Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කොවිඩ් - 19 සහ අධ්‍යාපනයේ හෙට දවස

උසස් පෙළ හා පහේ ශිෂ්‍යත්ව විභාගය පිළිබඳ ගන්නා සියලුම තීන්දුගනු ලබන්නේ දරුවන්ගේ පීඩනය අවම වන ආකාරයටමිස ඇමතිවරයා ලෙස තමාට ප්‍රශස්ති ලබා ගැනීමට නොවන බව අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු කැබිනට් අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාපසුගියදා (15) අයිටීඑන් නාලිකාවෙහි පවත්වනු ලැබූ 'සංවාදය' වැඩසටහනේදී පැවසුවේය. මෙම වැඩසටහන සඳහා විභාග කොමසාරිස් ජනරාල් බී. සරත් පූජිත මහතා, ජාතික පාසල් අධ්‍යක්ෂ කිත්සිරි ලියනගමගේ මහතා, කොළඹ විසාකා විද්‍යාලයේ විදුහල්පතිනිය සඳමාලි අරුත්පල මහත්මිය සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් හේමන්ත ප්‍රේමතිලක මහතා සහභාගි වූහ. එහිදී කොවිඩ් 19 වසංගතය හේතුවෙන් රටේ අධ්‍යාපනයට සිදුව ඇති බලපෑම සහ ඉදිරියේදී ගනු ලබන විකල්ප පිළිබඳ නිවේදකයා සහ අසන්නන් විමසූ ගැටලුවලට දුන් පිළිතුරු අපි ඔබට ඉදිරිපත් කරන්නෙමු.

පාසල් වහන තීරණය ඉක්මනින් ගත්තේ ඇයි?

මට මතක විදියට 08 වැනිදා තමයි පළමු ශ්‍රී ලාංකික ආසාධිතයා වාර්තා වුණේ. අපිට දැනුණා මේ හරහා වෛරසයේ ව්‍යාප්තියට දරුවා වාහකයෙක් විය හැකි බව. ඉතාලියේ සහ ඉරානයේ මේ වෙද්දි රෝගය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙනවා. ඒත් මේ තීන්දුව ගත්තේ නැහැ. ගෝඨාභය රාජපක්ෂ පාලනයේ තියෙන සුවිශේෂත්වය තමයි දරුවන් මුල් කරගත්තු ප්‍රතිපත්ති සහිත රාජ්‍ය පාලනයක් වීම. ඒ නිසා අපි පළමු පැයේ තීරණයක් ගත්තා අපි දරුවා වාහකයෙක් නොකරන බව. ලෝක සෞඛ්‍ය සංවිධානය පවා අපිට ප්‍රශස්ත ඇගයීමක් කරලා තියෙනවා මේ සම්බන්ධයෙන්. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ජාතික ආරක්ෂාව හා ජාතික ආර්ථිකය ඇරුනම ඊට සමාන තැනක් දුන්නේ අධ්‍යාපනයට. සෞභාග්‍යයේ දැක්ම ඇතුළේ දැනුම පාදක කරගත් ආර්ථිකයක් පිළිබඳ ඔහු කතා කළේ. විශේෂයෙන්ම අපේ අධ්‍යාපන ප්‍රතිපත්තිය තුළ අපි දරුවෝ වර්ගීකරණය කරන්නේ නෑ. අපි දරුවෝ දිහා බලන්නේ ශ්‍රී ලාංකේය දරුවො විදියට.

පාසල්වල දරුවන්ට තාක්ෂණය උපයෝගී කරගෙන අධ්‍යාපනය ලැබීම සඳහා තාක්ෂණික මෙවලක් ලෙස ජංගම දුරකථන භාවිත කිරීමට සිදුවෙනවා. නමුත් චක්‍රලේඛවලින්ම මෙය තහනම් කරලා තියෙනවා නේද?

ඊ ලර්නින්, දුරස්ථ අධ්‍යාපනය, ස්වයං අධ්‍යාපනය යනාදි විවිධ ක්‍රම තියනවා. නූතන තාක්ෂණය අමතක කරලා අපිට ගමනක් යන්න බැහැ. ලෝකයේ බොහෝ රටවල් තාක්ෂණය සහ අධ්‍යාපනය සම්බන්ධ කරලා තියෙන්නේ. ඇස්ටෝනියාව තමන්ගේ අධ්‍යාපන ක්‍රමයට තාක්ෂණය භාවිත කළ ආකාරය අද වෙද්දි මොඩ්ල් එකක් විදියට බොහෝ රටවල් පාවිච්චියට ගන්නවා. අපි මව්පියන්ට කියන්නේ දරුවන්ව විශ්වාස කරන්න කියලා. අපිට නූතන තාක්ෂයෙන් දරුවාව බැහැර කරන්න බැහැ; ඒක සදාචාරසම්පන්න නැහැ.ඒත් ඒකෙ සීමා මායිම් අපි තේරුම්ගන්න ඕනෑ.

ඉංග්‍රීසි මාධ්‍යයෙන් උසස්පෙළ ලියන දරුවන් වෙනුවෙන් වෙනම වැඩසටහනක් ක්‍රියාත්මක වෙනවද?

ඉංග්‍රීසි මාධ්‍යයෙන් උසස්පෙළ ලියන දරුවො ගත්තම දරුවො 8000කට අඩු ප්‍රමාණයක් ඉන්නේ. එයාලට අන්තර්ජාල පහසුකම් තියෙනවා. ඒ දරුවන්ට විකල්ප අවස්ථා තියනවා. මේ මොහොතේ ජාතික රූපවාහිනියේ තියෙන නාලිකා දෙකක් ජාතික රූපවාහිනිය අපට දන් දුන්නා. ඒක ලොකු දෙයක්. අපිට සීමිත විෂයන් සංඛ්‍යාවක් තමයි ජාතික අධ්‍යාපන ආයතනයේ මූලිකත්වයෙන් කරගෙන යන්න පුළුවන් වෙලා තියෙන්නේ. අපේ ඉලක්කය ශ්‍රී ලංකා අධ්‍යාපන අමාත්‍යාංශයට අනුබද්ධිත වෙනම රූපවාහිනී නාලිකාවක් හා ගුවන්විදුලි නාලිකාවක් පවත්වාගෙන යෑම. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රතිපත්තිමය ලෙස එය පිළිගෙන තියෙන්නේ. අද මම මෙතනට එන්නෙත් බන්දුල ගුණවර්ධන මැතිතුමත් මාත් ඒ කැබිනට් පත්‍රිකාව අත්සන් කරලා. ඔන්ලයින් පහසුකම් නැති, ගුවන්විදුලි නැති, රූපවාහිනි නැති දරුවෝ ඕනතරම් ඉන්නවා. වතුකරයේ දරුවන්ට ගුවන්විදුලියක් ගෙදර නෑ. තැපැල් මාර්ගිකව ඒ දරුවන්ට ඒක යවන්න බලන්න ඕන. ඉංග්‍රීසි මාධ්‍ය දරුවන්ට වඩා ප්‍රමාණයෙන් වතුකරයේ දරුවො ඉන්නවා. නමුත් මේ හැම දරුවම අපේ දරුවෝ. අපි මේක බලන්නේ දරුවන්ගේ මානයෙන් පමණයි.

දෙවැනි පාසල් වාරය ආරම්භය අප්‍රේල් 20 වෙනුවට එය ආරම්භ වීමේ දිනය මැයි 11 දක්වා පසුපසට ගිය බවට චෝදනාවක් තියෙනවා. ඡන්දය බලාගෙන පාසල් අරිනවා කියන චෝදනාව ගැන මොකක්ද හිතන්නේ?

මහ මැතිවරණය පිළිබඳ තීරණය ගන්නේ මැතිවරණ කොමිසම. මම මැතිවරණ කොමිසමේ සාමාජිකයෙක් නෙවෙයි. අපි කිසිම විදියක මේ තත්ත්වය දේශපාලන කණ්ණාඩියකින් බලන්න කැමති නැහැ. ජනාධිපතිතුමා අපිට මුල ඉඳන්ම උපදෙස් දීලා තිබුණේ මේකට දේශපාලනයක් බලන්න එපා කියලා. පාසල් පද්ධතියේ දරුවන් මේකෙන් ගළවගන්න මේක අපි කළ යුතුම දෙයක්. කවුරු විවේචනය කළත් අපි ඒකට සැලෙන්නේ නැහැ. අපි තීන්දු ගන්න කිසිලෙසක පැකිලෙන්නේ නැහැ. ඒක තමයි මේ ආණ්ඩුවේ විශේෂත්වය. මම වගකීමෙන් කියනවා අපිට සැඟවුණු න්‍යායපත්‍රයක් නැහැ කියන එක. මැතිවරණය තියන දිනය මැතිවරණ කොමසාරිස්තුමා තීරණය කරයි. ඒකයි මේකයි අතර කිසිම සම්බන්ධයක් නැහැ. ඒක මැයි මාසේ 11 වැනිදා වෙන්න පුළුවන්; ඊට පසු අවස්ථාවක් වෙන්න පුළුවන්.

හැබැයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා හෝ ඩලස් අලහප්පෙරුම අමාත්‍යවරයා නෙවෙයි; මේ රටේ සෞඛ්‍ය බලධාරීන් තමයි අවසාන තීන්දුව ගන්නේ. දැන් අපි හැරෙන්නේ ධනාත්මක දිශාවට කියලා සෞඛ්‍ය බලධාරීන් කියනවා. එතන ඉඳලා බැලුවම දැනට දිනයක් තීන්දු කළා. ඒ දිනය අවසාන දිනයද කියලා තීන්දු වෙන්නේ මේ රටේ සෞඛ්‍ය පරිසරය විසින්. ඒ නිසා අපි ඒකට කලබල වෙන්න අවශ්‍ය නැහැ. එකම රෝගියෙක්වත් වාර්තා නොවුණු දිස්ත්‍රික්ක 11ක් තියෙනවා. අපට ඕනෑනම් ඒ දිස්ත්‍රික්ක 11හි සාමාන්‍ය ජන ජීවිතය පවත්වගෙන යන්න අවශ්‍ය පරිසරය හදන්න පුළුවන්. ඒත් පාසල් දරුවෝ සාමාන්‍ය තත්ත්වයට අරන් එන්න ඕනෑ අවසානයට. හැබැයි ඊට කලින් රජයේ කාර්යාල, ගොවිබිම්, කර්මාන්තශාලා යථාවත් කරගන්න පුළුවන්.

ලංකාවේ සමස්ත විභාග පිළිබඳ ඔබතුමා මොනවගේ ස්ථාවරත්වයකද ඉන්නේ?

ලාංවේ අධ්‍යාපනයේ වෙනස් කළ යුතු පළමුවැනි කාරණාව වන්නේ විභාග ක්‍රමය කියලා තමයි මට හිතෙන්නේ. පළමු වසරේ ඉඳලා අවසන් වසර දක්වා දරුවන් වෙහෙසට පත් කරන කටපාඩම් විභාග ක්‍රමයෙන් ලෝකය මේ වන විට මිදිලා ඉන්නේ. ඒත් ලංකාව තවමත් ඉන්නේ එතන. ලෝකයේ වෙනත් රටවල අට වසරට යනකම් විභාග නැහැ. ක්‍රියාකාරකම් මත දරුවට ලකුණු දෙනවා. අපේ බලාපොරොත්තුවක් තියනවා කටපාඩම් විභාග ක්‍රමයෙන් මිදෙන අතරෙම අනිත් පැත්තෙන් විභාගයට ගන්න කාලය වෙනස් කරන එක. නිදසුනක් විදියට 2020 අගෝස්තු මාසේ ඒලෙවල් කරන දුවෙක්ට හෝ පුතකුට ප්‍රතිඵල එන්නේ 2020 දෙසැම්බර්.

එයාට යුනිවර්සිටි ඇප්ලයි කරන්න වෙන්නේ 2022 ජනවාරි මාසේ. එතකොට අවුරුද්දකුත් මාස හතරක් විශ්වවිද්‍යාලයේ යන්න එයා ගෙදර ඉන්න ඕනෑ. ඕලෙවල් තියෙන්නේ දෙසැම්බර්වල. ප්‍රතිඵල එන්නේ මාර්තු අග. එයාට ඒලෙවල් ක්ලාස් පටන් ගන්න සැප්තැම්බර් මාසේ වෙනකම් ඉන්න ඕනෑ. අතන අවුරුද්දයි මාස පහයි මෙතන මාස අටයි. ශ්‍රී ලාංකේය දරුවගේ අවුරුදු දෙකකුත් මාස තුනක් විභාග ක්‍රමය විසින් ගිලගෙන තියෙනවා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කාල සීමාව තුළ අපි මේක ස්ථිර වශයෙන්ම වෙනස්කරනවා. ඒ වගේම මාණ්ඩලික සාකච්ඡාවෙහි අපි තීරණය කළා මීළඟ ඒලෙවල් විභාගයේදී කැල් එකක් අරගෙන විභාග ශාලාවට පැමිණීමට දරුවන්ට ඉඩදෙන්න ඕනෑ කියන කාරණාව. ඉදිරියේදී මෙවැනි ගෝත්‍රික තීන්දුවලින් දරුවන් මුදවන්න අපි කටයුතු කරනවා.

ශිෂ්‍යත්වය හා උසස්පෙළ දරුවන් විභාගයට යෑමට පෙර අවසන් කළ යුතු විෂය නිර්දේශයන් පිළිබඳ යම්කිසි පැහැදිලි කිරීමක් කළොත්?

උසස් පෙළ දරුවෝ ගිය අවුරුද්දේ අප්‍රේල් මාසෙත් පාස්කු ප්‍රහාරය හේතුවෙන් තමන්ගේ කාලය නාස්ති කරගත්තා. දැනට මෙතන කාලයක් වැයවෙලා තියෙනවා. මේකේ කෙළවර කොතනද කියලා කියන්න බැහැ. ඒ ඒ විෂය මාලාවන් ආවරණය කර ගැනීමෙදි කිසියම් අභියෝගාත්මක තැනක තමයි ඒ දරුවෝ ඉන්නේ. පහේ ශිෂ්‍යත්වයට අදාළවත් ඒකමයි වෙලා තියෙන්නේ. මේක දේශපාලන තීන්දුවක් නෙවෙයි. ඇමතිවරයා ගනු ලබන තීන්දුවක් නෙවෙයි. විභාග කොමසාරිස්වරයා ඇතුළුව දරුවන්ගෙන් පවා විමසලා ගන්න තීන්දුවක්. හැබැයි ඒ ගන්න තීන්දුව උසස් පෙළ කළත්, පහේ ශිෂ්‍යත්වය කළත් දරුවගේ පීඩනය අවම වන ආකාරයේ තීන්දුවක් ගන්න බව මම වගකීමෙන් කියනවා.

නිදසුනක් විදියට ගත්තොත් ලන්ඩන් ඒවෙලවල්, ඕලෙවල් විභාග එක දවසක මුළු ලෝකෙම පවත්වනු ලබන විභාගයක්; එකම පේපරය දෙන්නේ. නමුත් කොවිඩ් 19 වසංගතයට මුළු ලෝකයම බිලිවුණු වෙලාවේ ඒ බලධාරීන් තීරණය කළේ මෙවර ලන්ඩන් ඒලෙවල්, ඕලෙවල් විභාග පවත්වන්නෙම නැහැ කියලා. දරුවගේ පැරණි වාර්තාවන්, අනිත් පන්තිවල ලකුණු බලලා දරුවට ග්‍රේඩ් එකක් දෙනවා. ඒ තීරණය අරන් තියෙන්නේ දරුවට සංවේදි වෙලා. අපි ගන්න තීන්දු ගන්නෙත් දරුවන්ගේ පීඩනය අවම වෙන විදියට මිසක් ඇමතිවරයා විදියට මට ප්‍රශස්ති ලබා ගැනීමට නෙවෙයි. දරුවන්ගේ පාඨමාලාවන් අවසන් කර ගැනීමට නොහැකි වුණු කොටස් තියෙනවනම් එයින් බැහැර කරලා ඒ අවස්ථාව ලබා දෙනවා.

ශිෂ්‍යත්ව විභාගයේදී සමස්ත ලංකා ජයග්‍රහණ ලබාදීමක් කළේ නැති නිසා ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වන ජපන් සංචාරයට දරුවන් තෝරා ගැනීම කරන්නේ කොහොමද?

අපි ලංකාව පුරාම හැම කලාපෙකින්ම වැඩිම ලකුණු ගත්තු එක දරුවකු ගානේ ගෙනත් පසුගිය විසි වැනිදා ඔවුන්ට ත්‍යාගයක් දෙන්න කටයුතු කරලා තිබුණා. ජනප්‍රිය පාසල්වලට යන්න කඩඉම් ලකුණක් දෙනවා. ශිෂ්‍යත්ව විභාගයේ ලකුණු දෙන්නේ ලකුණු 200න්. ඒත් ලකුණු 150ක් ගත්තත් සමහර විට දරුවා ෆේල්. ඉහළ පාසලකට යන්න වරම් ලබන දරුවකු පිළිබඳ පමණක් මාධ්‍ය සහ මුළු සමාජයක්ම කතා කරද්දි අනිත් දරුවෝ මානසිකව වැටෙනවා. යම් මන්දෝත්සාහීභාවයකට පත්වෙනවා. සමත් දරුවන් හා අසමත් දරුවන් ලෙස බෙදන්න අපි කැමති නැහැ. ඇත්තටම අසමත් කියන මතය දරුවට දීලා තියෙන්නෙ දරුවගේ දක්ෂතා හඳුනගන්න බැරි පාලකයෝ, ගුරුවරයා, අම්මා තාත්තා. හැම දරුවෙක්ම කුමකට හෝ දක්ෂයි, ඒත් දරුවා දක්ෂ කුමකටද කියලා හඳුනගන්න අපි අදක්ෂ වෙලා තියෙනවා. මේක තමයි අපේ රටේ තියන බරපතල ගැටලුව. ඒ නිසා අපි එතනට දරුවා තල්ලු කරන්නේ නැහැ. අපි අපේ ප්‍රතිපත්ති ඇතුළේ හැම දරුවම දක්ෂයෙක් ලෙසත් ඔහු ඉදිරියට ගෙනියන්නේ කොහොමද කියන එක ගැනත් විතරයි කතා කරන්නේ.

මෙම තත්ත්වය පිරිවෙන් අධ්‍යාපනයටත් බලපාලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය කුමක්ද?

ඉගෙනගන්න දරුවන්, ශිෂ්‍යයන් බෙදන්නේ නැහැ කියලා මම කලිනුත් කිව්වා. පිරිවෙන් සම්බන්ධයෙන් අපිට විශාල දැක්මක් තියෙනවා. පිරිවෙන් අංශය කියලා නොකියා දෙපාර්තමේන්තුවක් බවට පත් කරලා එහි අවිච්චින්න පැවැත්ම කොහොමද තහවුරු කරන්නේ කියලා කියන දේට අවශ්‍ය කැබිනට් පත්‍රිකාව පවා අපි සකස්කරලා තියෙන්නේ. ලංකාවේ පිරිවෙන් 817ක් තියෙනවා. 223ක් මහ පිරිවෙන් තියෙනවා. භික්ෂූන් වහන්සේලා ප්‍රමුඛ ශිෂ්‍යයන් 76000ක් පිරිවෙන්වල ඉගෙනගන්නවා. අපේ සංස්කෘතික හර පද්ධතිය රැකගෙන මෙතනට ගෙනාවේ පිරිවෙන්. ඒ නිසා පිරිවෙන් අධ්‍යාපනය ඊළඟ ශතවර්ෂයට ගෙනියන්නේ කොහොමද කියන එක කතා වුණා. ඒකෙදි තාක්ෂණය, දමිළ භාෂාව, ඉංග්‍රීසි භාෂාව පවා පිරිවෙන් තුළට ගෙනියන්නේ කොහොමද කියන එක අපි සාකච්ඡා කරමින් ඉන්නේ.

කොවිඩ් 19 නිසා අධ්‍යාපනයට තාක්ෂණය යොදාගැනීම සම්බන්ධයෙන් දැනටගෙන තියෙන ක්‍රියාමාර්ග සියල්ල පසුකාලීනවත් ක්‍රියාත්මක වේවිද?

මේක ඇත්තටම වෙස්වලාගත්තු ආශිර්වාදයක්. මේ වසංගතය හොඳ ගුරුවරයෙක්. මේක මොනතරම් අලුත් පාඩම් ලෝකයටම උගන්වලා තියෙනවද? මේක අධ්‍යාපන ක්ෂේත්‍රයට පමණක් නෙවෙයි හැම ක්ෂේත්‍රයටම සම්බන්ධයි. මේ අවාසනාවන්ත තත්ත්වය මඟහැරුණට පස්සේ මුළු යුරෝපයේම හොඳම සංචාරක ගමනාන්තය විදියට ලංකාව තෝරගෙන තියෙනවා. ලංකාවේ දේශගුණය, ආහාර, දේශපාලනික ස්ථාවරත්වය යන සියල්ල ඒකට බලපාලා තියෙනවා. ලෝකයේ හැම රටක්ම බලසම්පන්න වුණේ යම්කිසි ව්‍යසනයක්, පීඩනයක් හෝ විනාශයක් නිසා. ඒ නිසා මම විශ්වාස කරනවා මේ රාජ්‍ය නායකයා එක්ක අපේ රටට නැඟිටින්න පුළුවන්. ඒකට යතුර තියෙන්නේ අධ්‍යාපනය ඇතුළේ. ඒ නිසා කොවිඩ් 19ත් එක්ක නතරවෙන ගමනක් නෙවෙයි අපි මේ ආරම්භ කරලා තියෙන්නේ.

උසස් පෙළ පැරණි හා නව නිර්දේශවල ඉගැන්වීම් අවසන් කර ඇත්තේ සමානව නොවෙයි. එවිට ඉගැන්වූ විෂය කරුණු පමණක් යොදාගෙන ප්‍රශ්නපත්‍ර සකස් වුවහොත් නිර්දේශ දෙක සමබරව සකස්වීමේ ඉඩකඩ තියෙනවද?

විභාග කොමසාරිස් ජනරාල් බී. සරත් පූජිත මහතා

මෙවර විභාගය සඳහා කණ්ඩායම් තුනක් ඉන්නවා. තුන්වැනි වර පෙනී සිටින්නන් පැරණි නිර්දේශය යටතේ තමයි විභාගයට පෙනී ඉන්නේ. පළමු හා දෙවැනිවර පෙනී සිටින්නන් නව නිර්දේශය යටතේ විභාගයට පෙනී ඉන්නවා. මේ කණ්ඩායම් තුනටම එකම ආකාරයට තමයි සලකන්න වෙන්නේ. මොකද විශ්වවිද්‍යාලයට බඳවා ගන්නේ ඉසඩ් අගයට අනුව. හොඳම දේ තමයි විෂය නිර්දේශය අවසන් කිරීමට උත්සාහ කිරීම. ඇත්තටම ඒ සඳහා ඉදිරියෙදි කාලය තියෙනවා. අවසාන පාඩම් තමයි දැන් ඉතිරිවෙලා තියෙන්නේ. බොහෝ විට මේ අවසාන පාඩම් දරුවන්ට ලේසියි. ළමයින්ට අසාධාරණයක් නොවන විදියේ තීන්දු තීරණ පමණයි අපි ගතයුතු වෙන්නේ. අපිට තව මාස දෙක තුනක් තියෙනවා. ඒ නිසා අපි බලමු විෂය නිර්දේශ අවසන් කරන්න. මොකද හැමෝටම සාධාරණයක් වෙන්නේ එහෙම වුණොත් විතරයි.

පාසල් පටන්ගැනීම සඳහා නිශ්චිත සෞඛ්‍යසම්පන්න දිනය තීරණය වූ පසු ඒ හා සම්බන්ධ සූදානම මොනවගේද?

අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් හේමන්ත ප්‍රේමතිලක මහතා

සෞඛ්‍ය අමාත්‍යාංශය අපිට ලබාදෙන උපදෙස් තියෙනවා. අපි කටයුතු කරන්නේ ඒවට අනුව. එහිදී ළමයා සහ පාසල් පරිසරය සෞඛ්‍යාරක්ෂිතව තියාගන්නේ කොහොමද කියන එක ගැන අපි සලකා බලනවා. ඒ වගේම ප්‍රාදේශීය සෞඛ්‍ය අධිකාරියේ සහ සියලු ප්‍රජාවෙහි සහයෝගය ඇතිව පාසල් සෞඛ්‍යාරක්ෂිතව පවත්වාගෙන යෑම පිළිබඳව අපි මේ වන විට සාකච්ඡා කරමින් පවතිනවා. විශේෂයෙන්ම අත්සෝදන වැඩපිළිවෙළ ගැන සාකච්ඡා වුණා. සමහරවිට ජලය නොමැති පාසල් තියෙන්න පුළුවන්. ලංකාවේ සියයට අනූවක්ම පාසල්වල ජලය පහසුකම් තියෙනවා. ඈත පළාත්වල තමයි ඒ ගැටලුව වැඩි. ඒ ගැටලුව මෙන්ම ළමයි විශාල ප්‍රමාණයක් එකට ඉද්දි අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග මොනවද යන්නත් අපි සාකච්ඡා කරමින් ඉන්නවා. ඒ පිළිබඳ තීරණ සියල්ල ක්‍රියාත්මක වෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුදැනුම මත.

මේ කාලය තුළ ගුරුවරුන් හා සමස්ත පාසල් පද්ධතිය ඵලදායිතාවෙන් යුතුව වගකීම් ඉටු කිරීමට සූදානම් විය යුත්තේ කොහොමද කියන කාරණාව පිළිබඳ ගෙන ඇති ප්‍රතිපත්තිමය තීරණය ගැන පැහැදිලි කිරීමක් කළොත්?

ජාතික පාසල් අධ්‍යක්ෂ කිත්සිරි ලියනගමගේ මහතා

දැනට පාසල් පද්ධතිය නිකන් නෙවෙයි තියෙන්නේ. නිදසුනක් විදියට ආරක්ෂක අංශවලට බස්නාහිර පළාතෙහි පමණක් පාසල් 08ක් භාවිත කරනවා. ඩීඑස් සේනානායක විදුහලේ ගුවන් හමුදාව 800ක් නවාතැන් ගන්නවා. ඒ අයට දීපු එක කොන්දේසියක් තමයි ‍පාසල් ආරම්භ කිරීමට සතියකට පෙර අපිට නිවැරදි තත්ත්වයෙන් සෞඛ්‍යාරක්ෂිතව පාසල භාරදෙන්න කියන එක. අපි වෙනදත් ඒක කළා. ඩෙංගු වසංගතය තියෙන කාලයෙත් අපි සතියකට පෙර දරුවට පාසල සූදානම් කළා. ගුරුවරයත් පෙර සූදානමක් විය යුතුයි. ගුරුවරයට කරන්න ගොඩක් වැඩ තියෙනවා. පංති කාමරයට එද්දි සෞඛ්‍ය හුරුපුරුදු සහිතව පැමිණිය යුතුයි. පංතියෙ පිරිසිදුකම පවත්වාගෙන යන්නේ කොහොමද කියන දේ බලන්න වෙයි. වෙනදට වඩා ඒවට වෙනස්ම ක්‍රියාමාර්ග ගන්න වෙයි. පැතිරුණු ප්‍රදේශවල පමණක් නොවෙයි; අනිත් ප්‍රදේශවල පවා ගුරුවරයට සිදුවේවි ළමයා පාසලට පැමිණීමට සතියකට කලින් පාසලට පැමිණෙන්න. දරුවාගේ මනස හදනන්නත් වැඩපිළිවෙළක් සකස් කරන්න අපි කටයුතු කරනවා. බියකින් හා සැකයකින් තොරව දරුවා පාසලට ගෙන්නවගන්න අපි වැඩපිළිවෙළක් සකස් කරනවා.

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන කටයුතු පිළිබඳ ජනාධිපති කාර්යසාධක බලකායේ සාමාජිකාවක් ලෙස එහි විෂය පථය කුමක්ද කියලා පැහැදිලි කිරීමක් කරමු?

කොළඹ විසාකා විද්‍යාලයේ විදුහල්පතිනිය සඳමාලි අරුත්පල මහත්මිය

ගෝලීය වසංගතයත් එක්ක උසස් අධ්‍යාපනය හා සාමාන්‍ය අධ්‍යාපනය ක්‍රියාත්මක වීම සඳහා තමයි මේ බලකාය ගොඩනැඟුවේ. සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයෙහි තාක්ෂණය අධ්‍යාපනයට සම්බන්ධ කිරීමට 2020 අවුරුද්ද තමයි තෝරගෙන තිබුණේ. මේ වසංගත තත්ත්වයත් එක්ක කලින්ම මේක ක්‍රියාත්මක කරන්න අවස්ථාව ලැබිලා තියෙනවා. අපි දරුවන්ට කියලා තියෙන්නේ ජංගම දුරකථන භාවිත කරන්න එපා කියලා. ඒ වගේ වාතාවරණයකදි තාක්ෂණය යොදාගෙන අධ්‍යාපන කටයුතු කරගෙන යන්න වගේම සියලුම පාසල් සඳහා කිසිදු භේදයක් නැතිව දරුවන්ට පහසුකම් ලබා දීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනයට මේ කාර්ය සාධන බලකාය මඟින් මඟපෙන්වනවා.

නදී මාණික්කගේ

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();