Ticker

6/recent/ticker-posts

Header Ads Widget

බස්නාහිර පළාත සංවර්ධනයට බිලියන 15ක් වියදම් කරනවා

Author(s): 
කැස්බෑව සංචාරක ධර්මසිරි සුරවීර

මෙම වසර (2018) බස්නාහිර පළාත් සභාවේ සංවර්ධන වර්ෂය ලෙස නම්කර ඇති බවත් ඒ අනුව මෙම වසරේ බස්නාහිර පළාතේ සංවර්ධනය සඳහා බිලියන 15ක් පමණ වැය කිරීමට බලාපොරොත්තු වන බවත් ඉන් මිලියන 100ක් පමණ කෘෂිකර්ම ආමාත්‍යාංශය සඳහා වෙන්කර තිබෙන බවත් බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා පැවැසීය.

ප්‍රධාන අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ බස්නාහිර පළාතේ සංවර්ධන සැලැස්මට අනුව පළාත් කෘෂිකර්ම අමාතාංශයේ ප්‍රතිපාදන මිලියන 30ක් වැයකර කැස්බෑව වැව වටා ඉදිකරණ ලද ශරීර සුවතා මංතීරුව ජනතා අයිතියට පත් කිරීම නිමිත්තෙන් පසුගියදා (22) පස්වරුවේ එම වැව අභියස පැවැති උත්සවයට එක්වෙමිනි.

බස්නාහිර පළාතේ කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් සංවිධානය කර තිබූ මෙම උත්සවය සඳහා බස්නාහිර පළාතේ ආණ්ඩුකාර කේ.සී. ලෝගේස්වරන් හා ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය යන මහත්වරුන් ප්‍රධාන ආරාධිතයෝ ලෙස සහභාගි වූහ.

කැස්බෑව ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ නියෝජ්‍ය ලේඛකාධිකාරි උග්ගොඩ ධම්මින්ද හිමි, පාර්ලිමේන්තු මන්ත්‍රි ගාමිණී ලොකුගේ, බස්නාහිර පළාතේ කෘෂිකර්ම ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය ගාමිණි තිලකසිරි, ශ්‍රීලනිප කැස්බෑව ආසන සංවිධායක චන්දන කත්‍රිආරච්චි, බස්නාහිර පලාත් සභා මන්ත්‍රි සුනිල් ජයමිණි, ශ්‍රිලනිප කොළඹ දිස්ත්‍රික් සංවිධායිකා සුජීවා චන්ද්‍රසිරි , බස්නාහිර පළාත් සභා හිටපු මන්ත්‍රි කේ. ගාමිණි ද සිල්වා, කැස්බෑව නගර සභාවේ හිටපු උප සභාපති හේමාල් ධර්මප්‍රිය , කැස්බෑව හිටපු ප්‍රාදේශීය ලේකම් වත්මන් රාජ්‍ය සේවා කොමිසන් සභාවේ ලේකම් එල්.ඒ.කලුකපුආරච්චි , පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ අධ්‍යක්ෂිකා බියංකා නානායක්කාර , වාරිමාර්ග අමාත්‍යාංශයේ අධ්‍යක්ෂිකා චිත්‍රාංගනී යන මහත්ම මහත්මීන් සහ රාජ්‍ය නිලධාරින් ඇතුළු විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් මෙම උත්සවය පැවැත්වුණු අතර එහිදී වැව් තාවුල්ලේ කුඹුක් පැළ රෝපණය කිරීමක් සහ වැවට මත්ස්‍ය පැටවුන් දහසකට අධික සංඛ්‍යාවක් මුදා හැරීමද ආරාධිත අමුත්තන් අතින් සිදු කෙරිණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා:

බස්නාහිර පළාතේ ප්‍රධාන අමාත්‍යවරයා හැටියට මා අද අතිශය සතුටට පත්වන දවසක්. මේ කැස්බෑව නගරය හරහා ගමන් කරන විට අපේ නෙත ගැටෙන මේ වැව සුන්දර වැවක්. මේ මං තීරුව නිසා මෙම වැවත් මේ පුරවරයත් තව තවත් සුන්දර වෙනවා. ඒවාගේම මේ මංතීරුව නිසා මෙම ප්‍රදේශයේ ජනතාවගේ සම්බන්ධතාවයද ගොඩනැගෙනවා. මෙම මංතීරුව ඉදිකළා වාගේම මේ ප්‍රදේශයේ ජනතාවට ප්‍රයෝජනවත් වන අයුරින් මේ වැව තවදුරටත් ප්‍රතිසංස්කරණය කර දෙන ලෙස මා ඇමැතිතුමාගෙන් ඉල්ලා සිටිනවා.

බස්නාහිර පළාතේ කෘෂිකර්ම ඇමැතිවරයා හැටියට ගාමිණි තිලකසිරි මැතිතුමා පළාතේ කෘෂිකර්මාන්තය නගා සිටුවීම සඳහා විශාල කාර්යභාරයක් ඉටු කළා. ඒ පිළිබඳව ජනාධිපතිතුමාගේත් පළාතේ ආණ්ඩුකාරතුමාගේත් විශේෂ පැසසුමට එතුමා ලක් වුණා. ප්‍රධාන ඇමැතිවරයා හැටියට මාගේත් සතුටට එය හේතු වුණා.

කැස්බෑව ශාසනාරක්ෂක බලමණ්ඩලයේ නියෝජ්‍ය ලේඛකාධිකාරි උග්ගොඩ ධම්මින්ද හිමි පිරිස පංචශීලයෙහි පිහිටුවීමෙන් අනතුරුව අනුශාසනාව පවත්වමින් මේ ව්‍යායාම මංතීරුව ජනතාවට ඉතාම ප්‍රයෝජනවත් බවත් මෙහි වැඩ කටයුතු අවසන් කිරීම සඳහා ගාමිණි තිලකසිරි ඇමැතිතුමා එතුමාගේ ප්‍රතිපාදන මිලියන 30ක් වැයකර තිබෙන බවත් එනිසා මෙහි ආරක්ෂාව පිළිබඳව ද අවධානය යොමු කළ යුතු බවත් පැවසූහ.

කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ගාමිණි ලොකුගේ මහතා - කැස්බෑව වැව සංවර්ධනය කිරීම සඳහා පසුගිය රජය මිලියන 14ක් පළාත් සභාවට ලබා දුන්නා. ඒ අනුව පළාත් සභාව ඉතා සුහදශීලිව මේ වැව සංවර්ධනය කිරීම ආරම්භ කළා. මේ වැව සංවර්ධනය කිරීම කවුරුන් විසින් ආරම්භ කළත් ගාමිණි තිලකසිරි මැතිතුමා මේ කටයුත්ත අවසන් කළා. මෙය කැස්බෑව ප්‍රදේශයට ලොකු සවියක්. අප කුමන දේශපාලන පක්ෂයක සිටියත් පොදු කටයුතුවලදී ප්‍රදේශයට ඉන් හොඳ සේවයක් සිදුවෙනවානම් ඊට සහයෝගය ලබාදීම අපගේ යුතුකමයි. ඒ නිසා අද මම උත්සවයට පැමිණියේ ගාමිණි තිලකසිරි මැතිතුමා අපේ පළාතට ඉතාම හොඳ වැදගත් කටයුත්තක් කළ නිසා එතුමාට මාගේත් කැස්බෑව ජනතාවගේත් ගෞරව ස්තූතිය පුද කිරීම සඳහා යි.

ශ්‍රීලනිප කැස්බෑව ආසන සංවිධායක චන්දන කත්‍රිආරච්චි මහතා - මේ ශරීර සුවතා මංතීරුව ගැන අප ගාමිණි තිලකසිරි ඇමැතිතුමා සමග විවිධ ආකාරයෙන් කතා බහ කළා. එතුමා අද කැස්බෑව වැව වටා එම මංතීරුව ඉදිකර අවසන්කොට තිබෙනවා. ඒ නිසා ගාමිණි තිලකසිරි මැතිතුමාත් මහ ඇමැතිතුමාත් කැස්බෑව මැතිවරණ කොට්ඨාසයට ලබාදෙන සහයෝගය අපි අගය කරනවා.

බස්නාහිර පළාතේ කෘෂිකර්ම ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය ගාමිණි තිලකසිරි මහතා -

ශරීර සුවතා මංතීරු ඉදිකිරීමට මට ප්‍රතිපාදන ලැබෙන්නේ නැහැ. නමුත් මට ලැබෙන ප්‍රතිපාදනවලින් මිලියන 30ක් වැයකර කැස්බෑව වැව වටා මෙම මංතීරුව ඉදිකර අවසන්කොට ජනතා අයිතියට අද දින පත් කිරීමට හැකිවීම ගැන මම සතුටට පත්වෙනවා.

මම හෝමාගම මැතිවරණ කොට්ඨාසයේ දේශපාලන කටයුතු කළත් මා කැස්බෑව මැතිවරණ කොට්ඨාසයේ ඉපදුන අයෙක්. 1991 වසරේදී මා දේශපාලනය ආරම්භ කළේත් මේ කැස්බෑවෙන්. මම මිය යන්නේත් මේ කැස්බෑව ආසනය තුළමයි. ඒ නිසා මා ඇතුළු අප සියලු දෙනාම අද විවිධ දේශපාලන පක්ෂවල කටයුතු කළත් අප සියලු දෙනාම මේ කැස්බෑව ආසනයේ පදිංචිකරුවන්. ඒ නිසා අප අතරින් කවරෙකු හෝ කැස්බෑවට කුමක් හෝ කටයුත්තක් කළ විටදී ඒ සතුට අප සියලු දෙනාම බෙදා ගත යුතුයි.

අද දින පවත්වන මෙම උත්සවයට සහභාගි වන ලෙස එක්සත් ජාතික පක්ෂයේ කැස්බෑව ආසනයේ සංවිධායකතුමාටත් පාර්ලිමේන්තු මන්ත්‍රිතුමාටත් පලාත් සභා මන්ත්‍රිතුමාටත් ඒවාගේම ජනතා විමුක්ති පෙරමු‍ණේ පළාත් සභා මන්ත්‍රිතුමාටත් මම ආරාධනා කළා. නමුත් ඒ කිසිවෙකු සහභාගි වූයේ නැහැ. හේතුව කුමක්ද කියා මම දන්නේ නැහැ. ඒ අය සහභාගි නොවීම ගැන මාගේ සිතේ ලොකු කලකිරීමක් තිබෙනවා. මේ මංතීරුවේ කටයුතු අවසන් කර අද දින ජනතා අයිතියට පත්කිරීමට මට හැකියාව ලැබුණේ කැස්බෑවේ ඔබ තමුන්නාන්සේලා ලබාදුන් උපරිම සහයෝගය නිසයි. එය මා සැමදාම අගය කරනවා.

කැස්බෑව ආසනයේ ජනතාවට කෘෂිකර්මය පිළිබඳ යම් ගැටලුවක් තිබෙනවානම් මා වෙත ඉදිරිපත් කරන්න. එවිට මා පාටක් පක්ෂයක් නොබලා මට කළ හැකි උපරිම දේ මා මගේ ප්‍රතිපාදනවලින් කැස්බෑවේ ජනතාවට ඉටුකර දෙනවා.

මේ මංතීරුව අදින් පසුව පළාත් සභාවට පාලනය කළ නොහැකියි. ඒ නිසා මේ මංතීරුව කැස්බෑව නගර සභාව වෙත බාරදීමට අප තීන්දුකර තිබෙනවා. ඒ නිසා මහජන සේවාවක් හැටියට සලකා කැස්බෑව නගර සභාව විසින් මේ ශරීර සුවතා මංතීරු ඉදිරියට පාලනය කළ යුතුයි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();