* වැඩිහිටි, අවු100 ඉක්ම වූ, ගොවි, විශ්‍රාමික, ආබාධිත හා වකුගඩු රෝගී 880,906ක් දෙනාට රුපියල් 5,000ක්
* සමෘද්ධිලාභීන්ට 10,000 බැගින්
* විශ්‍රාමික හා රජයේ සේවකයන්ටත් වැටුප් සහන
කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ව්‍යාප්තිය වැළක්වීමේ වැඩපිළිවෙළට සමගාමීව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ මහත්වරුන්ගේ නායකත්වය යටතේ 5,304,010කට සහන සලසා තිබෙන බව අත්‍යවශ්‍ය සේවා පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බළකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.
රාජ්‍ය සේවකයන්, විශ්‍රාමිකයන්, සමෘද්ධිලාභීන්, වැඩිහිටියන්, ආබාධ සහිත තැනැත්තන්, වකුගඩු රෝගීන්, වයස අවුරුදු 100 ඉක්මවූවන්, ගොවි විශ්‍රාම වැටුප් ලබන්නන් ආදී වශයෙන් කණ්ඩායම් රාශියකට මෙම සහන සලසා තිබෙන බව ද ඒ මහතා පැවසීය.
අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කළ සියලු පක්ෂ නායකයන්ගේ සහභාගීත්වයෙන් අරලියගහ මන්දිරයේ දී ඊයේ (02) පැවැති සර්ව පාක්ෂික හමුවට සහභාගී වෙමින් බැසිල් රාජපක්ෂ මහතා මෙම කරුණු අනාවරණය කළේය.
වැඩිහිටි දීමනාව ලබන 416, 764කට සහ පොරොත්තු ලේඛනයේ සිටින 142,345කට රුපියල් 5,000 බැගින් වූ දීමනාව ජාතික වැඩිහිටි ලේකම් කාර්යාලය හරහා ගෙවීමට ද කටයුතු යොදා තිබේ. වයස අවුරුදු 100 ඉක්මවූ 400කට සහ සුදුසුකම් ලැබූ තවත් 152කට ද රුපියල් 5,000 බැගින් හිමි වේ. ආබාධ සහිත තැනැත්තන් 84,171කට සහ පොරොත්තු ලේඛනයේ සිටින 37,229කටත් රුපියල් 5,000 බැගින් ගෙවීමට ආබාධ සහිත තැනැත්තන් සඳහා වන ලේකම් කාර්යාලය කටයුතු යොදා තිබේ.
වකුගඩු රෝගී දීමනා ලබන 25,320කට සහ පොරොත්තු ලේඛනයේ සිටින 13,850කට රුපියල් 5,000ක් ගෙවීමේ කටයුතු මෙම සතිය තුළ නිමා කිරීමට නියමිතය. සමෘද්ධිලාභීන් 1,798,655කට රුපියල් 10,000 බැගින් ගෙවීමට තීන්දු කර ඇති අතර එහි පළමු වාරිකය වශයෙන් රුපියල් 5,000ක් ගෙවීමේ කටයුතු ඊයේ අවසන් කිරීමට නියමිතව තිබුණි. එසේම සමෘද්ධි හිමිකමට සුදුසුකම් ලැබූ සහ පසුගිය වසරේ දීමනාව නොලැබුණු 600,339කටත් මෙම දීමනාව හිමි වේ. ගොවි විශ්‍රාම වැටුප් ලැබූ 160,675කටත් මෙම රුපියල් 5,000 දීමනාව හිමි බව බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.
645,179ක් වන විශ්‍රාමිකයන් සහ 1,500,000ක් වන රජයේ සේවකයන්ගේ ද මාසික වැටුප් ගෙවීමට රජය කටයුතු යොදා තිබේ. ඒ අනුව 5,304,010කට මෙම වැඩපිළිවෙළ යටතේ සහන හිමිව තිබෙන බවත් රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය.
0 Comments