Ticker

6/recent/ticker-posts

Header Ads Widget

බැඳුම්කරය ගැන කෑ ගැසූ අය වංචා දූෂණ වර්තාව සමඟ නිහඬයි

බැඳුම්කර වාර්තාව පමණක් නොව දූෂණ විමර්ශන ජනපති කොමිසමේ වාර්තාව අපේක්ෂා නොකළ ලෙස දින දෙක තුනකින් රටට හෙළිකළ පසු බැඳුම්කරයට කෑගැසූ අය පුදුම ලෙස නිශ්ශබ්ද වුණා යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මාධ්‍ය ප්‍රධානීන්, කතුවරුන් හමුවේ ඊයේ (26) ජනාධිපති මැදුරේ පැවති මාධ්‍ය හමුවේදී පැවැසීය.

තමන් ජනපති පදවියට පත්වෙමින් පත්වූ වත්මන් ආණ්ඩු පාලන සම‍ෙය් තමන් නිරන්තරවම අවධාරණය කළේ ලබා ගන්නා සියලුම විදෙස් ණය ප්‍රමාණයන් රටටත් ජනතාවටත් ලබාදීම සඳහා ඒ පිළිබඳ පැහැදිලි සටහන් හරහා දැනුවත් කරන ලෙසත් යම් ණය ප්‍රමාණයක් ලබාගත්තා නම් එය කවරාකාර ලෙස යෙදුවාද යන්න පැහැදිලිවම ප්‍රදර්ශනය කළ යුතු බවත් ජනපතිවරයා පෙන්වා දුන්නේය.

මේ අවුරුදු තුනේදීත් ආණ්ඩුවට ආදායම් ලැබෙනවා. එහෙත් රජයේ අනුදැනුමකින් තොරව ඉන් කොටසක් පෞද්ගලික සමාගම්වලට හැරවිලා. ඒ පිළිබඳ සොයා බලද් දී රජයට සම්බන්ධව සිටිය හා සිටින ඇතැමුන්ට වාසි වන ලෙස සූක්ෂම ලෙස පෞද්ගලික සමාගම්වලට හැරවිලා. රටේ ආදායම අඩුවීමට එය එක් හේතුවක් වෙලා.

වාර්ෂිකව අය-වැයෙන් වෙන් කෙරෙන වැය ශිර්ෂ ගත්විට වසර අවසානයේ දී ඉන් වැය කර ඇත්තේ 50% හෝ 60%ක්, 40%ක වැය කිරීම හෙළිවී නැති බව වගකීමෙන් කියනවා. මෙහි විනිවිද බව, ලේඛනගත බව ආණ්ඩුවක යහපැවැත්මට අත්‍යාවශ්‍ය කරුණක් යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.

පසුගිය දිනවල පාර්ලිමේන්තුවට බැඳුම්කර කොමිසම් වාර්තාව ඉදිරිපත් කිරීමෙන් පසු එහි පිටු අඩුයි කියමින් විපක්ෂයෙන් මහා හඬක් ඇසෙන බව ද තමන්ට එම වාර්තාව ලැබුණ පසු ඒ පිළිබඳ ප්‍රකාශයක් කිරීමට සිටියේ සති දෙකකින් බව ද එවැනි කාලයක් ලබා ගන්නට සිතුවේ නීතිවේදීන්, නීතිපති, මහ බැංකු අධිපති, අල්ලස් හා දූෂණ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් සමඟ සාකච්ඡා කර හොඳ අධ්‍යයනයකින් පසුව ලබා ගන්නා අවබෝධය හරහා ප්‍රකාශයක් කිරීමට බව ද එහෙත් එය ලැබුණු පළමු දවසේ සිටම වාර්තාව දෙන්න කියා කෑගසන්න වූ නිසාම ප්‍රකාශය කළ බව ද සිය දේශපාලන ජීවිතයේ තනිව තීරණයක් නොගෙන කළ පළමු ප්‍රකාශය එය බව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ලොරි දෙකකටත් වඩා ලිපි ලේඛනවලින් සේරම නැතත් කිහිපයක් හෝ අධ්‍යයනය කළ යුතු බව ද වාර්තා අනුව නීතිමය පියවර ගත යුතු නිසාත් මූල්‍ය කටයුතු සම්බන්ධයේ දී එම මුදල් ආපසු ලබාගැනීමට නීතිමය ක්‍රියා වෙත යායුතු බැවින් එහි කිසියම් රහස්‍ය බවක් අවශ්‍ය බව ද ඒ සඳහා යම් යම් සීමාවන් අනුගමනය කළ බව ද ජනපතිවරයා පවසා සිටියේය.

බැඳුම්කර වාර්තාව පමණක් නොව දූෂණ විමර්ශන ජනපති කොමිසම් වාර්තාවත් අපේක්ෂා නොකළ ලෙසට දින දෙක තුනකින් ලැබුණා. ඒ වාර්තා රටම දැනගන්න පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. මුද්‍රණය කර නිකුත් කළා. අන්තර්ජාලයට මුදාහැරියා. ඒ වාර්තාවේ කරුණු හෙළිවුණාම පසුදා සිටම කෑ ගැසූ අය පුදුම ලෙසට නිශ්ශබ්ද වුණා. ඒ වාර්තාවල දේශපාලනමය වශයෙන් බලපාන හේතු තියෙනවා. මෙය විවාදයට ගත්තා නම් විවාද කරන්න ඉඩ දුන්නා නම් හොඳ දෙයක් ජනතාවට දැනගන්න තිබූ බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

මේ වාර්තා අනුව අනාවරණය වන කරුණුවලටත් වෙනත් දූෂණ චෝදනාවලටත් නඩු පැවරෙන වග පැහැදිලි වනවිට ඊට එරෙහි වෙන්න දැන් පක්ෂයක් පාටක් නැති ‍චෞරි ප්‍රභූ සන්ධානයක් බිහි වී අවසන් බවත් එම අශුද්ධ සන්ධානය එම නඩු කටයුතු වළක්වන්න පෙළගැසෙන බවත් එම අශුද්ධ සන්ධානයට එරෙහිව නීතිය ක්‍රියාවට නංවන්න ඒ සඳහා ඇප කැපවෙන දේශපාලනඥයන්, නිලධාරින් ශක්තිමත් කිරීමට මාධ්‍ය වෙත විශාල වගකීමක් පැ‍වරෙන බවත් එය එසේ ඉටුකෙරෙද් දී රටට ආදරය කරන අනාගත දූදරුවන් වෙනුවෙන්, සාමූහිකත්වය වෙනුවෙන් නිල නොවන මට්ටමින් ශුද්ධ වූ සංවිධානයක් ගොඩ නගන්න හැකියාව උදාවන බවත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

මෙවැනි වාතාවරණයක් යටතේ තව දින 11කින් පළාත් පාලන මැතිවරණයකට එළඹෙන්නේ යැයි ද රජයක් ලෙසත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ලෙසත් සාධාරණ අපක්ෂපාති මැතිවරණයකට සහාය දීමට තමන් බැඳී සිටින්නේ යැයි ද පවසා සිටි ජනපතිවරයා, මෙවර මැතිවරණයේ දී ගමේ ඡන්ද එම තැන්වලම ගණන් කරන ක්‍රමවේදයක් අනුගමනය කිරීමට සූදානම් වුවද එහි දී ආරක්ෂාව පිළිබඳ විශාල ගැටලුවක් ඇති බව මැතිවරණ කොමසාරිස්වරයාට තමන් පැහැදිලි කළ බව ද පෙන්වා දුන්නේය.

වසර හතළිහකට පෙර ගමේ තත්ත්වය අද හාත්පසින්ම වෙනස් බවත් එදා තිබූ සාමකාමී බව ගරුසරු බව අද නොමැති බවත් ඡන්ද ප්‍රතිඵලයක් සාමකාමීව භාර ගනීදැයි සිතන්න බැරි තත්ත්වයක් උදාවී ඇති නිසාත් එක් මධ්‍යස්ථානයකට පොලිස් නිලධාරින් දෙදෙනකුට වඩා යෙදවීමට නොහැකි තරමට පොලිස් නිලධාරින්ගේ සංඛ්‍යාව සීමිත බවත් හමුදාව යෙදවීම සදාචාරාත්මක නොවන නිසා ආරක්ෂාව ගැන අවධානය යොමු කරමින් ඡන්ද පෙට්ටි එක් මධ්‍යස්ථානයකට ගෙනවිත් ගණන් කිරීම ගැටලුකාරී නොවන බවට මැතිවරණ කොමසාරිස්වරයා දැනුවත් කළ බව ද ජනපතිවරයා පැහැදිලි කළේය. මෙම මාධ්‍ය හමුවට ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු, මුදල් හා ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න සහ නියෝජ්‍ය සභානායක තිලංග සුමතිපාල යන මහත්වරු ද එක්ව සිටියහ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();