Ticker

6/recent/ticker-posts

Header Ads Widget

බුහුමනට පාත්‍ර වූ අභීත මිනිසුන් විසූ බොරළුගොඩ මහ ගෙදර

පිහිටීම - බස්නාහිර පළාතේ, කොළඹ දිස්ත්‍රික්කයේ, කොස්ගම බොරළුගොඩ පිහිටයි.

ගමන් මාර්ගය -අංක 122 බස් මාර්ගයේ ගොස් - අවිස්සාවේල්ල, කොස්ගම , බොරළුගොඩට යා යුතුයි.

විශේෂත්වය - ඉංගී‍්‍රසි පාලනයට විරුද්ධව හඬනැගු පරපුරක කේන්ද්‍රස්ථානය වූ “බොරළුබොඩ මහගෙදර” අභිමානය ගැන කියැවේ.

 

බොරළුගොඩ යන නාමය ඇසෙනවිටම අතීතය දන්නා කවුරුන් තුළ වුවද ඇතිවන්නේ ප්‍රතාපවත් අභිමානවත් යම් යුගයක මතකයකි. ඒ මන්දයත් බොරළුගොඩ නාමය මෙරට ප්‍රකට වුයේ අධිරාජ්‍යවාදී යදම් බිඳිනට නොසැලෙන ශක්ති ප්‍රමාණයෙන් සටන් වැදි මිනිසුන් මෙහි ජන්මලාභය ලද නිසා ය. ඔවුන් උපත ලැබුවේ දේශයේ නාමයෙන් සේවය කිරීම පිණිසම ය. එදා මෙදා තුර එවන් පරම්පරාවක විහිදී ගිය පුරුක් තවමත් මේ රට තුළ තම බල පරාක්‍රමය පතුරුවමින් සිටිනු ඇතැයි කීම මුසාවක් නොවේ. කෘතහස්ත දේශපාලනඥයකු වූ දිනේශ් ගුණවර්ධන මහතා ද මේ සෙවණට නෑකම් කියන්නෙකි. ඔහු පිලිප් ගුණවර්ධන මැතිඳුන්ගේ පුත්‍රයෙකි. මේ සියල්ලන්ටම සෙවණ සෑදුයේ “බොරළුගොඩ මහ ගෙදරයි.” අක්කර 30ක් දක්වා විහිදී ගිය ඉඩමක පිහිටි මේ ඉපැරැණි නිවෙස අද දක්වා නිසොල්මනේ කියාපාන්නේ ඒ අතීතයේ අභිමානය යි. බොරළුගොඩ මහගෙදර, බොරළුගොඩ වලව්ව, මේ කුමකින් හැඳින්වුවද සැබැවින්ම එය සීතාවක බොරළුගොඩ ප්‍රදේශයට ආලෝකයක් ගෙන ආ තැනකි. එය ගොඩනැගුවේ බොහෝ වතුපිටි ව්‍යාපාර තිබූ පළාතේ ප්‍රභුවරයකු වූ “බොරළුගොඩ රාළහාමි” යනුවෙන් හැඳින් වූ බලවතෙකි. ඔහු පළාතේ ජනතාවට නැති බැරි මිනිසුන්ට උදව් උපකාර කරමින් ජනතාවගේ ඇගයීමට පාත්‍ර වූ මානව හිතවාදී මිනිසෙකි.

මේ ඉපැරැණි ගෘහයෙහි නිර්මාතෘවරයා වූ පිලිප් ගුණවර්ධන මැතිඳුන් මෙන්ම පවුලේ බාල පුතු වූ රොබට් ගුණවර්ධනයන් ද රට නිදහස් කර ගැනීමේ අරගලයක යෙදී සිටි බුහුමන් ලද පුත්තු වූහ. විවියන් ගුණවර්ධන මැතිණිය මෙන්ම සිංහල සිනමාවේ කිවිඳිය ලෙස හැඳින් වූ සුමිත්‍රා පීරිස් (ගුණවර්ධන) මැතිණිය ආදිහූ පවා මේ අභිමානවත් මහගෙදර සෙවණ ලැබීමට තරම් භාග්‍යවන්තයෝ වූහ.

ලංකා සමසමාජ පක්ෂයේ අපේක්ෂකයන් ලෙස රොබට් ගුණවර්ධන මහතා කොට්ටාවටත් පිලිප් ගුණවර්ධන මහතා අවිස්සාවේල්ලටත් තරග කර ජයග්‍රහණය කළේ අභීත ලංකා පුත්‍රයන් ලෙස ය.

සීතාවක අවිස්සාවේල්ල පාරේ කොස්ගම, බොරළුගොඩ පිහිටි මෙම ජනාදරයට පත් නිවෙස මේ වනවිටත් මුල් ස්වරූපය නොවෙනස්ව පැවතීම සතුටට හේතුවකි. විශාල ආලින්දය මෙන්ම පෝටිකෝව ද මේ ගෘහයට එක්කරන්නේ කිසියම් ගෞරවනීය පෙනුමකි. උළු සෙවිලි කරන ලද වහලය පළ දෙකක ආකාරයට දක්නට ලැබේ. ප්‍රධාන පාරෙන් හැරී මඳක් දුර ගිය විට පටු පාරකින් හැරෙනවාත් සමඟම වම්පසින් දිස්වන්නේ විශාල පොල්වත්තක් මැද පිහිටි මේ බොරළුගොඩ මහගෙදර ය. ප්‍රදේශවාසීන් හඳුන්වන විදිහට නම් මෙය බොරළුගොඩ වලව්ව යි. පැරැණි තුරුලතා ආදියෙන් මෙන්ම පලතුරු ගස් ආදියෙන් වලව්බිම සශි‍්‍රක ය.

ගෘහය තුළ මැද මිදුල් ආකාරයට මෙන්ම දිගු සාලයක් දක්නට ලැබේ. ඉපැරැණි ඡායාරූප එල්වා තබන ලද කොටසේ එකවර විශාල පිරිසකට වාඩිවීමට හැකි කෑම මේසයක් සහිත කොටසකි. සාලය තුළින් විවිධ පැතිවලට යා හැකි පරිදි දොරටු දක්නට ලැබේ. වලව්වේ මිදුල සුදු වැලි වැනි සියුම් වැල්ලෙන් සමන්විත ය. මෙහි දක්නට ඇති මල්ගස් අතර ඉතා මිහිරි සුවදැති ගාර්ඩීනියා පඳුරක් දැකගත හැකිය. එය නිරතුරුව මලින් බර වී තිබෙනු ඇත. මේ මල්ගස චීනයෙන් ගෙන ආ බවක් කියැවේ. සුදු පැහැය ආලේප කර ඇති බිත්තිවල රත්පැහැයෙන් ද යම් යම් තැන්වල තීන්ත ආලේපකොට ඇත. එය ලංකා සමසමාජ පක්ෂයේ පැහැය සිහිගන්වන සුළු වූ බවක් පෙනේ.

මේ නිවෙසේ ගෘහපතිනිය ලෙස තවමත් එම නිවෙස ජීවමාන කරනුයේ රූපා ගුණවර්ධන මැතිණිය යි. ඇය දිවංගත රොබට් ගුණවර්ධන මැතිඳුන්ගේ දයාබර බිරිය වේ.

අධිරාජ්‍යවාදී කුරීරුකම් බිඳ හෙළමින් සිරිලකට නිදහස සොයා තම කාලය ශ්‍රමය මෙන්ම සියලු දේ කැප කළ ප්‍රතාපවත් මිනිසුන්ගේ ගුණ සුවඳ තවමත් මේ නිවෙස තුළින් විහිදී යනු ඇත.

නන්දි අලුත්ගේ රත්නවීර

ඡායාරූප - නිශ්ශංක විජේරත්න

Location name: 










from mihithuru

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();