Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ශ්‍රේෂ්ඨ නායකයෙක් ඉදිරියේ හයියෙන් කෑ ගහන්න හොඳ නෑනෙ එකයි කුටු කුටු ගාන්නේ – රන්ජන් රාමනායක

දිවුලපිටිය සංවිධායක කමින් ඔබ ඉවත් කරන බව කලින්ම දැන සිටියා නේද?

එහෙම දැනුවත් කමක් තිබුණේ නැහැ; ඉවත් කළාට පසුවයි දැනගත්තේ.

ඒ කියන්නේ දේශපාලඥයකු හැටියට ඔබ එතරම් උපායශීලී නැහැ?

මගේ උපායශීලිත්වය තිබෙන්නේ දේශපාලනයෙන් ජනතාවට සේවය කිරීමට මිස තනතුරු රැක ගැනීමට නොවේ.

ජනතාවට සේවය කරන්නත් තනතුරක් තිබිය යුතුයි නේද?

මා දේශපාලනමය වශයෙන් තනතුරක් නැති කාලෙත් ජනතා සේවයට උපරිමයෙන් කැපවුණු කෙනෙක්. විදේශ සේවයේ යෙදෙන ශ්‍රී ලාංකීය කාන්තා ඛෙදවාචකය හඳුනාගෙන එය පිටුදැකීම සඳහා උපරිම ලෙස මම කැපවුණේ දේශපාලන බලයක් අතේ තබාගෙන නොවේ. ඒ බලය තවමත් මා සතුයි.

ඔබට මේ තනතුරු අහිමිවීම දේශපාලනමය කැපිල්ලක් ලු නේද?

පවුල් බලයක් ,ධන බෙලයක්, මැරබලයක් ආදී කිසිවක් නැතිව රන්ජන් රාමනායක චරිතය අද මේ තත්ත්වයට ඇවිත් තිබෙන්නෙත් ඔය කියන දාහකුත් එකක් කැපිලි කෙටිලි මැදයි. ඒ නිසා ඇතැම් අය කියන හෝඩුවාවල් පසුපස ලුහුබඳින්න මං සූදානම් නෑ.

ඔබ ජනතාවට සිදුවන අසාධාරණය ගැන සෘජුව හඬ නගන්නෙක්, විශේෂයෙන් පසුගිය කාලයේ අපේ රටේ පරිසර සංහාරය පිළිබඳව ඔබ ප්‍රසිද්ධියේම හඬ නැඟුවා, ඔබේ ඒ ක්‍රියාව සහ මේ තනතුර අහිමිවීම අතර කුමක් හෝ සම්බන්ධයක් තිබිය නොහැකිද?

මගේ ඒ ක්‍රියාවලිය ජනාධිපතිතුමාගේ පවා පැසසුමට ලක් වුණා. නමුත් මා දිවුලපිටිය සංවිධායක කමින් ඉවත් කිරීම ගැන කුමන්ත්‍රණයක්, කැපිල්ලක් වගේ වචන පාවිච්චි කරන්න මම කැමති නැහැ. මේක පක්‍ෂ නායකත්වය ගත් තීරණයක්. මා ඒ තීරණය හිසනමා පිළිගන්නවා.

පක්‍ෂය ඔබ ආසන සංවිධායක කමින් ඉවත් කිරීමට හේතු දක්වා තිබෙනවා ද?

එවැනි දේකට නිශ්චිත හේතුවක් අවශ්‍ය නැහැ. ඒක පක්‍ෂයේ නායකත්වය ගත් තීරණයක්.

දිවුලපිටිය ආසන සංවිධායක කමින් ඉවත්කිරීම ගැන ඔබ ඉන්නේ කලකිරීමකින්ද?

නැහැ; කිසිසේත්ම නැහැ.

ඒකට හේතුව මොකක්ද?

මම දේශපාලනයට ආවේ රජ පවුලකට සේවය කිරීමකටවත්, තවත් ප්‍රභූන්ට ගැතිකම් කිරීමටවත්, දේශපාලනය මුවාවෙන් සිදුකෙරෙන හොර, මැර, වංචා වලට ආවැඩීමටවත්, වෙනකාටවත් කඩේ යාමටවත් නොවේ. මුළු හදවතින්ම මගේ උපරිම කැපවීමෙන් ජනතාවට සේවයක් කිරීමටයි. එතැනදී ආසන සංවිධායක කම කෙසේ වෙතත් නියෝජ්‍ය ඇමති කම හෝ පාරිලිමේන්තු මන්ත්‍රීකම අහිමි වුණත් ‘රන්ජන් රාමනායක කම’ මා සතුව තියෙන තුරු ඒ ශක්තිය, ධෛර්ය මට තියෙනවා.

ඔබ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති තුමා හමුවේ ‘කුටු කුටු’ ගානවා කියා සමහරු කියනවා ඇයි ඒ?

ඒ වගේ ශ්‍රේෂ්ඨ නායකයෙක් ඉදිරියේ හයියෙන් කෑ ගහන්න හොඳ නෑනෙ; ඒකයි.

ඔබ ජනාධිපතිවරයා හමුවේ එජාපය විවේචනය කරන බවත් සමහරු කියනවා.

රන්ජන් රාමනායකට ‘කුටු කුටු’ ගාමින් එජාපය විවේචනය කරන්න ඕනෑ නැහැ. ආණ්ඩුවේ හිටියත්, විපක්ෂයේ හිටියත්, හොරා හොරා මයි කියා මා පසුගිය කාලයේ මාධ්‍ය මඟින් මහ හඬ දී කියා තිබෙනවා. බැඳුම්කර සිද්ධිය ප්‍රසිද්ධියේම විවේචනය කොට තිබෙනවා. ඉතින් මොකටද මං ‘කුටු කුටු’ ගාන්නෙ. ඕවා නිකන් බොරු ජෝක් කතා නෙ.

මෛත්‍රීපාල සිරිසේන මහතා ඔබට ශ්‍රීලනිපයට පැමිණෙන ලෙස රහසින් ඇරයුම් කළා ද?

ඒවැන්නක් ඔබ දැනසිටියාට; මා තබා එතුමාවත් එවැන්නක් තවම දන්නේ නැහැ.

ඔබ එජාපයේ දිවුලපිටිය සංවිධායක කමකින් ඉවත් කිරීම ඔබේ දේශපාලන පසුබැස්මක් නේද?

කිසිසේත්ම නැහැ.

ඔබ එසේ කියන්නේ ඇයි?

මම ජනතාව අතරට පැමිණියේ කලා කාරයෙක් හැටියටයි. ඊට අමතරව දැන් දේශපාලන භූමිකාවකත් නියැලී සිටිනවා. ඒ අනුව මගේ දේශපාලන හාම්පුතුන් සහ මුර දේවතාවුන් මහජනතාව යැයි කියන ස්ථාවරය මං කවදාවත් වෙනස් කරන්නේ නැහැ. මහජනතාවගේ සකලවිධ මනාපයන් නොලැබුණා නම් අද ඔබ මේ කතා කරන අන්දමේ රන්ජන් රාමනායක කෙනෙක් නැහැ.

ඒ කියන්නේ ඔබ කාගෙවත් දේශපාලන ගැත්තෙක් නෙවෙයි?

පසුගිය මහින්ද රාජපක්ෂ රජය තුළ ඒ පවුලට යටත් දේශපාලන ගැත්තන් බිහිවුණා. දේශපාලන නිලතල නොතකා ඒ පවුලේ ඇත්තන්ගේ යටත් වැසියන් බවට පත්වීමට සාමාන්‍ය ජනතාවට වගේම දේශපාලඥයන්ටත් සිදුවුණා. නමුත් අද මේ එළැඹි ඇත්තේ ඊට ඉඳුරාම වෙනස් ප්‍රජාතන්ත්‍රීය නව යුගයක්.

මා ඉතා පැහැදිළිවම කියනවා ජනාධිපතිතුමාත්, අගමැතිතුමාත් පවුල් වාදය, රදළ වාදය මුළුමනින් බැහැර කළ නවීන දේශපාලන මතිමතාන්තර වලින් යුත් අදට වගේම හෙටටත් ගැලපෙන නායකයන් දෙදෙනෙක් කියා.

එතකොට ඔබේ දේශපාලන හෙට දවස?

අනේ සමාවෙන්න මට සාස්තර කීමේ හැකියාවක් නම් නැහැ. අනෙක මම දේවාල, සාස්තර පසුපස දුවන්නෙත් නැහැ. ඒ වගේම අර ‘සුමනෙ’ වගේ කෙනෙක්ගෙන් සාස්තර ඇහුවොත් අර තියෙන ‘මොකක්ද එකත්’ ඇහිරෙනවනේ. මතක නැද්ද පහුගිය කාලේ සිද්ධවෙච්ච දේවල්.

The post ශ්‍රේෂ්ඨ නායකයෙක් ඉදිරියේ හයියෙන් කෑ ගහන්න හොඳ නෑනෙ එකයි කුටු කුටු ගාන්නේ – රන්ජන් රාමනායක appeared first on Gossip King.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();