Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ප්‍රජා අයිතිය අහෝසි කරලා, මන්ත්‍රී ධුර අහිමි කරලා අපේ ගමන නවත්වන්න ගෝඨාභයට බැහැ.

විශාල බලාපොරොත්තු තියාගෙන මේ ආණ්ඩුව ගොඩනැගූ ජනතාව වෙනුවට ආණ්ඩුවේ සමීපතමයින් කොටසක් ජයග්‍රහණය කරා ගෙනයමින් තිබෙනවා. ඒ අතර පරිසරය විනාශයට එරෙහිව, ජාතික සම්පත් විකිණීමට එරෙහිව, ආර්ථික පීඩනයට එරෙහිව ජනතාව නැගීසිටීමට පටන්ගෙන තිබෙනවා. මේ නැගී සිටින ජනතාව මර්දනය කිරීමට ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව ගෙනයන මර්දනයේ මාර්ග සිතියම පරාජයට පත්කිරීම වෙනුවෙන්, ප්‍රජාතන්ත්‍රවාදය දිනා ගැනීම වෙනුවෙන් අරගලයක් ආරම්භ කළ යුතුව තිබෙනවා. ඒ වෙනුවෙන් ජනතාව දැනුවත් කරන්න සම්මන්ත්‍රණ මාලාවක් අපි ආරම්භ කරනවා.

 

රජයේ වැදගත් ආයතන හා බල මධ්‍යස්ථානවලට මිලිටරි පාලනයක් යොදමින් ඉදිරියට යන්න උත්සාහ කරනවා. මේ සියලු තත්වයන්ට එරෙහිව ජනතාව නැගීසිටීම වළක්වන්න බැරි බව ගෝඨාභය රාජපක්ෂ නොදැනගත්තත් මහින්ද රාජපක්ෂ දන්නවා. ඒ නිසා ඔවුන් කල්තියාම මර්දනය දියත් කිරීමට සූදානම් වෙනවා. ගෝඨාභය රාජපක්ෂට අපි මතක් කරන්න ඕනෑ, කුඩා කෙනිත්තිලිවලින් ජනතා විමුක්ති පෙරමුණ නතර කරන්න බැහැ. අපි මහජනතාවගේ ධනය සතයක්වත් නාස්ති කළා කියලා නඩුදාන්න ගෝඨාභයට පුළුවන්ද? අපි කවර හෝ පන්නයක අපරාධයක් කළා කියලා නඩුදාන්න ගෝඨාභයට පුළුවන්ද? ඒ නිසා තමයි ගෝඨාභය රාජපක්ෂත් විශේෂයෙන් බැසිල් රාජපක්ෂත් දැන් මේ විදියට ක්‍රියාකරන්නේ. මීට අවුරුද්දකට විතර කලින් ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ නායකයන්ගේ රැස්වීමදී බැසිල් රාජපක්ෂ විශේෂ ප්‍රකාශයක් කර තිබෙනවා. “අධිකරණ ක්‍රියාවලිය හරහා මේ අයව කොටුකර ගන්න දරන ප්‍රයත්නය නිෂ්ඵලයි. ඒනිසා අධිකරණයෙන් එළියේ ක්‍රියාදාමයක් ආරම්භ කරන්න ඕනෑ” කියලා. අධිකරණයක් තුළ අපිව කොටුකර ගැනීම සඳහා කුමන ප්‍රයත්න දැරුවත් නොහැකි බව ඔවුන් දන්නවා. ඒ නිසා අධිකරණ ක්‍රියාවලියෙන් එළියේ අපිව කොටුකරන රාමුවක් නිර්මාණය කරන්න උත්සාහ කරනවා. දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාව ඒ රාමුවේ එකක්. ශ්‍රේෂ්ඨාධිකරණයේ හිටපු විනිසුරුවරයෙක් වන උපාලි අබේරත්න මහතා මේ කොමිසමේ සභාපති. වික්ටර් අයිවන් මහත්මයාගේ ‘නොනිමි අරගලය’ කියන ග්‍රන්ථයෙන් විශාල ප්‍රමාණයක් ඔහු ගැන ලියැවිලා තිබෙන අතර, වාක්‍ය ඛණ්ඩ දෙකක් පමණක් මම උපුටා දක්වන්නම්. “දිසා විනිසුරු උපාලි අබේරත්නට එරෙහිව එල්ලවී තිබුණු චෝදනා පරීක්ෂා කිරීමට පත්කරන ලද ත්‍රිපුද්ගල කමිටුව” ඉදිරියේ ජයසේකර නැමැති මහත්මයෙකුගේ පැමිණිල්ලක් විභාග කරන්න අධිකරණ සේවා කොමිෂන් සභාවෙන් නියම කරනවා. මේ ජයසේකර මහත්මයාගේ බිරිඳ, පසුව අතිනත ගත්තේ සරත් එන්. සිල්වා සමගයි. අපේ රටේ අධිකරණ පද්ධතිය කෙරෙහි ජනතාවගේ විශ්වාසයක් තිබුණා නම්, ඒ විශ්වාසය කාබාසිනියා කිරීම සඳහා මැදිහත් වුණු වළල්ලක් තිබෙනවා.

 

උපාලි අබේරත්න පිළිබඳව විමර්ශනය කරන්නත් අධිකරණ සේවා කොමිෂන් සභාවෙන් ත්‍රිපුද්ගල කමිටුවක් පත්කරනවා. අමීර් ස්මයිල්, හෙක්ටර් යාපා, සහ සී. එදිරිසූරිය යන අභියාචනාධිකරණ විනිසුරුවරුන් ඒ කමිටුවේ සාමාජිකයන්. “දිසා විනිසුරු උපාලි අබේරත්නට එරෙහිව එල්ල වී තිබෙන සියලු චෝදනාවලට ඔහු වරදකරු කළේය.” (නොනිමි අරගලය) අපිව ප්‍රශ්න කරන්න උපාලි අබේරත්න කවුද? අභියාචනාධිකරණ විනිසුරුවරුන් තිදෙනෙක් විසින් සමන්විත කමිටුව ඔහු වරදකරු කර, වහාම ක්‍රියාත්මක වන පරිදි අනිවාර්ය විශ්‍රාම ගන්වා ඒ පිළිබඳව තහවුරු කළා. ඊට පස්සේ නැවතත් අභියාචනාධිකරණයකින් ඔහුව මොනරාගල දිසා විනිසුරු කර යවනවා. වික්ටර් අයිවන් මහත්තයා ඒ පොතේදි අවසානයේදී කියනවා “මෙසේ නීතිපති සරත් එන්. සිල්වාගේ බලපෑම මත මෙම දූෂිත විනිසුරුවන් දෙදෙනා තවදුරටත් ආරක්ෂා කරන පිළිවෙතක් අනුගමනය කළා.” කියලා. මේ කියන දූෂිත විනිසුරුවන් දෙදෙනා උපාලි අබේරත්න සහ ලෙනින් රත්නායක. අපිව ප්‍රශ්න කරන්න පත්කළ ජනාධිපති කොමිසමේ සභාපතිවරයා දූෂිතයෙක් බවට පොත් ලියැවුණා.
මේ කොමිසමේ සාමාජිකයෙකු හැටියට හිටපු පොලිස්පති චන්ද්‍ර ප්‍රනාන්දු පත්කර සිටියා. එතුමා වයසයි. එතුමාට දරුවෝ, දරුවන්ගෙත් දරුවෝ ඉන්න නිසා මම ගොඩක් දේවල් කියන්නේ නැහැ. හැබැයි එතුමාට එරෙහිව විගණන දෙපාර්තමේන්තුවේ සිදුකළ පරීක්ෂණය මොකක්ද කියලා හොයලා බලන්න. දරුවන්ට, දරුවන්ගේ දරුවන්ට තමන්ගේ සීයා කවර වර්ගයේ කෙනෙක්ද කියලා මේ පරීක්ෂණ වාර්තාවෙන් සොයාගත හැකියි. හිටපු පොලිස්පතිවරයා නෙළුම් මාවතේ පක්ෂ කාර්යාලයේ වැඩකරපු කෙනෙක් කියලා සමහර අය වාර්තා කර තිබුණා. බැසිල් රාජපක්ෂගේ මල්වානේ නඩුව එනකොට ගම්පහ අධිකරණයේ නඩුව එනකොට, ඉදිකට්ටයි නූලයි වගේ පස්සෙන් ගිය කෙනා චන්ද්‍රා ප්‍රනාන්දු. මේ කොමිසමේ සාමාජිකයින් දූෂිතභාවයට ලක්වී තිබුණු කණ්ඩායමක්. මේ අය තමයි අපිව ප්‍රශ්න කරන්න දාලා තිබුණේ. දැන් පොලිස් කොමිසමේ සභාපති හැටියට පත්කරලා.

 

මේ කොමිසමේ අරමුණු දෙකක් තිබුණා. තමන්ගේ චෞර වළල්ලේ දූෂිතයන් නිදහස්කර ගැනීම සහ තමන්ට එරෙහිවන්නන් දඩයම් කිරීම. දේශපාලන පළිගැනීම් සොයා බැලීම පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාව කියලා නම් කළා. ඇත්තටම නම් දූෂිතයන් ආරක්ෂා කළ රනිල් වික්‍රමසිංහ, සාගල රත්නායක, වජිර අබේවර්ධන, වගේ අයගැන කවදා හරි හොයන්න කොමිසමක් පත්කරන් ඕනෑ. මොවුන්ගේ රැකවරණ සහිතව වංචනිකයන්, දූෂිතයන් නිදැල්ලේ ඉන්නේ කොහොමද කියලා හොයන්න මහජන කොමිසමක් අවශ්‍යයි. ඒ කොමිසම අපි පිහිටුවනවා.

 

පළිගැනීම් පිළිබඳව කොමිෂන් සභාවක් පිහිටුවලා වාර්තාවක් නිකුත් කළා. 2020 ජනවාරි 29 පිහිටුවා 2020 නොවැම්බර් මාසේ 25 අවසන් කළා. ආසන්න ලෙස දින 300යි. කොරෝනා වසංගතය නිසා මාසයක් හමාරක් වැහිලා තිබුණා. අනෙකුත් නිවාඩු දිනත් සමඟ උපරිම දින 300ක්. පැමිණිලි 1971ක් ආවා. මේ ගොල්ලෝ පැමිණිලි 136ක් විභාගයට ලක්කරලා. ලිඛිත පැමිණිලි 14ක් ඊට අමතරව විභාගයට ලක්කරලා. ඒ අනුව පැමිණිලි 150ක් විභාග කළා. උපරිම ගත්තොත් දින 300යි. හැබැයි ගෝඨාභය රාජපක්ෂගේ අම්ම තාත්තාගේ සොහොන හැදීම සඳහා රජයේ මුදල් වියදම් කිරීම පිළිබඳ නඩුව අවුරුදු 03ක් විතර අධිකරණයේ විභාග වෙනවා. නඩුවක යුක්තිය තහවුරු කරන්න සියල්ලන්ට ඇහුම්කන්දීම වැදගත්. අපරාධ නඩුවක් අවුරුදු 03ක් 04ක් අහන්න වෙන්නේ ඒ නිසයි. හැබැයි උපාලි අබේරත්න නඩු 150 තින්දුවක් දින 300න් දෙනවා. මෙහෙම කරන්නේ කොහොමද? කොමිසමේ වාඩිවෙනකොටම මේ අයට තිබෙන අරමුණ තමයි 79 දෙනෙක් නිදොස්කොට නිදහස් කිරීම. ඒ වගේම අධිකරන ක්‍රියාවලියට ඔවුන්ව ගෙන යන්න පැමිණිලි කළ අයට විරුද්ධව නඩු දාන්න. පැමිණිලි කළ අය, පැමිණිලි විභාග කළ පොලිසිය, නඩු ගොනුකරපු නීතිපති දෙපාර්තමේන්තුවේ අයයි හිරේ දාන්න යනවා.

 

කොමිසමෙන් දී තිබෙන තීන්දු කීපයක් මම කියන්නම්. උදය ගම්මන්පිලගේ නඩුව. කොළඹ මහාධිකරණයේ නඩු අංක දෙකක් යටතේ අධිචෝදනා පත්‍ර ගොනුකර තිබෙනවා. අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරික්ෂණ වාර්තාව නීතිපති දෙපාර්තමේන්තුවට යැව්වාම පරීක්ෂා කරලා බලලා නඩුවක් දැම්මා. ඒ ගැන කොමිසම මොකක්ද කියන්නේ.

 

“චෝදනා පත්‍ර ඉල්ලා අස්කර ගැනීම මගින් එහි දැක්වෙන සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීම” දැන් අවුරුදු 03ක්  විතර අධිකරණය අහන නඩුවක් ගැන දවස් දෙකක් ගතකරලා සියලු චෝදනාවලින් නිදොස්කොට නිදහස් කරන්න නිර්දේශ කරනවා. ඒ වගේම නඩු දාන්න මැදිහත් වුණු අය, ඒ ගැන පරීක්ෂා කළ ත්‍ක්‍ෂෘ හෝ ක්‍ෂෘ නිලධාරීන්, නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් යන අයට එරෙහිව චෝදනා ගොනුකර අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවට යවන්න කියලත් තියෙනවා. එතකොට මේ රටේ අධිකරණවලින් දඬුවම් ලැබෙන්නේ පොල් ගෙඩියක් හොරෙන් අහුලන කෙනෙකුට, කසිප්පු ටිකක් පෙරන කෙනෙකුට, හෙල්මට් එක නැතිව පාරේ යන කෙනෙකුට විතරයි. මේ හැර සියලු වර්ගයේ මහා පරිමාණයේ අපරාධකරුවන්ට දඬුවම් කිරීමට අධිකරණයට හැකි වන්නේ නැහැ. ආණ්ඩුවක් ඇවිත් යනකොට කොමිසම් එකක් දාලා ඒ අපරාධකරුවන්ව නිදහස් කරනවා.

 

දේශපාලකයන් දෙන්නෙක් තුන්දෙනෙක් ඉලක්ක කරගෙන මේ දඩයම දියත් කර තිබුණාට ඇතුළාන්තයෙන් ප්‍රබල පන්නයේ අපරාධකරුවන්ට දඬුවම් නොලැබෙන තත්වයක් නිර්මාණය වෙනවා. යෝෂිත රාජපක්ෂගේ නඩුවත් ඒ ගැන උදාහරණයක්. කෙඩෙට් නිලධාරියෙක් ක්‍ීභ නාලිකාව පටන් ගන්න තරම් විශාල ධනයක් සොයාගත්තේ කොහෙන්ද? ඒ ගැන අධි චෝදනා පත්‍ර ඉල්ලා අස්කර ගැනීම මගින් ඔහුව නිදොස් කොට නිදහස් කරන්න නිර්දේශ කරනවා. නාලක ගොඩහේවාගේ නඩුවත් එහෙමයි. නාලක ගොඩහේවා මේ හොර පාරෙන් එන්නේ ඇයි? කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන්න කැබිනට් මණ්ඩලය අනුමත කරනවා. ගම්මන්පිලත් කැබිනට් මණ්ඩලයේ ඉන්නවා. ඇමෙරිකාවේ හිටපු තානාපති ජාලිය වික්‍රමසූරියට මෙහේ විතරක් නොවෙයි ඇමෙරිකාවෙත් නඩුවක් තිබෙනවා. ඔහු ඇමෙරිකාවේ තානාපතිව හිටපු කාලයේ කාර්යාලය පවත්වාගෙන ගිය ගොඩනැගිල්ලත් විකුණලා. ඊට අදාළ නඩුව අපේ අධිකරණයේ විභාග වෙමින් තිබෙනවා. ජාලිය වෙනුවෙන් අධිකරණයේ ඇප දුන්නු කාන්තාවන් දෙන්නත්ත එක්කම ඔහු රට පැන්නා. ඔහුගේ අධි චෝදනා පත්‍රත් ඉල්ලා අස්කරගෙන නිදොස් කොට නිදහස් කරන්න කොමිසම නිර්දේශ කරනවා.

 

නිස්සංක යාපා සේනාධිපති ගිනි අවි සන්තකයේ තබාගත් බවට නඩුවක් පවතිනවා. උදයංග වීරතුංගට මිග් ප්‍රහාරක යානා මිලදී ගැනීමේදී වංචා සිදුකිරීම සම්බන්ධයෙන් නඩුවක් යනවා. බැසිල් රාජපක්ෂට මල්වානේ ගේ සම්බන්ධයෙන් නඩුවක් විභාග වෙනවා. බැසිල් රාජපක්ෂට එරෙහිව තියෙන නඩුවත් ඉල්ලා අස්කර ගන්න නිර්දේශ කරනවා. අඩුම ගානේ මේ කොමිසමට බැසිල් රාජපක්ෂගෙන් පැමිණිල්ලක්වත් තිබුණේ නැහැ. මෙහෙම ඉල්ලා අස්කරගන්න කියන්නේ අධිකරණය ඉදිරියේ විභාගයට ලක්වෙමින් තිබෙන නඩු. අඩුම ගානේ මේ නඩු ගැන පාර්ලිමේන්තුවේවත් කතා කරන්න බැහැ. එහෙම කතා කළොත් එක පාර්ශ්වයකට අයුතු බලපෑමකට ලක්වන නිසා. එහෙම තියෙද්දී ජනාධිපති කොමිසමට හිටපු විනිශ්චයකාරවරු වාඩි කරවලා, හිටපු පොලිස්පති වරයෙක් වාඩි කරවලා තීන්දු දෙනවා නම්, අධිකරණ කුමකටද?

 

අධිකරණයේ ගරුත්වය ආරක්ෂා කරගන්න ඉතාමත් ප්‍රබල තීන්දු දී තිබෙනවා. අධිකරණය ඉදිරියේ විභාග වෙමින් තිබෙන නඩුවක් එළියේ කොමිසමකින් ඉවත් කර ගන්න දෙන තීරණය නීතිඥ සංගම්වලින් අනුමත කරනවාද? ශ්‍රේෂ්ඨාධිකරණයේ අග විනිසුරුතුමා ඇතුළු විනිසුරු මඬුල්ලෙන් ඉල්ලනවා මෙවැනි අනීතික ක්‍රියාවලියකට රබර් සීල් එක ගහලා අනුමත කරන්න එපා කියලා. තම සේවාදායකයන්ගේ නිවැරදිභාවය වෙනුවෙන් නීතිඥ මහත්වරුන් කරුණු ඉදිරිපත් කරනවා. ඒ නීතිඥවරුන්ගේ තර්ක විතර්ක පසෙකලා ජනාධිපතිවරයා විසින් පත්කළ අන්ත දූෂිත කොමිසමකින් ලබාදෙන තීන්දුවලට අපේ රටේ නීතිඥ ප්‍රජාව එකඟද කියන එක රටට කියන්න ඕනෑ.

 

නීතිපති දෙපාර්තමේන්තුවට ලැබෙන පරික්ෂණ ගොනුවක් පරීක්ෂා කොට නඩුවක් පැවරූ පසුව දූෂිත කොමිසමකින් දෙන ලද තීරණයක් අනුව නඩු ඉල්ලා අස්කර ගන්නවාද කියලා නීතිපතිවරයා ඇතුළු නිලධාරීන් රටට කියන්න ඕනෑ. මොකද ඔවුන්ට ජනතාව වෙනුවෙන් වගකීමක් තිබෙනවා. ඔවුන් වැටුප් ලබන්නේ ජනතාවගේ බදු මුදලෙන්. පොලිසියට ලැබෙන පැමිණිල්ලක් අනුව පරික්ෂා කර, වාර්තා ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් රාජකාරි කිරීමට විරුද්ධව කොමිසමකින් දෙන තීරණ පිළිගන්නවාද? පොලිසිය යම් පැමිණිල්ලක් පරීක්ෂා කිරීම වැරැද්දක් බවට ජනාධිපති කොමිසමකින් නම් කිරීමට අවනත වෙනවා නම් පොලිස් දෙපාර්තමේන්තුවෙන් ඇති ඵලය කුමක්ද? පොලිස් දෙපාර්තමේන්තුව, නීතිපති දෙපාර්තමේන්තුව, නීතිඥවරුන්ගේ කාර්යභාරය, අධිකරණ පද්ධතියක් මෙතැන් සිට අදාළ නොවන තැනට ගෙන යන අවනීතික ක්‍රියාවලියකට අපේ රටේ ජනතාව ඉඩ දිය යුතුද?

 

ගෝඨාභය රාජපක්ෂ දියත්කර තිබෙන්නේ ලංකා ඉතිහාසයේ අධිකරණයටත් නීතිපති දෙපාර්තමේන්තුවටත් නීතිඥවරුන්ටත් සහ පරීක්ෂණ පැවැත්වූ පොලිස් දෙපාර්තමේන්තුව ඇතුළු ආයතනවලටත් විරුද්ධව ගත හැකි ඉතාමත්ම දුෂ්ට, ක්‍රියාදාමයක්. අන්කවරෙක් නිහඬව හිටියත් ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ජනතා ව්‍යාපාරය ලෙස අපි මෙය පරාජයට පත්කිරීම සඳහා ගත හැකි සියලුම ක්‍රියාමාර්ග ගන්නවා. මෙය මගේ ප්‍රශ්නයක් හෝ චෝදනා ගොනුකළ අය පිළිබඳ ප්‍රශ්නයක් නොවෙයි. අපේ රටේ අධිකරණ ක්‍රියාවලිය ඉදිරියේදී ක්‍රියාත්මක වන්නේ කොහොමද කියන එක ප්‍රශ්නයක්. නීතිපති දෙපාර්තමේන්තුව සහ පොලිස් දෙපාර්තමේන්තුව වගේම නීතිඥවරුන්ගේ කාර්යභාරය පිළිබඳව ප්‍රශ්නයක් මෙතැන තිබෙන්නේ. මෙවැනි දෙයක් කරන්න හිතෙන්නේ පිස්සෙකුට විතරයි. ගෝඨාභය රාජපක්ෂ මේ පණ පොවන්න හදන්නේ උන්මත්තක ක්‍රියාදාමයකට. කවුරු ඒ උන්මත්තක ක්‍රියාදාමයට යටවුණත් අපි යට වෙන්න සූදානම් නැති බව ගෝඨාභය රාජපක්ෂට මතක් කරන්න ඕනෑ. අපි මෙය පරාජයට පත්කරනවා.

 

ඊට පස්සේ තවත් කොමිෂන් සභාවක් දැම්මා. ප්‍රියන්ත ජයවර්ධන ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුතුමා ඒකේ සභාපති. ශ්‍රේෂ්ඨාධිකරණයේ හේමා කුමුදුනී වික්‍රමසිංහ විනිශ්චයකාරතුමිය, රත්නප්‍රිය ගුරුසිංහ, අභියාචනාධිකරණයේ විනිශ්චයකාරතුමා ඒ කොමිසමේ සාමාජිකයන්. අර කොමිසම් එකෙන් දීපු නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා නිර්දේශ ලබාදීම මේ කොමිසමේ අරමුණයි. වගඋත්තරකරුවන්ට තිබෙන චෝදනා මේවා. “ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවේ විධිවිධාන පරිදි ලබාදී ඇති දිවුරුම කඩකරමින් ඒකීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන උල්ලංඝනය කිරීම” පුද්ගලිකව ගත්තොත් මට එල්ලවී තිබෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාව උල්ලංඝනය කිරීමේ චෝදනාව. 2018 ඔක්තෝබර් මාසයේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් හඳපානේ අගමැතිවරයෙක් සහ ඇමතිවරුන් පත්කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනයක් බව ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන් 07 දෙනකුගේ මඬුල්ලකින් තීරණයක් ලැබී තිබෙනවා. ඒ අවස්ථාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමට මහින්ද රාජපක්ෂ අගමැතිවරයාත් හවුල් වී තිබෙනවා. ඒ වෙලාවේ දිවුරුම් දුන් කැබිනට් මණ්ඩලයත් හවුල්වී තිබෙනවා. ගෝඨාභය රාජපක්ෂට අවශ්‍ය වී තිබෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාව ගරු බහුමානයෙන් ආරක්ෂා කරන්න නම්, ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන් 07දෙනකු විසින් ලබාදී තිබෙන තීන්දුව මෛත්‍රීගෙන් මහින්දගෙන් පටන් ගන්න ඕනෑ. ඊළඟට ගෝඨාභය රාජපක්ෂ විසිවැනි සංශෝධනය ගේන්න කලින් ආරක්ෂක ඇමතිවරයා හැටියට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් හිටියා. මේ ආකාරයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කළ අය අධිකරණය ඉදිරියට ගෙනඒමෙන් ආදර්ශයක් ලබාදෙන්න ඕනෑ.

 

දැන් මෙකෙන් ලබාදෙන්න පුළුවන් දඩුවම් මොනවද? ප්‍රජා අයිතිය අහෝසි කිරීම. අනෙක් දඬුවම මන්ත්‍රී ධුරය අහෝසි කිරීම. අපි මේ රටේ මිනිසුන්ගේ ජීවන අරගලය වෙනුවෙන් ඒ මිනිසුන්ගේ අරගලත් එක්ක පොර බදන අය මිස, ප්‍රජා අයිතිය කියන කඩදාසිය එක්ක පොරබදන අය නෙවෙයි. මන්ත්‍රී දූර බලාගෙන දේශපාලනය කරන මිනිස්සු නෙවෙයි අපි. පක්ෂය තහනම් කර තියෙද්දිත් දීර්ඝ කාලයක් දේශපාලනය කළ ව්‍යාපාරයක් අපි. ඒ වෙලාවෙත් දේශපාලනය අත්නොහැර හිටපු මිනිසුන්ට ප්‍රජා අයිතිය මොකක්ද? හැබැයි අනීතික, අවිචාර, උන්නමත්තක දඬුවමකට යටත් වෙන්න අපි ලෑස්ති නැහැ. සාධාරණ යුක්තිසහගත දඬුවමකට යටත් වෙන්න අපි ලැහැස්තියි. ඒ හැර අවිචාරවත් උන්නමත්තක දඬුවමකට මේ රටේ කිසිවෙක් යටත් නොවිය යුතුයි. ඒ අවනීතියට එරෙහිව අද මෙතැන් සිට මේ සටන අපි දියත් කරන බව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට මතක් කරනවා. ඔයාගේ අවනීතිය පරාද කරන්න අපි ලැහැස්තියි. ඒ මේ රටේ ජනතාවගේ පොදු නිදහසත් ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් වෙනුවෙන්. ඒ වෙනුවෙන් අපි පෙරට එන්න ඕනෑ.

 

ජනතා විමුක්ති පෙරමුණේ නායක  අනුර දිසානායක.

The post ප්‍රජා අයිතිය අහෝසි කරලා, මන්ත්‍රී ධුර අහිමි කරලා අපේ ගමන නවත්වන්න ගෝඨාභයට බැහැ. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();