Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මම ගෙදර ගියත් බාල තෙල් ගොඩ බාන්න ඉඩ දෙන්නේ නෑ – ඇමැති අර්ජුන

මම ගෙදර ගියත් බාල තෙල්
ගොඩ බාන්න ඉඩ දෙන්නේ නෑ
 – ඇමැති අර්ජුන

IOCය රට තුළ අර්බුද හදා බාල තෙල් ගොඩබෑමට හදනවා – අනුර කුමාර දිසානායක
පෙට්‍රල් ගැටලුව විසඳීමට ජනපතිගෙන් ඇමැති අනුකමිටුවක්‌
 තෙල් නැවක් ඉංදියාවෙන් - අගමැති

ඉන්දියන් තෙල් සමාගම හිතාමතා පොරොන්දු කඩකරමින් තෙල් නොගෙන්වා රට තුළ කුමන්ත්‍රණයක්‌ ලෙස අර්බුද නිර්මාණය කර බාල තෙල් නැව ගොඩබෑමට උත්සාහ දරන බවට සැකයක්‌ මතුවන බව විපක්‌ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ (07 දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

ස්‌ථාවර නියෝග යටතේ විශේෂ ප්‍රකාශයක්‌ කළ දිසානායක මහතා මෙසේද කීවේය.

රට තුළ නිර්මාණය වී ඇති ඉන්ධන හිඟය හේතුවෙන් ගමනාගමන ක්‌ෂේත්‍රයේ මතුවී ඇති ගැටලුකාරී තත්ත්වය පිළිබඳව මෙම සභාවේ අවධානය යොමු කරනු කැමැත්තෙමි. මෙහිදී පෙනී යන ප්‍රධානතම කරුණු කිහිපයක්‌ තිබෙනවා.


පළමුවැන්න නියමිත පටිපාටිය අනුගමනය නොකර තෙල් ආනයනය කිරීමට ආණ්‌ඩුව විසින් ගෙන ඇති පියවරයි. විශේෂයෙන්ම පසුගිය කාලයේ ලංකාවට තෙල් ගෙන්වන ලද්දේ දීර්ඝ කාලීන කොන්ත්‍රාත් ක්‍රමය යටතේයි. නමුත් පසුගියදා ඒ සඳහා ටෙන්ඩර් කැඳවා ආයතනයක්‌ තෝරාගෙන තිබියදීත් ඊට කැබිනට්‌ අනුමැතිය ලබා නොදී ඒ වෙනුවට වෙළඳපොළෙන් ස්‌ථානීය මිලදී ගැනීම් යටතේ තෙල් ගෙනඒම අරඹා තිබෙනවා. ඒ නිසා පසුගිය මාස කීපය තුළ ඇමරිකානු ඩො. මිලියන 40 ක ඉතා බරපතළ පාඩුවක්‌ සිදුව තිබෙනවා. මේ පිළිබඳව ඉදිරියේදී මෙම සභාවට සංඛ්‍යා ලේඛන සහිතව ලබාදීමට බලාපොරොත්තු වෙනවා.

දෙවැන්න ඛනිජ තෙල් සංස්‌ථාව සතුව ප්‍රමාණවත් ගබඩා පහසුකම් නොමැති වීමයි. දැනට පවතින ගබඩා ප්‍රමාණවත් වන්නේ සති 02 ට පමණ කාලයකට පමණයි.

ත්‍රිකුණාමල චීන වරායේ ටැංකි 99 ක්‌ පවතින අතර, 2003 වන විටත් අගමැතිවරයා යටතේම මෙයIOC සමාගමට වසර 35 කට ලියවිල්ලකින් පමණක්‌ ලබාදී තිබෙනවා. එහි 1.2 ඡේදය යටතේ 2003.03.01 දින සිට මාස 06 ක්‌ තුළ විධිමත් බදු ගිවිසුමකට නොයැම හේතුවෙන් ඔවුන් එහි දැන් සිටින්නේ නීති විරෝධී ලෙසයි. සැබැවින්ම දැනට ඔවුන් භාවිත කරන්නේද ටැංකි 08 ක්‌ පමණයි. ඉතිරි ටැංකිවලින් ටැංකි 10 ක්‌ තෙල් සංස්‌ථා පරිහරණයට ලබාගැනීමට 2016 අප්‍රේල් ගත් කැබිනට්‌ තීන්දුව අගමැතිවරයා විසින් 2016.06.06 කැබිනට්‌ පත්‍රිකාවකින් අහෝසි කර තිබෙනවා. ආණ්‌ඩුව විසින් උත්සාහ ගනිමින් සිටින්නේ, මෙම ටැංකි ෂධC ට නීති ගතකොටම ලබාදීමටයි.

තෙවැන්න සපුගස්‌කන්ද පිරිපහදුව අකර්මණ්‍ය වීමයි. මෙය 1969 ඉදිකළ අතර එය දැන් අබලන්ව තිබෙනවා. පසුගිය සතියේදී පිරිපහදුවේ හදිසි බිඳවැටීමක්‌ සිදුවීම මෙම ගැටලුව තීව්‍ර කොට තිබෙනවා. 2007 දී නව පිරිපහදුවක්‌ ඉදිකිරීමට ප්‍රොඅඩාකාරී ලෙස මුල්ගල් තැබුවද එය ඉදිවී නැහැ.

අනෙක්‌ අතට මෙහිදී වෘත්තීය සමිති විසින් මතුකරන සාධාරණ සැකයක්‌ වන්නේ, වත්මන් IOC සමාගම අත්තනෝමතික ලෙස හිතාමතා පොරොන්දු කඩකරමින් තෙල් නොගෙන්වා රට තුළ කුමන්ත්‍රණයක්‌ ලෙස අර්බුද නිර්මාණය කොට ඇතිවන තත්ත්වය ප්‍රයෝජනයට ගනිමින් බාල තෙල් නැව ගොඩබෑමට ප්‍රයත්න දරන බවයි.
කවුරු බලපෑම් කළත් , මම ගෙදර ගියත් බාල තෙල් ගොඩ බාන්න ඉඩ දෙන්නේ නෑ – ඇමැති අර්ජුන රණතුංග කියයි

පවතින තෙල් අර්බුදයට වැරදිකරු කවුරුන්ද යන්න පිළිබඳ විශේෂ පරීක්‍ෂණයක්‌ පවත්වන බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ඇමැති අර්ජුන රණතුංග මහතා ඊයේ (07 දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

සැටලයිට්‌ නිරීක්‍ෂණයන්ට අනුව අද රාත්‍රි 11 ට පමණ මෙරටට පැමිණීමට නියමිත ඉන්ධන නැව රාත්‍රි 9 වන විට පැමිණෙනු ඇතැයි ද ඒ අනුව හෙට සිට නියමිත පරිදි ඉන්ධන බෙදාහැරීම සිදුකෙරෙනු ඇතැයි ද ඇමැතිවරයා පැවසුවේය.

විපක්‍ෂයේ සංවිධායක අනුර කුමාර දිසානායක සහ ඒකාබද්ධ විපක්‍ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන යන මහත්වරුන්a ස්‌ථාවර නියෝග යටතේ මතු කළ ප්‍රශ්නවලට පිළිතුරු දුන් ඇමැතිවරයා මෙසේ ද කීය.

කෑන්වලට, බෝතල්වලට ඉන්ධන නොදෙන්නේ හේතුවක්‌ ඇතිවයි. මේ අවස්‌ථාවේ කූට ජාවාරමක්‌ සිදුකරනවා. බෝතල්වලට ඉන්ධන ලබාගෙන වැඩි මිලට එළියේ විකුණනවා. ඉන්ධන ගැසිය යුත්තේ වාහනයට. අද පවතින්නෙ පෙට්‍රල් හිඟයක්‌ පමණයි. ඒත් ඇතැම් ඉන්ධනහල් ඩීසල් බෙදාහැරීමත් නතර කරලා. මේ නිසා ත්‍රිරෝද හා යතුරුපැදි පදවන අයට අමතරව අනෙක්‌ රථවාහන රියෑදුරන් ද අපහසුතාවට පත්වෙලා.

පමා වී තිබෙන්නේ සාමාන්‍ය ක්‍රමවේදයට අනුව ඉන්ධන ඇණවුම් කළ නැවක්‌. ඔක්‌තෝබර් 13 දා ඉන්දියන් ඔයිල් සමාගමේ නැවක්‌ ආවා. පරීක්‍ෂණ දෙකක්‌ කළාට පසු ඒ ඉන්ධන ප්‍රතික්‍ෂේප කළා. අප ඒ නැව් භාරගත්තේ නෑ. මීට පෙරත් නුසුදුසු තෙල් ගෙනැවිත් රජයට පාඩු සිදුවුණා. වාහනවලට වන්දි පවා ගෙවන්න වුණා. තෙල් සංස්‌ථාව ඇණවුම් කළ ඉන්ධන නැව දින හතරක්‌ ප්‍රමාද වෙලා. නවවෙනිදා වෙද්දී සාමාන්‍ය ලෙස බෙදාහැරීම් කළ හැකියි. මේ ප්‍රශ්නය නිරාකරණය වූ පසුව විශේෂ කණ්‌ඩායමක්‌ යොදවා පරීක්‍ෂණයක්‌ කරන ලෙස ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටියා. අපට පෙට්‍රල් ගබඩා කළ හැක්‌කේ මෙටි්‍රක්‌ ටොන් 90,000 යි. අපි ගෙන්වන්නේ මෙටි්‍රක්‌ ටොන් 40,000 යි. දිනකට සාමාන්‍යයෙන් පෙට්‍රල් මෙටි්‍රක්‌ ටොන් 2500 යි නිකුත් කරන්නේ. එක්‌ එස්‌. එම්. එස්‌. පණිවුඩයකින් රටේ විශාල කැළඹීමක්‌ ඇතිවුණා. ඒ එස්‌. එම්. එස්‌. පණිවුඩය මටත් ආවා. මේ නිසා දිනක ඉල්ලුම මෙටි්‍රක්‌ ටොන් 4700 බවට පත්ව තිබෙනවා.

මේ සමහර සිදුවීම් එකකට එකක්‌ සම්බන්ධයි. එක්‌වරම පිරිපහදුව අක්‍රිය වෙනවා. තෙල් බෙදාහැරීමේ පරිගණක පද්ධතිය පැය ගණනක්‌ නවතිනවා. ඒවා සාමාන්‍ය සිදුවීම් නොවේ. නැව මඟ තිබෙද්දි බංකරින්වලට පැය දහයකට නතර කරනවා.

ප්‍රමිතියෙන් තොර තෙල් එළියට දමන්න කියා කවුරු කීවත් මම ඒවා එළියට දමන්නේ නෑ. නරකක්‌ වෙන්න මම ඉඩ දෙන්නේ නෑ. මේ ඉන්ධන එළියට දමන ලෙස අගමැතිතුමාවත්, ජනාධිපතිතුමාවත් බලපෑම් කරලා නෑ. ඇමැතිවරයා ලෙස ගෙදර ගියත් මම වරදක්‌ කරන්නේ නෑ.

පෙට්‍රල් ගැටලුව විසඳීමට ජනපතිගෙන් ඇමැති අනුකමිටුවක්‌..!

පෙට්‍රල් හිඟය වැළැක්‌වීම සඳහා ක්‍ෂණික විසඳුම් ඉදිරිපත් කිරීමට ඊයේ (07 දා) රැස්‌ වූ ඇමැති මණ්‌ඩල රැස්‌වීමේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ඇමැති අනුකමිටුවක්‌ පත්කර ඇත.

ඇමැතිවරුන් වන චම්පික රණවක, අනුර ප්‍රියදර්ශන යාපා, සරත් අමුණුගම, අර්ජුන රණතුංග යන මහත්වරු මෙම කමිටුවට අයත් වෙති.

තෙල් අර්බුදයට ක්‍ෂණික විසඳුමක්‌ ලෙස ඉන්දියාවෙන් තෙල් ගෙන්වා ගැනීමටත් දැනටමත් සාකච්ඡා ආරම්භ කර ඇති බව ද ඒ අනුව අද (08 දා) දිනයේදී ඛනිජ තෙල් නැවක්‌ මෙරටට ළඟාවන බව ද ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මහලේකම් ඇමැති දුමින්ද දිසානායක මහතා පැවසීය.

එමෙන්ම පවතින තෙල් අර්බුදය පිළිබඳව දීර්ඝ වශයෙන් ඇමැති මණ්‌ඩලය සාකච්ඡා කළ බව කී ඇමැතිවරයා අවශ්‍ය තෙල් තොග පවත්වාගෙන නොයැම, තෙල් ඇණවුම් කිරීමේදී ප්‍රමාදවීම, සපුගස්‌කන්ද පිරිපහදුව හදිසියේ අඩාලවීම පිළිබඳව වහාම පරීක්‍ෂණයක්‌ පැවැත්වීමට ඇමැති මණ්‌ඩලය තීරණය කළ බව ද ඊයේ (07 දා) පැවැති ශ්‍රීලනිප මාධ්‍ය හමුවේදී කියා සිටියේය.

මෙහිදී කිසියම් අයකු වරදකරුවකු වුවහොත් තනතුරු නොබලා දඬුවම් කරන බව ද හෙතෙම කියා සිටියේය.


Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();