Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කලාවේදීහු රැසක් කලාභූෂණ රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලබති

තිස්තුන් වැනි කලාභූෂණ රාජ්‍ය සම්මාන උළෙල-2017 ඊයේ(12) කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණ.

සාහිත්‍ය, නාට්‍ය, නර්තන, සංගීත, චිත්‍ර, මූර්ති හා වෙනත් අංශ ගණනාවකින් රට වෙනුවෙන් අනුපමේය සේවයක් ඉටු කළ සිංහල, දෙමළ, මුස්ලිම් පරිණත කලාවේදීන් දෙසීයක් පමණ මෙහිදී කලාභූෂණ සම්මානයෙන් පිදුම් ලැබීය.

මෙම රාජ්‍ය සම්මාන උළෙල අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු ඇමැති එස්. බී. නාවින්න මහතාගේ සහ නියෝජ්‍ය ඇමැති පාලිත තෙවරප්පෙරුම මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ අතර උත්සව සභාව අමතමින් නියෝජ්‍ය ඇමැති පාලිත තෙවරප්පෙරුම මහතා ප්‍රකාශ කළේ, තම පෞද්ගලික ජීවිතය පිළිබඳව නොසිතමින් ලාංකීය කලා කෙත පෝෂණය කිරීමටත් එතුළින් ගුණගරුක සමාජයක් බිහි කිරීමට කටයුතු කළ කලාවේදීන් විශාල පිරිසක් මෙසේ සම්මානයට පාත්‍ර වීම සංතෝෂයට හේතුවක් බවයි. විවිධ අනවශ්‍ය අංගයන් රට තුළ ප්‍රචලිත වීම නිසා සැබෑ කලාකරුවන්ට රටේ වටිනා සංස්කෘතිකාංගයන්ට හානි වී ඇති බවද සඳහන් කළ නියෝජ්‍ය ඇමැතිවරයා ඉන්දියන් සාගරයේ මුතු ඇටය ආරක්ෂා කිරිමට කටයුතු කළ බොහෝ කලා කරුවන්ගේ අවසානය බොහෝ විට ගෙවෙනුයේ ඉතා දුක්ඛිත තත්ත්වයෙන් යයිද පැවසීය. තම අමාත්‍යාංශය සෑම අවස්ථාවකම ක්‍රියා කරනුයේ කලාකරුවන්ගේ ජීවිතය ශක්තිමත් කරමින් රට තුළ කලාව පෝෂණය කිරීමට බවද මෙහිදී ප්‍රකාශ කළ පාලිත තෙවරප්පෙරුම නියෝජ්‍ය ඇමැතිවරයා මනාප ක්‍රමය, පවතින විවිධ දේශපාලන ක්‍රම තුළින් නිර්මාණය වී ඇති වරදාන සහ වරප්‍රසාද හේතුවෙන් කලාව සහ සංස්කෘතිය විනාශ වීමේ අවදානමකට ලක් වන බවද ප්‍රකාශ කළේය.

‘රටක දියුණුවට ජාතික ප්‍රතිපත්ති අවශ්‍යයි. වර්තමානයේ තේරුමක් නොමැති උත්සවයන්ට විශාල තරුණ පිරිස් සහභාගි වෙනවා. හැබැයි සංස්කෘතික උත්සවයන්ට සහභාගිත්වය අඩුයි. ගමේ පන්සල, පාසල සහ සංස්කෘතික මධ්‍යස්ථානය එක්ව කටයුතු කිරිම ඉතා වැදගත් වෙනවා. එතුළින් නොගැළපෙන අංග ඉවතලා රටේ නියම සංස්කෘතිය සහ කලාව පෝෂණය කළ හැකියි. පන්සලේ නායක හාමුදුරුවෝ සහ ගුරුතුමා අතීතයේ විශාල ගෞරවයට ලක් වූණා.

අප අපේ වැරදි නිවැරදි කර ගනිමින් ගමන් කළ යුතුයි. කලාවට දක්ෂ දරුවන් ඒ සඳහා යොමු කිරීමට ඇතැම් දෙමාපියන් මැලිකමක් දක්වනවා. කොණ්ඩෙ වවන සංස්කෘතියක් විශ්වවිද්‍යාලයන්හි පවතිනවා.

ඇතැමුන් කරන හොරකම, බොරුව ඉවත් කළහොත් රටට විශාල සෙතක් සිදුවන බවද නියෝජ්‍ය ඇමැති පාලිත තෙවරප්පෙරුම මහතා පැවසීය.

මෙම අවස්ථාවට සහභාගි වෙමින් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක අනූෂා ගෝකුළ ප්‍රනාන්දු මහත්මිය ප්‍රකාශ කළේ තම දෙපාර්තමේන්තුව නිරන්තරව කලාකරුවන් ඇගයීමට ලක් කිරීමට කටයුතු කරන බවයි.

රඹුක්න සිද්ධාර්ථ හිමි(සාහිත්‍ය), වැයිහේනේ පඤ්ඤාලෝක හිමි(සාහිත්‍ය), මැදවච්චියේ විමලම්ම හිමි( සාහිත්‍ය), අයිරාංගනී සේරසිංහ මහත්මිය(නාට්‍ය), රෝහණ බැද්දගේ මහතා(සංගීතය), සුගතපාල සෙනෙරත් යාපා මහතා(නාට්‍ය), චන්ද්‍රාද සිල්වා වීරසිංහ මහත්මිය( සංගීතය), සුමන ආලෝක බණ්ඩාර මහතා(සාහිත්‍ය), ආතර් යූ අමරසේන මහතා( සාහිත්‍ය), ශ්‍රියානි අමරසේන මහත්මිය( නාට්‍ය), නිමල් ජයසිංහ මහතා(නාට්‍ය), ටෝනි හසන් මහතා (සංගීත), බර්ටි ගුණසේකර මහතා(විවිධ), තිලකරත්න කුරුවිට බණ්ඩාර මහතා( සාහිත්‍ය), රංජිත් ධර්මකිර්ති මහතා(සාහිත්‍ය), හේමශ්‍රී ද අල්විස් මහතා(සාහිත්‍ය), අනුලා ද සිල්වා මහත්මිය( සාහිත්‍ය), හේමසිරි ලියනගේ මහතා(නාට්‍ය), එඩ්වඩ් මල්ලවආරච්චි මහතා(සාහිත්‍ය), චන්ද්‍රා කළුආරච්චි මහත්මිය(නාට්‍ය අංශය), හේමපාල පෙරේරා මහතා(සංගීතය), අයිරින් ද අල්විස් මහත්මිය(සංගීතය), කුලරත්න හෙට්ටිආරච්චි මහතා( නාට්‍ය), චිත්‍රා වරකාගොඩ මහත්මිය( නාට්‍ය), චන්ද්‍ර කුමාර කඳනආරච්චි මහතා(සංගීතය), නීල් අලස් මහතා(නාට්‍ය),නන්දා පතිරණ මහත්මිය(සංගීතය), ක්ලීටස් මෙන්ඩිස් මහතා(නාට්‍ය), අනිල් භාරතී මහතා(සංගීතය), පුන්සිරි සොයිසා මහතා(සංගීතය), රැජිනි සෙල්වනායගම් මහත්මිය( නර්තන), එන්. යූ.එම් අමීන් මහතා( සාහිත්‍ය), ලලිත් පොන්නම්පෙරුම මහතා( සංගීතය), දයාරත්න පෙරේරා මහතා(සංගීතය), කුමාරි අත්තනායක(නාට්‍ය), එඩ්වඩ් ජයකොඩි(සංගීත), සුනිල් ශිල්පාධිපති මහතා( නර්තනය),ඩබ්ලිව්. පී පණීභාරත මහතා(නර්තනය), ටී.බී. කේ පෙරේරා මහත්මිය(නාට්‍ය), ඩබ්ලියු. ජී.ඩී ආරියසිංහ මහතා(සංගීතය) සහ තවත් ජ්‍යෙෂ්ඨ කලාවේදීන් එකසිය හැට දෙනකු පමණ කලාභූෂණ රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලැබීය.

මෙම උත්සවය සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ලදී. මෙම අවස්ථාව සඳහා අභ්‍යන්තර කටයුතු වයඹ සංවර්ධන, සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුලු රාජ්‍ය නිලධාරීහු රැසක් සහභාගි වූහ.

උපාලි කරුණාරත්න සහ සඳුන් රමේෂ්
ඡායාරූප -සිරිපාල හල්වල

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();