වසර 2011 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් තරගය පාවාදීම පිටුපස ක්‍රිකට් ක්‍රීඩකයන් නැති බව තමා පැහැදිලිව ප්‍රකාශ කර තිබියදීත් ප්‍රකාශ ලබා ගැනීම සඳහා පොලිස් විමර්ශන ඒකකය ක්‍රිකට් ක්‍රීඩකයන් කැඳවීම ප්‍රශ්න සහගත බව හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා නාවලපිටියේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය. ඉදිරියට ගෙන යෑමට ප්‍රමාණවත් තොරතුරු නැතැයි පවසා විමර්ශන කටයුතු අවසන් කිරීමට පොලිස් විශේෂ විමර්ශන ඒකකය තීරණය කරනු ලැබුවේ වැරැදි ලෙස එය ආරම්භ කිරීම නිසා ඇතිවූ ගැටලු වසා ගැනීමට බවද ඒ මහතා කීවේය.
ලෝක කුසලාන අවසන් තරගය පාවාදීම සම්බන්ධයෙන් තමා දෙවතාවක් ප්‍රකාශ කර තිබෙන බවත්, හිටපු ක්‍රීඩා ඇමැතිවරු හා ක්‍රිකට් නායකයන්ද මේ සම්බන්ධව අදහස් දක්වා තිබුණු බවත් කී අලුත්ගමගේ මහතා 2018 දෙසැම්බර් මාසයේදී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දුෂණ මර්දන අංශයේ ප්‍රධානියා එවකට ක්‍රීඩා ඇමැතිවරයාවූ හරීන් ප්‍රනාන්දු මහතාට එවන ලද ලිපියක් තමන් සතුව ඇතැයි ද, ලොව ටෙස්ට් ක්‍රීඩා කරන රටවල් 10 අතරින් වැඩිම දූෂණ චෝදනා එල්ල වන රට ශ්‍රී ලංකාව බව එහි සටහන්ව ඇතැයි ද කියා සිටියේය.
සියල්ල ප්‍රකාශ කර තිබියදී පොලිස් ඒකකය ශ්‍රී ලංකා කණ්ඩායමේ එවකට නායක කුමාර සංගක්කර හා මහේල ජයවර්ධන කැඳවූයේ කුමන පදනමනකින්ද යන්න තමන්ට ප්‍රශ්නයක් බව හිටපු ක්‍රීඩා ඇමැතිවරයා පැවසුවේය.
අවශ්‍ය තොරතුරු නොමැති නිසා පරීක්ෂණ අවසන් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීමෙන් පසු තමන් පොලිස් විමර්ශන ඒකකයට කතා කළ බව කී අලුත්ගමගේ මහතා, පවතින පනත යටතේ මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කළ නොහැකි බව එහි ප්‍රධානියා තමාට දැනුම් දුන් බව කීවේය.
ක්‍රීඩා තරග පාවාදීමේ පනත සම්මත වූවේ 2019 දී බැවින් 2011 තරගයකට අදාළව එම පනත යටතේ කට උත්තර ලබා දීමට බැඳී නොමැති බව කුමාර් සංගක්කාර මහතාගේ නීතිඥයන් ප්‍රකාශ කර ඇතැයි ද, එම විමර්ශනය වැරදි බව පොලීසියට වැටහී තිබෙන්නේ එම අවස්ථාවේ යැයි ද ඔහු පැවැසීය. පොලීසිය වැරදි පරීක්ෂණයක් ආරම්භකර එය ඉදිරියට ගෙනයෑමට නොහැකිව සිරවෙද්දී පරීක්ෂණයට තොරතුරු නොමැති බව කියා එය අවසන් කිරීමට පියවර ගැනීම අනුමත කළ නොහැකි බව ද ඔහු අවධාරණය කළේය.
“මේ වන විට පොලීසිය තොරතුරු අරගෙන තිබෙන්නේ තේරීම් කමිටු සභාපතිවරයාගෙන් පමණයි. ක්‍රීඩකයන් මෙයට සම්බන්ධ නැති බව මම පැහැදිලිව කියා තිබියදීත් ඔවුන්ගෙන් ප්‍රකාශ ගැනීමට උනන්දු වුණු පොලීසිය ක්‍රිකට් පාලක මණ්ඩලයේ හිටපු සභාපතිගෙන්, ලේකම්ගෙන්, විධායක නිලධාරීන්ගෙන් කට උත්තර ගත්තේ නැහැ” ඔහු පැවසුවේය.
“එක්කෙනෙක්ගෙන් කට උත්තර අරගෙන පරීක්ෂණය වහන්න පුළුවන්ද.. මේ විදියට තමයි පොලිසිය යහපාලන ආණ්ඩුව කාලයේ සිදු කළේ. පොලිස් ප්රකාශකවරයාගේ ප්‍රකාශය ගැන විධිමත් පරීක්ෂණයක් කරන්න කියලා මම ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා.” අලුත්ගමගේ මහතා සඳහන් කළේය.
පොලීසිය තමන්ගේ වැරැද්ද වසා ගැනීමට එම වැරැද්ද තමා පිට පටවන්නට උත්සහ කරන බවත්, ජත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට මේ ගැන තොරතුරු තමා ලබාදී තිබෙන බවත් කී ඒ මහතා, මේ සම්බන්ධව තම ස්ථාවරය කිසිදු ලෙසකින් වෙනස් නොකරන බවද අවධාරණය කළේය.
අසේල කුරුළුවංශ
0 Comments