ටෙස්ට් වරම් ලබා වසර 35 ක් ඉක්ම ගියද ඉන්දියාවේදී ටෙස්ට් තරගයක් ජයගත නොහැකි වීමේ සිත් වේදනාවෙන් පෙළෙන ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර ඉන්දීය සංචාරයේදී එය සැබෑ කරගැනීමේ අභිලාශයෙන් පසුවෙයි. එවන් අසීරු ඉලක්කයක් කරා යාමේ අරමුණු පෙරදැරිව සිටින ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියට මුල පුරන්නේ ඉන්දීය කණ්ඩායමේ ශක්තිය පිළිබඳව මනා තක්සේරුවකිනි.
කොල්කටාවේ ඊඞ්න් උද්‍යාන ක්‍රීඩාංගණයේදී (1996 ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් පූර්ව තරගය ක්‍රීඩා කළ ක්‍රීඩාංගණය) හෙට (16 වැනිදා) ආරම්භ වන පළමු ටෙස්ට් තරගයේදී ලැබෙන තණතීරුව තණකොළ බහුල එකක් යැයි වැඩිදෙනාගේ අපේක්ෂාවයි. එවන් තණතීරුවක වාසිය වේග පන්දු යවන්නන්ටය.
මෙම අපේක්ෂාවට හේතු බොහොමයක් තිබේ. ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉදිරියෙන්ම සිටින පන්දු යවන්නන් දෙදෙනා වන රංගන හේරත් (ටෙස්ට් කඩුලු 405) සහ ඩිල්රුවන් පෙරේරා (ටෙස්ට් කඩුලු 93) දෙදෙනාගේ දඟ පන්දු යැවීම නිෂ්ක්‍රිය කිරීම එකකි. ශ්‍රී ලංකා පිතිකරුවන් වේග පන්දු හමුවේ සිය පිත්ත විසිකිරීම දෙවැන්නයි.
ශ්‍රී ලංකා වේග පන්දු යවන්නන්ට වඩා ඉදිරියෙන් ඉන්දීය වේග පන්දු යවන්නන් සිටීමත්, ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන තරගාවලියෙන් අනතුරුව දකුණු අප්‍රිකාවේ සහ ඉන් අනතුරුව එංගලන්තයේත් තරගාවලි දෙකකට යාමට සිදුවන බැවින් තමන්ගේ පිතිකරුවන්ට වේගවත් තණතීරු මත හොඳ පුහුණුවක් දීමත් ඉන්දියාවේ අරමුණ වන බව අනතුරුව සිහියට නැඟෙන කාරණා වෙයි.
වසරකට ඉහතදී ඊඞ්න් උද්‍යාන ක්‍රීඩාංගණයේ තණතීරුව නැවත සකස් කළදා සිටම එය වේග පන්දු යවන්නන්ගේ පරාදීසයක් වී තිබිණ. ඇරත් එහි ඇත්තේ පිතිකරුවන් වික්ෂිප්ත කරවන තරමේ අක්‍රමවත් ඉපිළීමකි. පසුගිය වසරේදී මෙම ක්‍රීඩාංගණයේදී පැවැති ඉන්දු – නවසීලන්ත ටෙස්ට් තරගයේදී බිඳ වැටුණු කඩුලු 40 න් කඩුලු 26 ක්ම වේග පන්දු යවන්නන් සතු විය.
ඉකුත් දින දෙකේදීම පැවති වර්ෂාව හේතුවෙන් ක්‍රීඩාංගණය සම්පූර්ණයෙන්ම වසා තිබීමට සිදුවීම තත්ත්වය තවත් බරපතළ කරන්නකි. ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිහරඹ පුහුණුකරුවා වශයෙන් අලුතින් එක්වූ තිලාන් සමරවීර මහතාත් ඉන්දියාවට පැමිණි හැටියේම කිය සිටියේ ඉන්දීය වේග පන්දු යවන්නන්ගෙන් පරෙස්සම් වන ලෙසයි.
තත්ත්වය මෙසේ තිබියදී ඉන්දීය කණ්ඩායමේ සිටින වේග පන්දු යැවිය හැකි පිතිකරුවා වන හර්දික් පාණ්ඩ්‍යා විවේක ගැන්වීම ඉන්දීය මාධ්‍යයට පමණක් නොව කොල්කටා පිටියේ හිමිකරුවන් වන බෙංගාල ක්‍රිකට් සංගමයේ සභාපති, ඉන්දීය පිලේ හිටපු නායක සව්රව් ගංගුලි මහතාටත් මහත් ප්‍රශ්නයක් වී තිබේ.
“ඉන්දියාව මේ තරගයට එන්නේ දඟ පන්දු යවන්නන් එක්ක නෙමෙයි. ස්ථිර වශයෙන්ම ඊඞ්න් උද්‍යානයේදී නම් නෙමේ. මොකද මෙතැන තණතීරුව හුඟාක් වෙනස්”
“ඒගොල්ලන් (ඉන්දියාව) දඟ පන්දු යවන්නන් දෙදෙනෙක් එක්ක තරග කරාවි. ඒත් හර්දික් පාණ්ඩ්‍යා කණ්ඩායමේ නැති නිසා තුන් ඉරියව් ක්‍රීඩකයා සම්බන්ධයෙන් ඔවුන්ට වෙනත් විකල්පයක් තියෙන්න පුළුවන්” යයිද සව්රව් ගංගුලි මහතා කියා තිබිණ.
නවසීලන්තයට එරෙහිව පැවැති තරගයේදී ඉන්දීය පිලට ක්‍රීඩා කළේ පිතිකරුවන් හය දෙනකු පමණි. එවන් තත්ත්වයකදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගයට කෙසේ අවතීර්ණ වන්නේද යන්න වඩාත් විමසිලිමත් වීම වටී. හොඳින් පන්දුවට පහර දිය හැකි මඳ වේග පන්දු යවන්නකු වන දසුන් ශානක සංචිතයේ සිටීම ශ්‍රී ලංකා පිල සතු අතිරේක වාසියකි.
ඉන්දියාවට ගිය දිනයේ පටන් ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල්ගේ මන්තරය වන්නේ “ඉන්දියාවේදී ටෙස්ට් තරගයක් දිනන්න ඕනා” යන්නයි.
“අපි පාකිස්තානයත් එක්ක තිබ්බ තරගාවලිය හොඳින් අවසන් කළා. කොල්ලෝ ටික ඉන්නේ ඉතාමත් හොඳ තත්ත්වයක” යයි කී චන්දිමාල්….
“ඉන්දියාව නොම්මර එකේ කණ්ඩායම කියලා අපි දන්නවා. ඒගොල්ලන් හොඳින් ක්‍රීඩා කරනවා අපි දැකලත් තියෙනවා. ඒත් මේක හොඳ අභියෝගාත්මක තරගාවලියක් වේවි….”
“අපි ඉන්දියාවේදී ටෙස්ට් තරගයක් දිනලා නෑ. මේපාර අපේ සිහිනය එයය. ඒ නිසා අපට හොඳ ආරම්භයක් ලබාගන්න වෙනවා” යයිද පැවසීය.
ශ්‍රී ලංකා කණ්ඩායමේ බලාපොරොත්තු රැඳවී ඇත්තේ ඇන්ජලෝ මැතිව්ස් කෙරෙහිය. පාදයේ බත්කෙණ්ඩ මස්පිඬුව ආබාධයකට ලක්වීම හේතුවෙන් පාකිස්තානු තරගාවලියට සහභාගි නොවූ මැතිව්ස් පිතිකරු ලයිස්තුවේ අංක 4 ස්ථානය තෝරා ගෙන තිබේ. මැතිව්ස් පන්දු නොයවන හෙයින් ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවන් සහ පන්දු යවන්නන් අතර අනුපාතය 6-1-4 ක් වේද නැතහොත් 7-4 ක් වේවිද යන්න අනාවැකි කිව නොහැකිය.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මේ දක්වා පැවැති ටෙස්ට් තරග සංඛ්‍යාව 41 කි. ඒවායින් තරග 19 ක් ඉන්දියාව ජයගෙන ඇති අතර තරග 7 ක ජය ශ්‍රී ලංකාව අත්කරගෙන තිබේ. එහෙත් ශී්්ර ලංකා කණ්ඩායම මෙම ජයග්‍රහණ හතම ලබා ඇත්තේ ශ්‍රී ලංකාවේදීය. ඉන්දියාවේදී පැවැති ටෙස්ට් තරග සංඛ්‍යාව 17 කි. ඒවායින් තරග 10 ක් ඉන්දියාව ජයගෙන තිබෙන අතර ඉතිරි තරග 7 ම ජය පරාජයෙන් තොරව නිමා වී ඇත.
දෙරටේ අවසන් ටෙස්ට් තරගාවලි පහ සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේදී ඉන්දියාව ටෙස්ට් තරග 19 කින් තරග 13 ක් ජයගෙන 4 ක් පරාජය වී තිබේ. ශ්‍රී ලංකාව අවසන් තරගාවලි පහේදී තරග 11 කින් ජයගෙන ඇත්තේ තරග 4 ක් පමණි. තරග 7 ක් පරාජය වී තිබේ.
ලෝකයේ අංක 1 හිමි ටෙස්ට් කණ්ඩායම වන ඉන්දියාවට ශ්‍රී ලංකාව හමුවේ කිසියම් ප්‍රසාද ලකුණක් එකතුකර ගැනීමට නම් ටෙස්ට් තරගාවලිය 3-0 කින් ජයගත යුතුව තිබේ. එය කිසිසේත්ම හොඳ ආරංචියක් නම් නොවේ. මක්නිසාද යත් මේ වන විට ශ්‍රේණිගත ලයිස්තුවේ අංක 1 ස්ථානය හිමිකරගෙන සිටියද ලැබෙන සෑම අවස්ථාවක්ම ප්‍රයෝජනයට ගනිමින් ප්‍රසාද ලකුණු 125 ට තවත් කීයක් හෝ එකතු කරගැනීම ඉන්දියානුවන්ගේ පමණක් නොව ලොව ඕනෑම කණ්ඩායමක බලාපොරොත්තුව වන බැවිනි.
මේ වන විට ශ්‍රී ලංකාව සතු ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 94 කි. තරගය හෙට (16 වැනිදා) පෙරවරු 9.30 ට ආරම්භ වීමට නියමිතය.
ශ්‍රී ලංකා සංචිතය
දිනේෂ් චන්දිමාල් (නායක), දිමුත් කරුණාරත්න, සධීර සමරවික්‍රම, ළහිරු තිරිමාන්න, නිරෝෂන් දික්වැල්ල, ඩිල්රුවන් පෙරේරා, රංගන හේරත්, සුරංග ලක්මාල්, ළහිරු ගමගේ, ධනංජය ද සිල්වා, ඇන්ජලෝ මැතිව්ස්, ලක්ෂාන් සඳකැන්, විශ්ව ප්‍රනාන්දු, දසුන් ශානක සහ රොෂේන් සිල්වා
ඉන්දීය සංචිතය
විරාට් කෝලි (නායක), ලෝකේෂ් රාහුල්, මුරලි විජේ, ෂිකාර් ධවාන්, චෙටේස්වාර් පුජාරා, අජින්ක්‍යා රහනේ, රෝහිත් ෂර්මා, රිදිමන් සහා, රවිචන්ද්‍රන් අශ්වින්, රවීන්ද්‍ර ජදේජා, කුල්දිප් යාදව්, මොහොමඞ් ෂාමි, උමේෂ් යාදව්, බුවනේෂ්වර් කුමාර් සහ ඉෂාන්ත් ෂර්මා
from Gossip Lanka News & Video http://ift.tt/2mxzUJm
via internet
0 Comments