විධායක ශ්‍රේණිවල නිලධාරීන්ට ඇති අවස්ථාව මේ තුළින් ඇහිරීයන බවත් ඔවුන් මෙහිදා ප්‍රකාශ කරන ලදී. ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ පෞද්ගලික අංශයේ රැකියාවල දී කාර්යක්ෂමතාවය පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන නිසා විශ්‍රාම වයස 60 දක්වා වැඩි කිරීම පෞද්ගලික අංශයේ නිෂ්පාදන ඵලදායිතාවය පහළ වැටීමට බලපානු ඇති බවත්ය.එම නිසා මේ පවතින ක්‍රමවේදය සුදුසු බවත් ඔවුන් අවධාරණය කරන ලදී.

මෙහිදී වෘත්තීය සමිති නියෝජිතයින් ප්‍රකාශ කර සිටියේ බොහෝ ආයතන වල සේවකයන් ආර්ථික දුෂ්කරතාවයන් නිසා වයස 55න් පසුවත් සේවය කිරීමට අවස්ථාව ලබා දෙන ලෙස පාලන අධිකාරියෙන් ඉල්ලා සිටින බවයි.නමුත් එම අවස්ථාවල එම සේවකයන් නැවත සේවයට බඳවා ගනු ලබන්නේ කොන්ත්‍රාත් පදනම මත බවත් අවශ්‍ය ඕනෑම අවස්ථාවක සේවයෙන් අස්කිරීමේ පදනම ඇතිව බවත්ය.එසේම එම සේවකයන්ට විශ්‍රාම ලැබීමට පෙර ලබා දුන් දීමනා සහ අනෙකුත් පහසුකම් බොහෝ ආයතන වලදී ලබා නොදෙන බවත්ය.එසේම ලාංකීය පුරවැසියෙකුගේ ජීවත්වීමේ වයස අවුරුදු 75 සීමාවේ පවතින නිසා විශ්‍රාම ගොස් වසර 20ක් පමණ කාලය ගත කරන නිසා විශ්‍රාම වයස අවුරුදු 60 දක්වා වැඩිකිරීම වඩාත් සුදුසු බව මෙහිදි කියැවිණි.

පෞද්ගලික අංශයේ සේවකයන්ගේ විශ්‍රාම යාමේ වයස අවුරුදු 60 දක්වා වැඩිකිරීමට හාම්පුතුන්ගේ පාර්ශවය සහ වෘත්තීය සමිති අතර එකඟතාවයක් ඇති කර ගැනීමේ අපහසුතාවය නිසා ජාතික විශ්‍රාම වයස සම්බන්ධව ජාත්‍යාන්තර කම්කරු සංවිධානයේ මැදිහත්වීමෙන් විධිමත් පර්යේෂණයක් සිදු කර ඔවුන්ගේ නිර්දේශ සහ යෝජනා ද සැළකිල්ලට ගෙන අවසන් තීන්දුවක් ගැනීමට කම්කරු ඇමැතිවරයා කළ යෝජනාවට මෙහිදී සියලු පාර්ශවයන් එකඟතාවය පළ කළහ.

මේ අවස්ථාවට කම්කරු අමාත්‍යාශයේ ලේකම් නිමල් සරණතිස්ස මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් , සේව්‍ය සම්මේලනයේ නියෝජිතයන් ,වෘත්තීය සමිති නියෝජිතයන්, ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();