ඇමැති සුජීව සේනසිංහ
නිවාස අධිකාරියේ රැකියා ලබාදීම සම්බන්ධයෙන් සත්‍ය කරුණු සජිත් ප්‍රේමදාස මහතා ජනපති කොමිසමට දක්වා ඇති බවත්, නිවාස සංවර්ධන අධිකාරියේ කටයුතු පුළුල් කිරීමත් සමග එහි කාර්යභාරය පුළුල් වී ඇති බවත් ඒ අනුව එම තනතුරු නීත්‍යානුකූලව ලබාදී ඇති බවත් විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පවසයි.
සජිත් ප්‍රේමදාස මහතාට තිබෙන්නේ වැඩ කිරීම සම්බන්ධ චෝදනා පමණක් බවත් පවුලේ අයට ගෙවල්, තනතුරු ලබා දීම සම්බන්ධව හෝ මුදල් අවභාවිතය වැනි චෝදනා ඔහුට නොමැති බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කරයි.
අමාත්‍ය සුජීව සේනසිංහ මහතා මේ බව පැවසුවේ ඊයේ(25) කොළඹ, වොක්ෂෝල් වීදියේ පිහිටිජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ පැවැත්වූ මාධ්‍ය හමුවකදීය.
මෙහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ අමාත්‍ය සුජීව සේනසිංහ මහතා,
අපේක්ෂකයකු ප්‍රවර්ධනය කිරීමට හෝ අපහසුතාවයට පත් නිරීමට ප්‍රවෘත්ති විකෘති කිරීම බරපතල අපරාධයක්. සියලු මාධ්‍ය මැතිවරණ නීති වලට අනුව මධ්‍යස්ථව කටයුතු කරයි අපි කියලා බලාපොරොත්තු වෙනවා. ජනතාවට අයත් පොදු දේපළ ජනතාවගේ යහපත සඳහා පමණක් මිස පෞද්ගලික අවශ්‍යතා සපුරා ගැනීමට යොදා නොගත යුතු බව කිව යුතුයි.
රාජපක්ෂ රෙජීමය මෙවඑ ටිකට් එක සහරාන් ගෙන් ලබා ගෙන ජාතිවාදය තුළින් ජනතාව ප්‍රතික්ෂේප කළ පවුලක් නැවත බලයට පත් වීමටයි බලාපොරොත්තු වෙන්නේ.
සජිත් ප්‍රේමදාස මහතා පිළිබඳව මා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ගම්මන්පිල මහතා සඳහන් කර තිබෙනවා ජනාධිපති කොමිසමෙන් සජිත් ප්‍රේමදාස මහතාට නඩු පවරන්න කටයුතු කළ බව. කොමිසමෙන් කිසිම වාර්තාවක් නිකුත් වෙලා නැහැ. කොමිෂන් සභා වලින් තොරතුරු ලබා දෙන්න පුලුවන් වුනාට නඩු පවරන්නත් බැහැ. කොහොම වුනත් නිවාස අධිකාරියේ රැකියා ලබාදීම සම්බන්ධයෙන් සත්‍ය කරුණු සජිත් ප්‍රේමදාස මහතා ජනපති කොමිසමට කරුණු දක්වා තිබෙනවා, නිවාස සංවර්ධන අධිකාරියේ කටයුතු පුළුල් කිරීමත් ඒ් අනුව කාර්යභාරය පුළුල් වීමත් ඒ් අනුව එම තනතුරු නීත්‍යානුකූලව ලබාදී ඇති බවත් එතුමා ප්‍රකාශ කළා. අමාත්‍යවරයා විසින් ගනු ලබන්නේ ප්‍රතිපත්තිමය තීන්දු පමණයි. ඒ සම්බන්ධයෙන් එම ආයතනයේ සභාපතිවරයා පැහැදිලිව පිළිතුරු දී තිබෙනවා. ඒ නිසා ගම්මන්පිල මහතා ගේ අභියෝගය මට වලංගු වන්නේ නැහැ. කොහොම වුනත් ප්‍රාදේශීය සභාවක් වත් පාලනය කර නැති කෙනෙකුට රටේ අනාගතය පාලනය බාර නොදෙන බව ඔවුන් ගේ ජනාධිපතිවරණ අපේක්ෂකයා පිළිබඳව මීට පෙර ඔහු ප්‍රකාශ කළා. ඒක නම් ගම්මන්පිල කිව්වත් නිවැරදි කතාවක්.
රණ විරුවෝ පිළිබඳ කතා කරන රාජපක්ෂ පවුල ලංකාවේ දක්ෂතම රණ විරුව කිසිදු චෝදනාවක් නැතුව සිරගත කළ එක මේ රටේ ජනතාවට අමතක කරන්න පුලුවන් ද? සරත් ෆොන්සේකා මහතා කියනවා සුමානෙක විතරයි මෙහෙයුම් පිළිබඳව ඔහු රාජපක්ෂ පවුල දැනුවත් කළේ මොකද තොරතුරු එල්. ටී. ටී. ඊ සංවිධානයක යා හැකිව තිබුණා කියලා. ඔහු වසර තුනක් ඉල්ලුවත් අවුරුදු 2යි මාස නවයෙන් යුද්ධය ඉවර කළා. ආරක්ෂාව සම්බන්ධයෙන් එතුමා තරමි දක්ෂයෙක් මේ ලෝකෙම නැහැ. ලසන්ත වික්‍රමතුංග මහතා පිළිබඳව ඔහුගේ නීතිඥයින් කියන්නේ එය රජයේ ක්‍රියාවක් බව. එහෙම නම් ඊට ඒ රජයේ ආරක්ෂක ලේකම් වග කියනවා. ඔහු පිළිගන්නවා රජයේ යම් මිනී මරණ අංශයක් විසින් මෙය සිදු කළ බව. එවන් පුද්ගලයකු මේ රටේ ජනාධිපතිවරයා කරන්න තරම් මේ රටේ ජනතාවට මානසික රෝගයක් නැහැ.
ගෝඨාභය රාජපක්ෂ කියන්නේ චෝදනා රැසක් තිබෙන පුද්ගලයෙක්. නමුත් සජිත් ප්‍රේමදාස මහතාට තියෙන්නේ වැඩ කිරිම සම්බන්ධයෙන් තියෙන චෝදනා. නිවාස තුන් ලක්ෂ හැට දහසකට ඔහු ලබා දී තිබෙනවා. ඒ සඳහා සේවකයන් යෙදවීම හා අමාත්‍යාංශ කටයුතු වැනි වැඩ කිරීම තමයි ඔහුට තිබෙන ප්‍රශ්න. පවුලේ අයට ගෙවල්, තනතුරු ලබා දීම සම්බන්ධව හෝ මුදල් අවභාවිතය වැනි චෝදනා ඔහුට නෑ. ඒ වගේම තරුණ ජවයක් තිිබෙන නායකයෙක්. හුස්ම හිරවුන ගමන් සිංගප්පූරුවට දුවන නායකයෙක් ද අපේ රටට අවශ්‍ය කියන එක ජනතාව දන්නවා. මම සහ මම අම්මා අසනීප වුනාම යන්නේ කොළඹ මහ රෝහලට. මගේ විශ්වාසය තියෙන්නේ රජයේ රෝහල ගැන. මොකද මේ රටේ ජනතාවට ලෙඩ වුන ගමන් සිංගප්පූර්වට දුවන්න පුලුවන් ද?
මොහුට කඩේ යන පුද්ගලික නාලිකා දෙක සජිත් ප්‍රේමදාස මහතා ගේ රැළි වල යම් වැරැද්දක් හොයලා ඊට උපරිම ප්‍රචාරය ලබා දෙනවා. ගෝටාභයගේ රැස්වීම් පෙන්වන්නේ පසුබිම් ගායනයකුත් එක්ක වෙළෙඳ දැන්වීම් වගේ. ප්‍රතිශත වශයෙන් බැලුවම ඒ ආයතන දෙක එක් අපේක්ෂකයකු ප්‍රවර්ධනය වෙනුවෙන් අනෙක් අපේක්ෂකයා අපහසුතාවට පත් කරමින් කටයුතු කරන බව ඉතාමත් පැහැදිලිව දකින්න ලැබෙනවා. මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂම දැනුවත් කිරීමට අප කටයුතු කරනවා. මැතිවරණ කොමිසමත් යම් කිසි ආකාරයකින් අපේක්ෂකයා විසින් ගිලලද කියල අපිට ගැටලුවක් මතු වෙනවා. සමහර අපේක්ෂකයින් ගේ සහෝදරයොත් එක්ක රෑට රෑට සාද පවත්වන බවත් අපට දැන ගන්න ලැබී තිබෙනවා. සාධාරණය ඉටු නොවෙන අවස්ථාවේ දී ඒ සම්බන්ධයෙනුත් අපිට ප්‍රශ්න කරන්න සිදු වෙනවා. මැතිවරණ කොමසාරිස්වරයා බොහෝ විට මැතිවරණ නීති පිළිබඳව, සාධාරණත්වය සම්බන්ධයෙන් කතා කරන නිසා අපක්ෂපාතීත්වය සම්බන්ධයෙන් මෙහිදී අපට ප්‍රශ්න කරන්න සිදු වෙනවා යැයි ද පැවසීය.
මෙහිදී අදහස් දැක් වූ ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය ඇමැති අශොක් අබේසිංහ මහතා - 2009 යුද්ධය ඉවර වුනාට පස්සේ මේ රටේ ජාතික ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් තිබුණෙ නැහැ. නමුත් පාස්කු ප්‍රහාරයත් සමග නැවතත් ඒ ප්‍රශ්නය එළියට එනවා. ඊට පෙර සිටම පොදු ජන පෙරමුණෙන් ජනාධිපතිවරණෙට ඉදිරිපත් කර තිබෙන ගෝඨාභට රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබුණා තමන් නියම වෙලාවට තමන්ගේ අපේක්ෂකත්වය ප්‍රකාශයට පත් කරන බව.
කෙසේ වුවත් මේ වන විට සැකයක් ඇති වෙනවා ජාතික ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් ඇති කර රටේ ජනතාව අතර අනියත බියක් ඇති කර ඔහුගේ අපේක්ෂකත්වය ප්‍රකාශ කිරීම ගැන. මොකද මේ ප්‍රහාරයෙන් පසු ජාතික ආරක්ෂාව ගැන නැවත කතා කරන්න පටන් ගත්තා. මේ ප්‍රහාරය එල්ල වුනේ කිතුණුවන් හා සංචාරක හෝටල් ඉලක්ක කර ගෙන. කිතුණු ප්‍රජාව බහුතරය එක්සත් ජාතික පාක්ෂිකයන් නිසා මේ ප්‍රහාරටෙන් පක්ෂය කෙරෙහි පවතින කැමැත්ත නැති කිරීමට කටයුතු කළ බවත් සංචාරක ව්‍යාපාරය මගින් මෙරට ආර්ථිකයට ලැබෙන විශාල පිටිවහල නැවැත්වීම තුළින් ආර්ථිකය කඩා වැටී ඇති බව පෙන්වීමට කටයුතු කළ බවත් පෙනෙන්න තිබෙනවා. ජාතික ආරක්ෂාව තහවුරු කළ හැකි ගෝඨාභය රාජපක්ෂට පමණක් බව පෙන්වීමට කටයුතු කරමින් අපේක්ෂත්වය ඉදිරිපත් කර තිබෙනවා. කොහොම වුනත් ජාතික ආරක්ෂාව තහවුරු කළ හැක්කේ යුද්ධය වෙලාවෙ රට හැර ගොස් අයියා ජනාධිපති වුනාම ඇවිත් ආරක්ෂක ලේකම් වූ ගෝඨාභය රාජපක්ෂට ද යුද්ධය මෙහෙයවා සතුරන් සමග මුහුණට මුහුණ සටන් කර යුද්ධය ජය ගත් සරත් ෆොන්සේකාට ද කියලා ජනතාව තීරණය කළ යුතුයි. මොකද සජිත් ප්‍රේමදාස ආණ්ඩුවේ ආරක්ෂක ඇමති වන්නේ සරත් ෆොන්සේකා මහතා බව මේ වන විට සහතික කර තිබෙනවා යැයි පැවසීය.
ක්‍රිසන්ති විතාරණ
ඡායාරූප- රොෂාන් පිටිපන
0 Comments