Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ශ්‍රී ලංකාවට ආවේණික අළු ගිරවා

විද්‍යාත්මක නාමය - Psittacala calthropae

ඉංගී‍්‍රසි නාමය - Sri Lanka layards Parakeet

ගේ පිටුපස ඇඹරැල්ලා ගස පැත්තෙන් අමුතු සද්දයක් පැමිිණෙයි. එය තාලයකට කරන කෙටීමක් ලෙස ද තවත් විටෙක හෑරීමක් ලෙස ද නැගේ. ගහේ කඳ පුරා නෙත් යොමු කළත් කිසිවකුත් දකිනට ලැබුණේ නැත. ඇඹරැල්ලා ගෙඩි කන්නට ආ ගිරා රාංචුවේ ඝෝෂාව හැරෙන්නට නිහඬ ව ම අත්තක වසා සිටි කොණ්ඩ කුරුල්ලන් යුවළ පමණක් පෙනෙන්නට සිටියහ. එත් ඒ වෙනස් ශබ්දය ඇසෙන්නේ ගහ පැත්තෙන් බැවින් මම තරමක් විමසිලිමත් වීමි.

එකවරම ඇඹරැල්ලා ගසේ කදේ අනෙක් පැත්තෙන් කුඩා හිසක් මතුවිණි. බියෙන් සැකෙන් වටපිට බැලු ඌ නැවතත් කදේ අනෙක් පසට වන්නට සැඟ වී ගති. නැවත සුපුරුදු හෑරීමම ඇසෙන්නට විණි. පරිසරයේ වන අනේක විධ ඝෝෂා ඌට ගැටලුවක් වුයේ නැත. ඌ ඒවා හා සම්බන්ධ වුයේ ද නැත. සාමාන්‍ය ගිරවකුට වඩා මඳක් කුඩා ප්‍රමාණයේ මේ ගිරවා අනෙක් ගිරවුන් මෙන් දැකීම සුලබ නැත. ලංකාවට ආවේණික අලු ගිරවා දැක ගැනීමේ දුර්ලභ අවස්ථාව පැහැර හැරීමට නම් නොහැකිය. දුරේක්ෂයක් ද අතැතිව දීර්ඝ කාලයක් හෝ නිරීක්ෂණය කිරීමේ අදිටහින් මම ඌ දෙසම බලා සිටියෙමි. ඊට මඳක් උඩට වන්නට ඒ ප්‍රමාණයේම නමුත්, ළා කොළ පැහැති හිසක් සහිත කහ පැහැ හොටක් ඇති කුරුල්ලකු අත්තක වසා සිටියේය. අළු ගිරවාගේ පිරිමි සතාගේ හිස අළු පැහැති වන අතර ගැහැනු සතාගේ හිස ළා කොළ පැහැතිය. හොටත් කළු පැහැතිය. පිරිමි සතාගේ හොටය රතු පැහැතිය. පිරිමි අළු ගිරවා බෙනය සාදන තෙක් ඊට ඉහළ අත්තක හිඳ ගැහැනු සතා බලා සිටියි.

අළු ගිරවා අයත් වන්නේ සිට්ටසිඩේ හෙවත් ගිරා කුලයටය. අනෙක් ගිරවුන් හා සසඳන කල තරමක් කුඩාය. අඟල් 10 - 12 ක් අතර ප්‍රමාණයක් ගනී. අළු ගිරවාගේ ඇස වටා ප්‍රදේශය ළා කොළ පැහැතිය. ඇස යට සිට ගෙල දක්වා ප්‍රදේශය ළා කොළ පැහැතිය. පියාපත්වල උඩු කොටස ළා කොළ කහ මිශ්‍ර පැහැයක් ගනී. පිට මැද ප්‍රදේශය අළු පැහැයෙන් ආරම්භ වී නිල් පැහැයට හැරෙමින් පෙඳය දක්වා විහිදෙයි. පෙඳය තදනිල් මිශ්‍ර දිළිසෙන අලංකාරවත් පැහැයක් ගනී. පෙඳ පිහාටු කෙළවර කහපැහැ ගැන් වී ඇත. පාද අළු දුඹුරු මිශ්‍ර පැහැයක් ගනී.

සාමාන්‍යයෙන් ගිරවුන් ඝෝෂාකාරී ය. කලබලකාරී ය. එහෙත් අළු ගිරවා එයින් වෙනස් ස්වභාවයක් ගනී. වන ප්‍රදේශවල බහුලව දක්නට ලැබෙන මේ අළු ගිරවා වනයේ උඩු වියනේ සරනු දැකිය හැකිය. බොහෝ විට හත් අට දෙනෙකුගෙන් සමන්විත කුඩා රෑනක් වශයෙන් ජීවත්වනු දැකිය හැකිය.

අළු ගිරවාගේ අභිජනන සමය වසරකට දෙවරක් සිදුවෙයි. ජනවාරි මාසයේ අග කාලයේ පටන් අගෝස්තු මාසයේ අග කාලය අතර දෙවතාවක් පමණ අභිජනනය සිදු වෙයි. වරකට සෙන්ටිමිටර් 2 - 3ක් තරම් විශාල සුදු පැහැති බිත්තර 2ක් පමණ දමයි.

අළු ගිරවා ආහාර වශයෙන් ගැනීමට පි‍්‍රයකරන්නේ බොහෝවිට පලතුරු ය. ඊට අමතරව ඝණ පොත්ත සහිත ඇට වර්ග ද කෑමට පි‍්‍රයතාවක් දක්වයි. වනයේ ඉහළ වියනේ ගැවෙන ඵල සහ ඇට වර්ගවලට විශේෂ කැමැත්තක් දක්වයි.

අළු ගිරවා බොහෝ විට දක්නට ලැබෙන්නේ මධ්‍යම කඳුකරයේ සහ කඳුකරයට බටහිර බෑවුමේ පිහිටි තෙත් කලාපීය ප්‍රදේශවලට ය. වියළි කලාපයේ ජලාශි‍්‍රත ප්‍රදේශවල ද ඉඳහිට දක්නට ලැබේ.

ශ්‍රී ලංකාවට ආවේණික පක්ෂියකු බැවින් නිරන්තරයෙන් දැකගත හැකි පක්ෂියකු නොවේ. ශීඝ්‍ර ගහන ගණත්වයක් පෙන්වන පක්ෂියකු ද නොවේ. ඒ නිසාම අළු ගිරවා දැක ගැනීමේ නොතිත් ආශාව නිසාම ඌ බෙනය සැදු කාලය පුරාම මම ඌ නිරීක්ෂණය කළෙමි. වෙහෙස නොබලා ඇඹරුල්ලා කඳ හාරා බෙනයක් සාදාගත් අළු ගිරවා කිසිවකුටත් හිරිහැරයක් නොකර සාමාකාමීව ම පි‍්‍රයම්බිකාව සමඟ පදිංචියට ආවේය. කොට්ටෝරුවා අසීරුවෙන් තනන බෙනය පැහැර ගන්නා ගිරා මලිත්තා මෙන් නොව අළු ගිරවා කිසිවකුටත් තර්ජනයක් වුයේ නැත.

සුමුදු චතුරාණී ජයවර්ධන

ඡායාරූප - නිශ්ශංක විජේරත්න











from mihithuru

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();