මහ පාරේ විකුණන
ශුද්ධ භූමිය පෙනෙන මානයේ
රජ කරන ගණිකා ඡාවාරම
දරිද්‍රතාව මහමඟට ඇඳ දැමූ කාන්තාවන්ගේ, දැරියන්ගේ ඛේදවාචකය... - අනුරපුරයට මෙවැනි කතා අමුතු දේවල් නොවේ...
ඕනෑම සමාජයකදී වැරැදි සිදු වේ. දැන හෝ නොදැන කරන වැරැදි අතර සමාව දිය හැකි වැරැදි තිබේ. එහෙත් මවක් විසින් තම කුඩා දියණියක් සලෙලුන්ට විකිණීම වැනි මතෘත්වයට නිග්‍රහ කරන අශ්ලීල ක්‍රියාවකට කිසිදු සමාජයකදී සමාවක් දිය නොහැකිය. එවැනි කාලකණ්‌ණි ගනුදෙනුවක් අනුරාධපුර අලුත් බස් නැවතුම්පළ ඉදිරිපිට ලයිට් කණුවක් යටදී සිදු වේ.
අනුරාධපුර නගරයේ බහුතරය මේ හිරිකිත ගනුදෙනුව ගැන දැනුවත්ය. අනුරාධපුර නගරයම ආවරණය වන පරිදි රහස් කැමරා පද්ධතියකින් සමන්විත නගරයේ ප්‍රධාන බස් නැවතුම්පළ ඉදිරිපිට කෙරෙන කාලකණ්‌ණි ගනුදෙනුව ගැන පොලිසිය නොදැනුවත්ව සිටී නම් එය ද ගැටලුවකි. නීතියේ
දෙනෙත්හි නොරැදුණු, දැක අහක බලාගෙන සිටින්නේ ද මේ පහත් නීච ක්‍රියාව දැනුදු කළුවර හැන්දෑවට ප්‍රසිද්ධියේ අනුරාධපුර අලුත් බස් නැවතුම්පළ ඉදිරිපිටදී සිදු වේ. සිද්ධිය ගුජුප්සාජනකය. සිරිමා බෝධීන් වහන්සේගේ පහස ලබන උතුම් නගරයේදී මෙවැනි හිරිකිත, අප්‍රසන්න ක්‍රියාවකට ඉඩදීම බෞද්ධ සමාජයට කරන අගෞරවයකි. එහෙයින් අපේ වෑයම ඒ අප්‍රසන්න කතාවත් සමඟ නීතියේ වැට පනින අනුරාධපුර ගණිකා ව්‍යාපාරයේ අලුත් විත්ති ගැන රට්‌ටු දැනුවත් කිරීමය.
තම දියණිය සලෙලුන්ට විකුණන මේ කාන්තාව අනුරාධපුරයේ පදිංචිකාරියක් නොවේ. ඇය දඹුල්ල ප්‍රදේශයේ සිට අනුරාධපුර නගරයට පැමිණ ඇත්තේ මුදලට ඇඟ විකිණීම වෘත්තිය කරගෙනය. අනුරාධපුරයට පැමිණෙන විට ද ඇය විවාහක එක්‌දරු මවකි. ඇයගේ සැමියාට ස්‌ථිර රැකියාවක් නැති කුලිකරුවෙකි. පසුව ඇය අනුරාධපුර නගරයේ 'චරිතයක්' වන විට තම සැමියා සහ දියණියව ද අනුරාධපුරයට කැඳවාගෙනැවිත් නුවර වැව් කණ්‌ඩිය ආසන්නයේ පැලක් අටවාගෙන ජීවත් වූහ.
කාලය ගෙවී යන විට ආරවුලකට මැදි වූ ඇයගේ සැමියා ආබාධිතයෙක් විය. අනතුරුව නගරයේ රස්‌තියාදු වූ තවත් අපතයෙක් ඒ ගුබ්බෑයමට රිංගන්නට පටන් ගත්තේය. ඒ අතර කාලයේදී ඇයට තවත් දරුවන් දෙදෙනෙක් ලැබිණි. ඔවුන් දෙදෙනාම පිරිමි දරුවන් විය. කාලයත් සමඟ ඇයගේ කය වැහැරිණි. ඇයට තිබූ ඉල්ලුම හීන විය. අවසානයේ වෘත්තියේ රසය දන්නා ඇය තම වැඩිමහල් සහ එකම දියණිය පාරට දකකාගෙනැවිත් සලෙලුන්ගේ කෙළි භාණ්‌ඩයක් කළාය. තවමත් ඇඟ පත හෝ නොවැඩුණු පුංචි දැරිවියට සලෙලුන්ගේ ඉල්ලුම ඉහළය. අවලම් අම්මණ්‌ඩිය දියණිය හරහා අසහනකාරයනව තම ගුබ්බෑයම තුළට ගෙන්න ගන්නීය. ඇඟේ වස්‌ත්‍ර ගලවන අසහනකාරයා අවසානයේ ගුබ්බෑයමෙන් එළියට යන්නේ යට ඇඳුම පිටිනි. ඉතිරි සේසතම ඒ සල්ලාල කාන්තාව, හොර මිනිහා සහ දුව විසින් කොල්ලකා ගන්නාහ. එම ගුබ්බෑයම අවට වැසියන්ට මේ අවලම් කොල්ලකෑම් සාමාන්‍ය දෙයකි. දරුවන් තිදෙනාගෙන් කිසිවකු අකුරක් ඉගැනීමට පාසලකට නොයන ගෝත්‍රිකකමින් නොමිදුණු මේ පවුල අනුරාධපුර නගරයට මහා පිළලයක් වී අවසානය.
ඒ කාලකණ්‌ණි කතාව අවසාන වන විට අනුරාධපුරය කළුවර වෙලාය. ඉදිකටු වැස්‌සක්‌වත් නොවැටෙන අනුරාධපුර නගර මධ්‍යයේ මල් කුඩ ඉහළා ගත් රෑ මනමාලියන් එහා මෙහා යති. හැන්දෑවට අනුරාධපුර නගරයේ මෙවැනි දසුන් සාමාන්‍යයි. එමෙන්ම අනුරාධපුර නගරය රාත්‍රියට විසූක දස්‌සනවලින් පිරුණු නගරයක් බව මෙරට ප්‍රසිද්ධය. නගරයට එන ඕනෑම කෙනෙකුට පසුම්බියේ ප්‍රමාණයට සම්බාහනය වෙන්න ඕනෑතරම් 'තැල්මට්' කඩ තිබේ. මධු විතෙන් සප්පායම් වී ගෑනු පරාණයක් තුරුලු කරගෙන නැටුම් නටා, සතුටේ අනන්තයට යැමට අවැසි නම් සුපිරි රාත්‍රි සමාජශාලාවක් තිබේ. එහෙත් දවස තිස්‌සේ හේන් තඩි ගහන ගොවියෙක්‌ට, වන්දනාවේ පැමිණි ගමේ සිරිසේන කෙනෙකුට සහ ඩියුටි මාරුවන හමුදා සොල්දාදුවකුට ඒ ලොවේ සරන්නට පසුම්බිය බර මදි නම් වැව් පිටියකට, ලඳු කැලෑවකට වහං වී තම ලිංගික අවශ්‍යතා ඉටුකරගැනීමට අවශ්‍ය වීදි ගණිකාවන් ද අනුරාධපුර නගරය පුරා බුරුතුපිටින් සිටිති. ඒ අතර හිරිමල් ගැටිස්‌සියන්, විසේකාර තරුණියන්, මැදිවියේ අම්මණ්‌ඩිලා, සම හැළෙන, සුදු කෙස් සඟවාගත් ආච්චි අම්මලාද සිටින්නාහ. අනුරාධපුර අලුත් බස් නැවතුම්පළ ඉදිරිපිට මවක් කුඩා දියණිය විකුණන්නේ විවිධාකාර වූ මේ නගර සෝබනියන් අතරය.
අනුරාධපුර නගරය ගණිකාවන්ගේ තිප්පොළක් බවට පත්වන්නේ ත්‍රස්‌තවාදී යුද්ධයේ ආරම්භයත් සමඟය. එනම් උතුර, නැගෙනහිර ප්‍රදේශවලට ගමන් කරන මාර්ග වැසී යැමත් සමඟ එම ප්‍රදේශවල ක්‍රියාන්විත රාජකාරිවල නියෑළුණු හමුදා සාමාජිකයන් ප්‍රවාහනය කරනු ලැබුවේ ගුවන් සහ මුහුදු මාර්ග ඔස්‌සේය. එකල බොහෝදුරට උතුරු, නැගෙනහිර ප්‍රදේශවලට ගුවන් ගමන් ආරම්භ කරනු ලැබුවේ අනුරාධපුරයේ සිටය. රාජකාරියට යන සහ නිවාඩු එන හමුදා සාමාජිකයන්ගේ අවසාන නවාතැන්පොළ වූයේ අනුරාධපුර අතරමැදි කඳවුරය. රාජකාරියට යන හමුදා සාමාජිකයන් ගුවන් ගමන් ප්‍රමාද වීම නිසා දවස් ගණන් අනුරාධපුරයේ රැඳුණු අවස්‌ථා තිබිණි. නිවාඩු එන සෙබළු අනුරාධපුරයෙන් ගොඩ බහින්නේ මාස ගණන් කැලේ දුක්‌විඳ හාමතේය. ඔවුහු නිවසට යැමට පෙර අනුරාධපුර නගරයේදීම හාමත් වූ සිතට, ගතට යුතුකම් ඉටු කිරීමට පසුබට නොවූහ. නිවාඩු නිමා කොට නැවත ක්‍රියාන්විතයට යන හමුදා සාමාජිකයෝ ද කල්තියා අනුරාධපුරයට ගොස් මාස ගණනකට සෑහෙන්න සතුටු වී යැමට පුරුදු වී සිටියහ. එවැනි සෙබළුන්ට බඩ පුරා කෑමට කෑම කඩ, සිත විකල්වන තරමට මත්වීමට අරක්‌කු තැබෑරුම් සහ ලිංගික අසහනය නිවෙන තුරු සන්තර්පනය වීමට මුදලට විකිණෙන කාන්තාවන් ද ඕනෑතරමට සිටියහ. එසේ කාලයක් ගත වන විට අනුරාධපුර නගරය මෙරට අංක එකේ ගණිකා තිප්පොළ බවට පරිවර්තනය විය. අනුරාධපුර නගරයට යාබද ප්‍රදේශවල කාන්තාවන් මෙන්ම ගාල්ල, මාතර, නුවර, කොළඹ විවිධ ජාති ආගම්වල කාන්තාවන් රෑ මනමාලියන් ලෙස අනුරාධපුර නගරයේ වීදිවල සරන්නට වූහ.
දැන් අප අසල සිටින වියපත් කාන්තාවද වසර තිහකට වැඩි කාලයක සිට අනුරාධපුර නගරයේ ලොව පැරැණිම වෘත්තියේ යෙදුණු රෑ මනමාලියකි. ඇයට අපි සීතා යෑයි කියමු. පදිංචිය නුවරය. අනුරාධපුර නගරයේදී දැනහැඳින ගත් ත්‍රිරෝද රථ රියෑදුරෙකු මාර්ගයෙන් අපට මුණුගැසුණු සීතා ප්‍රථමයෙන් අප සමඟ වෘත්තීය ජීවිතය ගැන කතා කිරීමට මැලි විය. එහෙත් අපගේ පෙරැත්ත කිරීම මත ක්‍රමයෙන් ඇයගේ මුව විවර විය.
''මම කසාද බැන්දේ අවුරුදු දාසයෙන්. අවුරුදු විස්‌ස වෙනකොට මට දරුවෙකුත් හිටියා. මිනිහත් දාලා ගියා. මම ඉගෙනගෙනත් නෑ. ජීවත් වෙන්න විදිහක් නැති වුණා. පස්‌සේ දුව අම්මට භාර දීලා මම නුවර තේ කඩේක වැඩට ගියා. ඒකෙන් ලැබෙන පඩිය අපිට ජීවත් වෙන්න ප්‍රමාණවත් වුණේ නෑ. පස්‌සේ දැන හඳුනගත්ත අයියා කෙනෙක් මාර්ගයෙන් අනුරාධපුරය නගරයේ තේ කඩේක වැඩට ආවා. ඒ කඩේ රෑටත් ඇරලා. රෑට නගරයේ ඇවිදින ගෑනු වැඩිපුරම කන්න, බොන්න ආවේ අපේ කඩේට. ඒ ආපු අය කියන දේවල් එක්‌ක මටත් මේ ජොබ් එකට බහින්න හිතුණා. මට ආරක්‍ෂා කරගන්න දේකුත් නෑ. මාව ආරක්‍ෂා කරන්න කෙනෙකුත් නෑ. මම කැමැත්තෙන් මේ රැකියාවට බැස්‌සා...''
''පොත්ත රතු නොවුණාට මටත් හොඳට විසේ තිබුණා. පාරට බැස්‌ස අලුත හොඳට බිස්‌නස් තිබුණා. ඒ කාලේ අනුරාධපුර නගරය හමුදා කෑම්ප් එකක් වගෙයි. දහයක් කතා කළොත් අටක් ආමි එකේ. නිවාඩු ඉඳලා එන කොල්ලො බැස්‌ස ගමන් දුවන්නේ ටවුන් එකේ බැංකුව ළඟට. සල්ලි අතට ගත්තා. ත්‍රිරෝද රථකාරයෙක් එක්‌ක චැට් එකක් දාලා ඊළඟට යන්නේ ගෑනියෙක් ළඟට. සමහර ගෑනු කැලේ දුක්‌විඳලා එන කොල්ලන්ගේ සබ්බසකලමනාවම සුද්ද කරගෙන ගෙදර යන්න සතේ නැති කරනවා. ඒ කාලේ එහෙම දේවල් කරපු ගෑනුන්ට කොහෙන්හරි රිටන් එකත් ලැබුණා. හිටි ගමන් සමහර ගෑනුන්ගේ රහ සඟ, බෙලි කපලා ගිය අවස්‌ථා ඕන තරම් තිබුණා. රවට්‌ටගෙන ගිහින් කොල්ලො හතර, පස්‌දෙනා දවස් ගණන් තියාගෙන බාගෙට මරලා පාර අයින්වල දාලා ගිය අවස්‌ථා තිබුණා. හමුදා කොල්ලො එක්‌ක ගනුදෙනු කරනකොට පරිස්‌සම් වෙන්න ඕනා. කැලේ ඉඳලා එන කොල්ලො වනසත්තු වගෙයි. මම නම් ජීවිතේට කාගෙන්වත් රුපියලක් කඩා වඩාගෙන නෑ. මා ළඟට එන ආමි කොල්ලන්ව උපරිමයෙන් සතුටු කරලා ඇරියා මිසක් රුපියලක්‌වත් වැඩිපුර අරගෙන නෑ. හැබැයි ආමි කොල්ලො අපි කියන ගානට වඩා කීයක් හරි වැඩිපුර දීලා යන්නේ. හිත හොඳ කොල්ලො. සමහර ආමි කොල්ලො එක්‌ක මම සති ගණන් ඉඳලා තියෙනවා. තේ කඩේ මාසේම වැඩ කරලා ගන්න පඩිය දවස් දෙකෙන් හෙව්ව අවස්‌ථා තියෙනවා...''
''අපි ජීවත් වෙච්ච කටු මැටි ගේ පුංචියට සිමෙන්ති ගඩොලෙන් හදාගත්තා. දරුවා ඉල්ලන දේ අරගෙන දුන්නා. උගන්වන්න උත්සාහ කළා, ඒත් ඉගෙනගත්තේ නෑ. දැන් එයත් කසාඳ බැඳලා ගියා. අම්මත් නැති වුණා. මම ගෙදර තනි වුණා. ජීවත් වෙන්න මම තවම මේ රස්‌සාව කරනවා. තරුණ කාලේ වගේ දැන් රෑට ඉන්නේ නෑ. උදේට නුවර ඉඳලා අනුරාධපුරයට එන බස් එකේ ඇවිත් හවස අන්තිම බස් එකේ ගෙදර යනවා. දැන් ඉස්‌සර වගේ අපිට බිස්‌නස් නෑ. අපි පරණයි. පොෂ් නෑ. මූණේ තවරගෙන ඉන්න ලාටු ටික ඉවත් කළාට පස්‌සේ ගන්න දෙයක් නෑ. තව ටික දවසක් ගිහිල්ලා ආයෙමත් මම තේ කඩේක වැඩට යනවා. නැති නම් මේ නගරයේ මුල්ලකට වෙලා බුලත්විට ටිකක් විකුණනවා. ඉස්‌සර මේ නගරේ වන, වන ගිය හුඟ දෙනෙක් දැන් පැත්තකට වෙලා බුලත්විට විකුණනවා...''
''ඒ කාලේ වගේ නෙමෙයි දැන් බිස්‌නස් අඩුයි. උතුරට, නැගෙනහිරට යන ආමි එකේ දැන් කොල්ලො අනුරාපුරයේ බහින්නේ කලාතුරකින්. අපේ වෘත්තියේ යෙදෙන ගෑනුත් දැන් අඩුයි. දැන් ඉන්න සමහර අම්මණ්‌ඩිලා මහා රෑ වෙනකොට රුපියල් සීය, දෙසීයටත් යනවා. ඒ යන්නෙත් කාමරයකට නෙමෙයි, වැවක් අයිනකට, ලඳු කැලෑ රොදකට. ඔය රුපියලට, දෙකට නිදාගන්න උන් තමයි මේ වෘත්තියත් නන්නත්තාර කරලා තියෙන්නේ. ඒ කාලෙත් කොල්ලො පස්‌හය දෙනා එක්‌ක කැලෑ පඳුරුවලට ගිය උන් හිටියා. හැබැයි උන් එළියට එනකොට දාහ පහළොස්‌දාහක් ගෙවනවා...''
''මේ අවලම් රස්‌සාව වඳ වෙලාම යන්න ඕනා. ගොඩක් අය හිතන්නේ අපි මේ රස්‌සාව කැමැත්තෙන් කරනවා කියලා. නෑ... මේක කිසිම තෘප්තියක් නැති රස්‌සාවක්. මම කියනවා බොරු ද බලන්න මහත්තෙලා ඔය නගරයේ ඉන්න තව ගෑනු දෙතුන් දෙනෙක් එක්‌ක කතා කරලා බලන්න.. 'කරන්න දෙයක් නැතිකමට කරනවා' කියලා නොකිව්වොත් මට ඇවිත් බැණලා යන්න...'' ආයාසයෙන් එළියට ගත්ත කතාවේ අවසානයට මහත් වේගයක් තිබිණි. වැඩ කරන වේලාව නිකරුණේ ගත වුවද ඒ පිළිබඳ ඇය නොතැවිණි. ජීවිතයේ අගහිඟකම්වලින් මිදෙන්නට සහ නරක පූර්වාදර්ශයන් මත වීදියට වැටුණු සීතාට නැවත ගොඩ ඒමට නොහැකි විය. ඇය තවම නරකාදියේය.
සීතා රැකියාවේ යෙදෙන අනුරාධපුර පොදු වෙළෙඳපොළ තුළ තවත් ගණිකාවන් රැසකි. ඒ ආසන්නයෙන් යනෙන පිරිමින්ට ඇතැම් ගණිකාවන් විසිල් කර කතා කරන්නට, ළඟින් යන විට නිරුවත් කකුල් දමා මග අහුරන තරමට ඔවුහු පොදු වෙළෙඳපොළ තම ආධිපත්‍යයට ගෙන ඇති අයුරු ද අපි දුටුවෙමු. එමෙන්ම අනුරාධපුර නව නගරය, පැරැණි බස් ටෑන්ඩ් එක ගණිකාවන්ගේ රාජධානි බවට පත්ව ඇත. නුවර වෑවේ වෑකන්ද, මෛත්‍රිපාල සේනානායක මාවතේ සියලු අතුරු මාර්ග රාත්‍රි කාලයට ගණිකාවන්a සහ සල්ලාලයන් එකතුවන එළිමහන් නාඩගම් පිටි බවට පත්ව ඇත. එකී ප්‍රදේශවලදී ලයිට් එළි වදින විට අඩනිරුවත් සිරුරු ක්‍ෂණයෙන් ලඳු කැලෑවලට වහං වීම සුලබ දර්ශනයකි. මේ ගණිකා ආදිපත්‍යයට අනුරාධපුර නගරයේ බොහෝ ත්‍රිරෝදකරුවන්, ව්‍යාපාරිකයන් විරුද්ධය. එහෙත් බුද්ධි අංශ නිලධාරීන් නිරන්තරයෙන් ගැවසෙන සහ නීතිගරුක අනුරාධපුර පොලිසිය ගණිකාවන් අත්අඩංගුවට නොගැනීම නගරවාසීන්ට මහත් ගැටලුවකි. එමෙන්ම රාත්‍රි මුර සංචාරයේ යෙදෙන පොලිස් නිලධාරීන් රෑ මනමාලියන් සමඟ සතුටු සාමීචියේ යෙදෙන අවස්‌ථා ද අනුරාධපුර නගරයේ සුලබ දර්ශනයක් බව වාර්තා වේ. පොලිස් නිලධාරීන් විසින් ඉඳහිට වීදි දිගේ ඇවිදින ගණිකාවන් කුදලාගෙන ගියද අධිකරණයේ ඇප පිට නැවත ඔවුහු පාරට එති. එම කාන්තාවන්ට ඇප තැබීමට ඕනෑතරම් අය සිටිති. එමෙන්ම කාන්තාවන් ගණිකා වෘත්තියේ යොදවන ඇතැම් පුද්ගලයන් සහ කණ්‌ඩායම් ද අනුරාධපුරයේ එමටය. ඒ කාන්තාවට ඇති ආදරයට හෝ හිතවත්කමට නොවේ. මුදල් ඉපැයීමට ඔවුන්ව ඉත්තන් කරගැනීමටය. එහෙත් එම පිම්පියන්ගේ කාරුණාව පහළ වන්නේ ද පොත්ත රතු, සහ ඉඟ සුඟ හැඩ වැඩ ගැටිස්‌සියන්ට සහ රූපත් කාන්තාවන්ට පමණි.
සීතා වැනි සම හැළෙන, හකුඇට ඉලිප්පුණු, කෙස් පැසුණු කාන්තාවන්ට පිම්පි කරුණාව ද පහළ නොවේ. ගණිකා වෘත්තියේදී වයසට යැම යනු අවලංගු කාසියක් වැනිය. තරු හෝටල්වල සුපිරි මිලට විකිණෙන කාන්තාවන්, සමාජශාලාවල නළඟනන් මෙන්ම දූවිලි වීදියේ සොච්චම් මුදලට විකිණෙන ඕනෑම කාන්තාවකගේ සම රැලි වැටී, රූපය විරූපී වන විට අත්වන ඉරණම සීතාගේ වීදි ජීවිතයට සමානය. එහෙත් සල්ලි කොළවලින් අන්ද වී සිටින කාන්තාවන්ට ලොව පැරැණිම වෘත්තියේ අනන්තය නොපෙනේ. පෙනෙන විට ආපසු හැරෙන්නට කාලයක් ඉතිරි වී නැත. දැන, දැනම තම දියණියන් ද ඒ අපායටම ඇද දමන අවලම් හැතිරියන්ට නීතියේ දෑස්‌වලින් සැඟ වී සිටියද එලොවදී නම් කිසිදු ගැලවීමක් නැත.
එමෙන්ම නීතියේ වැට කඩුළු ශක්‌තිමත් නම් මුදලට, සිතුවිලිවලට වැට මායිම් එහා මෙහා නොවෙන්න මේ රටේ අම්මලා තම දියණියන්ව අසහනකාරී අපතයන්ට විකුණන්නේ නැත. මහ මඟ විකිණෙන නගර සෝබනියන්ද අඩුවේ. ඒ හැරෙන්නට මේ කාලකණ්‌ණි රැකියාව සමාජයෙන් අතුගා දැමීමට නොහැකිය. සම්පූර්ණයෙන් අතු ගා දැමීමට කතා කිරීම ද විහිළුවකි.
තරංග රත්නවීර - අනුරාධපුර රංග චතු
0 Comments