දරුවෝ 20 යි මුණුපුරු මිණිපිරියන් 151 යි
රටක් වටිනා රොසලින් අම්මාට වයස අවුරුදු 77 යි
දරුවන් විසිදෙනකු මෙලොවට බිහි කර, දරු මුණුපුරු, මිණිපිරියන් එකසිය පනස් එක්‌දෙනකුගේ මිත්තණියක් ගැන පසුගිය දිනක අසන්නට ලැබිණි. එවැනි කතාවක් කනවැකීම ද වාසනාවකි. මන්ද රූප සොබාව වියෑකී යාදෝ බියෙන් දරුවන් හැදීම ප්‍රමාද කරන කාන්තාවන් සිටින සමාජයක, ආර්ථික දුබලතාවලට ඇති බිය නිසා දරුවන් දෙදෙනකුට සීමා කරන පවුල් පසුබිමක් ඇති රටක මෙවැනි මවුවරු ජාතියට ආදර්ශයකි. ඒ උතුම් මාතාව සමඟ කතාබහ කිරීමට ලැබීම ද ආඩම්බරයකි. එහෙයින් පසුගිය දිනක අපි මේ ආඩම්බරකාර අම්මා සොයාගෙන කටුපොතට ගියෙමු.
ගලේවෙල බඹරගස්‌වැව, කටුපොත මඟෙහි දුෂ්කර ගමනකින් පසු පුංචි නිවසක් අසල අපි නතර වීමු. ආලින්දයේ කුඩා පුටුවක් මත පියකරු සිනාවකින් මුව සරසාගෙන සිටින පසන් පෙනුමැති මවක් දුටිමු. ඇය සමඟ අතීතයට යැමට මගේ සිත නොඉවසිලිමත්ය. එහෙත් කාලයට ඉඩදී වචනයෙන් ද අපි ඇයට සමීප වීමු. ඇය හස්‌තිමුනි ආරච්චිලාගේ රොසලින් නෝනාය. දැන් ඇයට වයස අවුරුදු හැත්තෑ හතකි. එහෙත් තවමත් ඇය ස්‌වයංව තම කටයුතු කරගැනීමට ශක්‌තිමත්ය. එපමණක් නොව රෝද පුටුවකට සීමා වී සිටින තම සැමියාගේ වැඩකටයුතු බලා කියාගෙන කරගන්නේ ද රොසලින් අම්මාය. මනා පෞරුෂයකින් යුත් රොසලින් අම්මා කෙටි දැනහැඳින ගැනීමකින් පසු අප ආනන්දයේ හොබවමින් ජීවිතය පිළිබඳ අසිරිමත් මතකය ආවර්ජනය කරන්නට විය. මේ ඇය අපට කියන කතාවය.
"මම උපන්නේ පොල්ගහවෙල, අඹුවන්ගල. ඒ 1940 මැයි 01 වැනිදා. මගේ තාත්තා එච්. ඒ. අන්දිරිස් සිල්වා. අම්මා එව්ජින් රාජපක්‍ෂ. මට සහෝදර, සහෝදරියන් හයයි. පිරිමි තුනයි. ගැහැනු හතරයි. මම පවුලේ දෙවැනියා. අපේ තාත්තා රජයේ වත්තක කොන්දොස්‌තරවරයෙක්. අම්මා අපව බලාගෙන ගෙදර උන්නා. අපේ පුංචි කාලේ හරිම ලස්‌සනයි. කැලෑවට රිංගලා පලතුරු ගෙඩියක් කඩාගෙන කෑවට, දියට පැනලා පැය ගණන් නෑවට අම්මා අපිට තහංචි දැම්මේ නෑ. දැන් හැදෙන දරුවන්ට එහෙම ළමාවියක් ගැන හිතාගන්නවත් බෑ. ඒත් අද වගේ ඒ කාලේ අධ්‍යාපනයට නම් වැඩි උනන්දුවක් තිබුණේ නෑ. මම ඉස්‌කෝලේ ගියේ නවය පන්තියට විතරයි. යන්තම් අවුරුදු පහළොව සම්පූර්ණ වෙනකොට ගෙදරින් මංගල යෝජනාවක් ගෙනවා. ඒත් අවුරුදු පහළොවෙන් කසාද බඳින්න බැරි නිසා අවුරුදු දාහතක් දාලා තමයි විවාහ වුණේ. ඒ දවස මට අද වගේ මතකයි. 1956 අවුරුද්දේ දෙසැම්බර් 13 වැනිදා. මගේ සැමියා වුණේ ජී. ජිනදාස. වතු මුරකරුවෙක්. කසාද බැන්දට පස්‌සේ තාත්තා මට අරගෙන දුන්න කටුපොත ඉඩමේ ගේ කෑල්ලක් හදාගෙන අපි පදිංචියට ගියා..."
am"අවුරුද්දක් විතර යනකොට අපේ දුප්පත් පැළට කිරි සුවඳ අරගෙන ආවේ චූටි දුවක්. එයාට අපි කුසුමාවතී කියලා නම් තිබ්බා. ඔය විදිහට අවුරුදු දෙකෙන්, දෙකට දරුවො හම්බ වුණා. දවසින්, දවස ගෙදර අගහිඟකනුත් වැඩි වුණා. ඒ කාලේ මගේ මහත්තයට වත්තෙන් ලැබුණු පඩිය දවසකට රුපියල් 2.15 යි. සතියටම රුපියල් 8 යි. මුලදි සතියට ජීවත් වෙන්න ඒ මුදල ප්‍රමාණවත් වුණා. ඒත් පවුල ලොකු වෙනකොට වත්තෙන් ලැබෙන පඩිය මදි වුණා. දරුවෝ ජීවත් කරවන්න අපි හුඟක් මහන්සි වුණා. අන්තිමේ මහත්තයා වැඩ කරපු වත්ත පෞද්ගලික අංශයට විකුණුවට පස්‌සේ මහත්තයට රස්‌සාවත් නැති වුණා. දරු පවුල ජීවත් කරවන්න මහත්තයා කුලී වැඩ කළා. පොල්වතුවල පොල් කඩන්නත් ගියා. වත්තේ පිටියේ අල, බතල, එළවළු, පළා වර්ග වගා කළා. මමත් ඒ දේවල්වලට පුළු, පුළුවන් විදිහට උදව් කළා. අපි වැඩිපුර කෑවේ බීවේ කොස්, පොළොස්, දෙල්, කුරක්‌කන්, අල බතල, මුං, ලංසි වගේ ආහාර. විච්චූරණ කෑම ජාති කන්න අපිට සල්ලි තිබුණේ නෑ. මගේ ජීවිතයේ වැඩි කාලයක් ගත වුණේ දරුවන් බලාගන්න. ඒත් අපේ පැළට එන කිසිම දරුවෙක් අපිට වැඩි වුණේ නෑ. පුළුවන් විදිහට කන්න, බොන්න දීලා උස්‌මහත් කළා. පුතාලා දහතුනයි, දුවලා හතකින් අපේ පවුල විශාල වුණා. ඒත් දැනට ජීවතුන් අතර ඉන්නේ පුතාලා නවයයි. දුවලා හයයි. හතරදෙනෙක් පුංචි කාලේ එක, එක ලෙඩවලින් නැති වුණා. මගේ දරුවන්ගෙන් වැඩි පිරිසක් හම්බ වුණේ ගෙදරදි. ඒත් විසිවෙනි පුතාව හම්බ වෙන්න මාතලේa ඉස්‌පිරිතාලේට ගිහාම වෛද්‍යවරු කිව්වා දැන් අම්මා බාබාලා හැදුවා ඇති කියලා. මගේ මහත්තයා 'බෑ... බෑ... තව ළමයි හතරදෙනෙක් හදන්න ඕනා' කියලා වෛද්‍යවරුන්ට කිව්වා. ඒත් ඒක මගේ සෞඛ්‍ය තත්ත්වයට හොඳ නෑ කියලා වෛද්‍යවරු පැහැදිලි කරලා දුන්නට පස්‌සේ මහත්තයා මට සැත්කම කරන්න කැමැති වුණා. ඊට පස්‌සේ ඉස්‌පිරිතාලෙකට ගියේ මහත්තයා වැටිලා ඇට බිඳුණු වෙලාවේ..." ගලා ගිය කතාව නතර විණි. අප දෙසට හැරී තිබූ රොසලින් අම්මාගේ දෙනෙත් රෝද පුටුව මත සිටින වියපත් මිනිසා දෙසට නැවිණි. රොසලින් අම්මාට හැඬිණි. ඇයගේ කඳුළු දැක රෝද පුටුවේ සිටි ජිනදාස තිගැස්‌සිණි.
am3'ඔය අඬන්නේ මම මේ රෝද පුටුවේ ඉන්න නිසා නේ... ඔහොම තමයි වයසට යනකොට... කාටවත් හැමදාම ජීවත් වෙන්න පුළුවන් එකක්‌යෑ...'ඒ දිරිය මාතාවගේ දෑස්‌වලින් කඳුළු දැකීමට අකැමැති ඇයගේ සැමියා ජීවිතයේ යථාර්ථය අවබෝධ කළේ සිහින් සිනා රැල්ලක් ද මුවට ළං කරගෙනය.
"අපි කසාද බැන්ද දවසේ ඉඳලා මේ වෙනකම් රණ්‌ඩු සරුවල් ඇති කරගෙන නෑ. හිත් අමනාපයක් වුණත් ඒ මොහොතට විතරයි. ජීවිතේ හොඳටම දුක්‌වින්දා. ඒත් අද ඒ දුක අපිට සතුටක්. මතු ආත්මයකදීත් මම ප්‍රාර්ථනා කරන්නේ රොසලින් මගේම බිරිඳ වෙන්න කියලයි..." සෙනෙහෙබර සැමියාගේ හැඟීම්බර වදන්වලට රොසලින් අම්මාගේ කඳුළු වියළුණු දෙනෙත් නැවතත් රතු විය.
ජිනදාස තාත්තාට වයස අවුරුදු අසූහතකි. ඔහු රෝද පුටුවකට සින්න වී තිබෙන්නේ වයසට නොව, නොසිතූ මොහොතක සිදු වූ අනතුරක් නිසාය. එනම් ගසක බැඳ සිටි ගවයෙක් බඩගින්නේ ඉන්නවා දැක ඌව ලිහා තණ ඇති තැනක බඳින්නට ගිය මොහොතේ ලණුවේ පැටලී වැටීමෙන් සිදු වූ අනතුර නිසාය.
'මම දන්න කාලේ ඉඳලා මෙයා සත්තුන්ට පුදුම ආදරයක් තියෙන්නේ... මදුරුවෙක් මැරුවත් ඒ වැරැදීමකින්...' දිගු හුස්‌මක් හැර පියා නැවතත් රොසලින් අම්මා කතා නායිකාව වූවාය.
"මේ දරුවෝ ටික හදාගන්න ගත්ත වීරිය දන්නේ අපි දෙන්නයි, උඩ ඉන්න දෙවියොයි විතරයි. ඒ කාලේ හාල්මැස්‌සන් ගොට්‌ට රුපියල් 10 යි. කෑම බීමවල මිල අඩුයි. කිරල නෙමෙයි දුන්නේ. ඒත් අපේ පවුලට එක වේලක් කන්න අඩුමකුඩුම ගොඩක් ගන්න වුණා. කරදඬු උස් වෙන කොල්ලො නවදෙනකුට කෑම චුට්‌ටක් දීලා මදි. හොඳට කන්න, බොන්න දෙන්න ඕනෑ. ඒත් අපි දරුවන්ව බඩගින්නේ තිබ්බේ නෑ. මොනවහරි රත් කරලා බඩ ගෙඩි පිරෙව්වා. අපේ පුංචි කාලේ වගේම, අපිත් දරුවන්ට නිදහසේ දුවලා පැනලා සෙල්ලම් කරන්න ඉඩ දුන්නා. නියම කාලේට ගමේ ඉස්‌කෝලෙට යෑව්වා. හොඳ නරක කියා දුන්නා. අද වෙනතුරු මගේ කිසිම දරුවෙක් වරදක් කරලා පොලිසියකට, උසාවියකට ගිහිල්ලා නෑ. මගේ දරුවෝ දෙන්නෙක් රජයේ රැකියා කරනවා. අනිත් අයත් සමාජයේ යහපත් පුරවැසියන් විදිහට ජීවත් වෙනවා. දැන් අපේ පවුල විහිදිලා ගිහිල්ලා දරු මුණුqපුරු, මිණිපිරියෝ එකසිය පනස් එකක් ඉන්නවා. ළඟදී තව දෙන්නෙක් ලැබෙන්නත් ඉන්නවා. රටේ හැම පළාතකම අපේ දරු මුණුපුරු, මිණිපිරියෝ පදිංචි වෙලා ඉන්නවා. ඒ දරුවො මොන දීපංකරේ හිටියත් අවුරුද්දට අපි දෙන්නට තෑගි බෝග ගෙනත් අපිත් එක්‌ක සතුටු වෙලා යනවා. ඒ සතුට තමයි අපිව තවමත් ජීවත් කරවන්නේ. මේ මෑතක දවසක කොළඹ බණ්‌ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවට එන්න කියලා අපි දෙන්නව අගය කරලා තෑගි බෝග සහතිකපත් දුන්නා..." රොසලින් අම්මා සුසුමක් පිට කර හද සැහැල්ලු කර ගනිමින්, අප වෙතට මඳහසක් පෑවාය. මවුපිය දෙපළගේ කතාවට සවන් දී සිටි පවුලේ දහතුන්වැනි දියණිය කරුණාවතී ද වචන කිහිපයක් අප සමඟ කතා කළාය.
"අම්මයි, තාත්තායි ජීවත් වෙන්නේ මහගෙදර මා ළඟ. අපේ සහෝදර, සහෝදරියෝ හැමකෙනෙක්‌ම පුළුවන් හැම වෙලාවකම ඇවිත් අම්මයි, තාත්තවයි බලලා යනවා. හැකි පමණින් සලකනවා. ඒ අපේ දෙමවුපියෝ අපිට පුරුදු, පුහුණු කළ දේවල්. අම්මයි, තාත්තායි හැම වේලාවේම අපිට කිව්වේ අනුන්ගේ දේවල් කඩා වඩාගන්න යන්න එපා... ලැබෙන දෙයින් සතුටු වෙන්න කියලයි. අද අපි සියලු දෙනා ඒ සතුට අත්විඳිනවා..."
ඇය පිළිසඳර නිමා කරන්නීය. රොසලින් අම්මාගේ මුහුණ දැනුදු ආඩම්බරයෙන් පිරෙනවා මම දුටිමි. මවුපියන්ට මේ ලෝකයේ උතුම්ම වස්‌තුව දරු සම්පතයි. එක් දරුවකු නොව දරුවන් විසිදෙනකු මෙලොවට බිහි කර ඇති ඒ අම්මාගේ සතුට ගැන කතා ඇවැසි නැත. වයස අවුරුදු අසූවකට ආසන්න වී සිටින රොසලින් අම්මා නිරෝගිමත් පෘෂ්ටිමත් දේහයකින් යුක්‌තව සැපවත් ජීවිතයක් ගතකරන්නේ ඇය ප්‍රීති ප්‍රමෝදයෙන් ජීවත් වන නිසාය. අපේ පරම්පරාවේදී අපට හමුනොවන මේ සොඳුරු මාතාව ජීවිතය කියා දෙමින් හිඳිනු දැනේ. එහෙත් අපේ මිනිසුන් ඒ ජීවිතයෙන් අංශුමාත්‍රයක තරම්වත් දෙයක් ගනීද කියා උපදින්නේ සැකයකි. වඳවී යන සිංහල ජාතියට රොසලින් අම්මා සහ ජිනදාස තාත්තා පාඩමක් නොව පාඨමාලාවකි. ඒ බව මතක් කරමින්, රටක් වටින මේ මවුපිය දෙපළට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කර සෙනෙහස පිරුණු ඒ පුංචි කැදැල්ලෙන් අපි සමුගත්තෙමු.
තරංග රත්නවීර
0 Comments