රටේ ජනතාව හා සංවර්ධනය වෙනුවෙන් නිවැරදි ගමනක් යාමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වත්මන් නායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පියවරගෙන ඇතැයි ද, මෙම ගමන කිසිම බලවේගයකට ආපසු හැරවිය නොහැකි යැයි බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති බුලත්සිංහල ආසනයේ ශ්‍රීලනිප ප්‍රධාන සංවිධායක තුසිත කුලරත්න මහතා පැවසීය.
ඒ මහතා මේ බව සඳහන් කළේ බුලත්සිංහල මීගහකුඹුර ඒ මහතාගේ නිවසේ ඊයේ පැවති මාධ්‍ය හමුවකදීය. මේ හමුව සඳහා මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍යවල නියෝජිතයන් පිරිසක් පැමිණ සිටියහ. බුලත්සිංහල ආසනයේ හිටපු ප්‍රාදේශීය සභා නියෝජිතයින් පිරිසක් ද එක්ව සිටියහ.
මෙහිදී තවදුරටත් කතා කළ තුසිත කුලරත්න මහතා,
'ශ්‍රීලනිප ආරම්භයේ සිටම වරින්වර අර්බුද තිබුණා. විවිධ කොටස් කැඩී ගියා. නමුත් ඒ කොටස් නැවතත් ශ්රීලනිපය වටා එක්වීමයි විශේෂත්වය වුණේ. අද රටේ ජනතාවට ශ්‍රීලනිපයෙන් තොර වෙනත් පක්ෂයක් නෑ. සිරිමා බණ්ඩාරනායක යුගයේදී පක්ෂය තුළ විවිධ හැලහැප්පිලි තිබුණා. නමුත් පක්ෂය කැඩුණේ නෑ. පක්ෂය අතහැර ගිය ඇතැම් කොටස් නැවතත් පක්ෂයට එක්වූවා.
'ඉකුත් සමයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය කැමැත්තෙන්ම ප්‍රසිද්ධියේ පක්ෂයේ නායකත්වය මෛත්‍රීපාල සිරිසේන මහතාට භාර දුන්නා. පක්ෂයේ හිටපු නායකයෙකු ලෙස පක්ෂයේ නායකත්වය භාරදී නැවතත් එම තනතුර අපේක්ෂාවෙන් වත්මන් නායකත්වයට කෙනෙහිලිකම් කිරීම ඉතා කනගාටුදායකයි. එසේම ශ්‍රීලනිපයට ද්‍රෝහිකම් කරමින් පක්ෂය දෙකඩ කිරීම හා වෙනත් පක්ෂයක් බිහිකිරීම සදාචාර විරෝධියි.'
'හිටපු ජනාධිපතිවරයෙකු වශයෙන් ඔහුගේ යුතුකම විය යුත්තේ රටට ආදර්ශයක් දෙමින් වත්මන් නායකයාගේ වැඩපිළිවෙළට සහය දීමයි. මේ පක්ෂය කඩන්න, පක්ෂය පරාජය කරන්න ඔහුට අයිතියක් නෑ. ඔහුට අවශ්‍ය නම් පක්ෂයෙන් වෙන්ව වෙනත් පක්ෂයක් හදාගන්න පුළුවන්.'
'රටේ ජනතාව බුද්ධිමත්. ඒ නිසා ඔවුන් කැමති අත හෝ බුලත් කොළය ලකුණ. ඒ තමා පක්ෂයේ ලාංඡන. හිටපු ජනපතිතුමා පක්ෂයක් අටවාගෙන නෙළුම් පොහොට්ටුව ලාංඡනය ලෙස හඳුන්වා දී තිබෙනවා. ජනතාව දන්නවා කවුද පක්ෂයේ වත්මන් නායකයා කියලා. ඒ අනුව ඔහුට පාක්ෂිකයින්ගේ සහාය ලබා දෙනවා.'
'මෙතුමාගේ පක්ෂයේ නායකයෙක් නෑ. සංවිධායකයෙක් නෑ. මේ වගේ පක්ෂයකට ජනතාව කැමති වෙයිද? දැන් සිදුවන්නේ ජනතාව මුළා කිරීමක්. රට ගමන් ගන්නා සංවර්ධන මාවතට ලොකු බාධකයක්. මේ බව ජනතාව තේරුම්ගෙන තිබෙනවා. ඉදිරි පළාත් සභා මැතිවරණය සඳහා සෑම ප්රදේශයකටම උගත්, බුද්ධිමත්, චරිතවත් පිරිසක් තෝරාගෙන තිබෙනවා. මේ අය බලයට පත්කිරීමෙන් බුලත්සිංහල ප්‍රදේශයේ සුවිශේෂී සංවර්ධනයක් දැකගන්න පුළුවන්.'
'2020 වන විට පක්ෂයේ නායකත්වය ගන්න දෙවන පෙළ නායකයෙක් නැහැ. ඒ නිසා 2020 දී රටේ නායකයා වන්නේ වත්මන් ජනාධිපතිමයි. බුලත්සිංහල ශ්‍රීලනිපයේ වරකාගොඩ නියෝජිත ඉන්දික දෙදියවල මහතා කතා කරමින් වත්මන් යුගයේ ශ්‍රීලනිප ජයග්‍රාහී මාවතක ගමන් කරමින් සිටින බවත්, තරුණ පෙළ ඊට එක්වෙමින් සිටින බවත් කීය.
කළුතර දිස්ත්‍රික්කයේ ද්‍රවිඩ කම්කරු ජනතාව 90% ක් ශ්රීලනිපය වටා රැස්වී සිටින්නේ යැයි බුලත්සිංහල හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ත්‍යාගරාජා ජෙයරාජ් මහතා කීය.
බුලත්සිංහල පක්ෂ නියෝජිතයින් වන එච්. සිරිවර්ධන, සමන්ත බුලත්සිංහල, සාගරිකා සඳරු යන අය ද මෙහිදී අදහස් දැක්වූහ.
බුලත්සිංහල විශේෂ මිල්ටන් ධර්මසිංහ
0 Comments