රජයේ ප්‍රතිපත්තියට අනුව එළඹෙන 2020 වර්ෂය වන විට ශ්‍රී ලංකාවේ දුම්කොළ වගාව සම්පූර්ණයෙන්ම තහනම් කිරීම සඳහා නව චක්‍රලේඛයක් නිකුත් කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කරයි.
ඒ අනුව අදාළ චක්‍රලේඛය මේ වනවිට කෙටුම්පත් කැර තිබෙන අතර එළඹෙන යළ කන්නයට පෙර එය නිකුත් කිරීමට පියවර ගෙන තිබෙන බවද දුම්කොළ වගාව වෙනුවට විකල්ප භෝග ප්‍රචලිත කිරීම සඳහා අවශ්‍ය පසුබිම නිර්මාණය කිරීම මෙමඟින් සිදුවන බවද කෘෂිකර්ම අමාත්‍යාංශයේ කෘෂි තාක්ෂණ අධ්‍යක්ෂ හේමන්ත අමරසිංහ මහතා ප්‍රකාශ කරයි.
ඒ මහතා මේ බව සඳහන් කෙළේ කොළඹ ජානකී හෝටලයේ දී ඊයේ (27) පැවැති සමුළුවකට සහභාගි වෙමිනි. මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්යය සාධන බලකාය සහ කොළඹ විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨයේ දුම්කොළ කර්මාන්ත අධ්‍යයන කේන්ද්‍රය එක්ව සිදුකරන ලද 'දුම්කොළ වගාව සහ එහි සමාජයීය බලපෑම' පිළිබඳ විද්‍යාත්මක පර්යේෂණයේ ප්‍රතිඵල, එමඟින් අනාවරණය කරගත් තොරතුරු සහ ඉදිරි වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ප්‍රකාශයට පත්කිරීම සඳහා මේ සමුළුව සංවිධානය කෙරිණි.
එහිදී වැඩිදුරටත් අඳහස් දක්වමින් හේමන්ත අමරසිංහ මහතා පෙන්වා දුන්නේ දුම්කොළ වගාව සඳහා අනුග්‍රහය ලබානොදිය යුතුවන අතර දුම්කොළ වගාව තහනම් කිරීම උදෙසා ක්‍රමානුකූලව විකල්පයන් හඳුන්වා දෙන්නට පියවර ගෙන තිබෙන බවත් රජයේ ප්‍රතිපත්තියට අනුව එළඹෙන 2020 වන විට ශ්‍රී ලංකාවේ වගා බිම්වලින් සම්පූර්ණයෙන්ම දුම්කොළ වගාව තුරන් කළයුතු බවත්ය.
මේ චක්‍රලේඛය නිකුත් කිරීමෙන් අනතුරුව ද කිසියම් ගොවියකු දුම්කොළ වගාවේ නිරත වන්නේ නම් ඒ සඳහා රජය කිසිඳු වාරිමාර්ග පහසුකමක් හෝ පොහොර සහනාධාරය ඇතුළුව රජයේ කිසිඳු සහනාධාරයක් ලබා නොදීමට පියවර ගන්නා බව සඳහන් කළ කෘෂි තාක්ෂණ අධ්‍යක්ෂවරයා කෘෂිකර්ම අමාත්‍යාංශයට අමතරව තවත් ආයතන කිහිපයක් ඒකාබද්ධව විකල්ප භෝග හඳුන්වාදීම සම්බන්ධයෙන් අවධානය යොමු කරන බවද එක් එක් ප්‍රදේශයන්ට ගැලපෙන පරිදි භෝගයන් හඳුන්වාදීම සඳහා සැලසුම්කර තිබෙන බවද පෙන්වා දුන්නේය. මෙවැනි වැඩසටහන් තුළින් එළඹෙන 2020 පමණ වනවිට අපේ රටේ දුම්කොළ වගාව තුරන් කිරීමේ හැකියාව තිබෙන බවද එහි ප්‍රතිඵලයක් වශයෙන් ගොවි ජනතාවට ආකර්ශනීය භෝගයන් හඳුන්වාදීමට පියවර ගන්නා බවද හේමන්ත අමරසිංහ මහතා සඳහන් කෙළේය. අතීතයේ දී කෘෂිකර්ම අමාත්‍යාංශය විවිධ හේතූන් මත දුම්කොළ වගාව හා සම්බන්ධව සිටි නමුත් අද වනවිට එම වගාව සඳහා උපදෙස් ලබා නොදෙන බවද වෙනත් විකල්ප වගාවන් සඳහා උපදෙස් ලබාදෙන බවද සඳහන් කළේය.
මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්යය සාධන බලකායේ අධ්‍යක්ෂ වෛද්‍ය සමන්ත කුමාර කිතලවආරච්චි සහ කොළඹ විශ්ව විද්‍යාලයීය වෛද්‍ය පීඨයේ දුම්කොළ කර්මාන්ත අධ්‍යයන කේන්ද්‍රයේ අධ්‍යක්ෂ වෛද්‍ය මහේෂ් රාජසූරිය මහත්වරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.


0 Comments