නිමල් සිරිපාල ද සිල්වා
මෙවර ජනාධිපති මැතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහයෝගය දැක්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ගන්නා ලද තීරණය එක්සත් ජාතික පක්ෂ රජය පලවාහැර ජනතා හිතවාදී රජයක් තෝරා පත් කර ගැනීමට පුන පුනා බලා සිටින මේ රටේ ජනතාවට බලවත් ආශ්වාදයක් වී ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.
අපේ මව්බිම පත්ව ඇති අරාජික තත්ත්වයෙන් රට මුදා ගෙන ජන ජීවිතය වඩාත් සුඛිත මුදිත කරමින් රටේ ජාතික ආරක්ෂාව තහවුරු කෙරෙන සියලු ජාතීන්ට සමගියෙන් හා සමාදානයෙන් ජීවත්වීමට සුදුසු පසුබිමක් ඇති දේශයක් නිර්මාණය කිරීමේ භාරදුර කාර්යභාරය මෙරට මීළඟ ජනාධිපතිවරයා ලෙස පත්වෙන ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පැවරී ඇති ජාතික වගකීම යැයිද ඔහු කීය.
එළඹෙන ජනාධිපති මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීම සඳහා බදුල්ල නගරයේ මුතියංගණ නාගරික කොට්ඨාසයේ 26 දා පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ රැස්වීමකදී අදහස් දක්වමින් නිමල් සිරිපාල ද සිල්වා මහතා කියා සිටියේ මේ අවස්ථාවේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිය යුගයේ කාර්ය භාරය හා ජාතික වගකීම නිසි ලෙස ඉටු කරමින් පවතින දේශපාලන බල තුලනයන් ගැඹුරින් විශ්ලේෂණය කරමින් ජනතා අභිලාෂයන් මුදුන්පත් කරවා ගැනීම සඳහා පක්ෂයට වඩා රට පෙරට තබමින් ඉතා වැදගත් දේශපාලන තීන්දුවක් ගෙන ඇති බවත් ය.
වැඩිදුරටත් අදහස් දැක්වූ නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙසේ ද පැවසීය.
ශ්‍රීලංකා නිදහස් පක්ෂය මෙවර ජනාධිපතිවරණය සඳහා කිසිදු අපේක්ෂකයෙකු ඉදිරිපත් නොකිරීමේ පසුබිම තුළ ජනතා අභිලාෂයන් මුදුන්පත් කරවා ගැනීම සඳහා ගතයුතු නිවැරදි ක්‍රියාමාර්ගය පිළිබඳව පක්ෂය තුළ අභ්‍යන්තර වාද - විවාද සම්මන්ත්‍රණ පැවැත්වුණා. අවසානයේදී මෙරට ආර්ථිකය විනාශ කළ මහ බැංකු මංකොල්ලය සිදුකළ නීතියේ ආධිපත්‍ය බිඳ දැමූ දේශීය සම්පත් විදේශිකයින්ට පවරා දීමේ පිපාසයෙන් පෙළෙන අප රටේ දේශීය සංස්කෘතිය හා දේශීයත්වය අගය නොකරන විදේශ න්‍යාය පත්‍රයන්ට අනුව නිරතුරුව කටයුතු කරන එක්සත් ජාතික පක්ෂයට කිසිසේත් මෙවර ජනාධිපතිවරණයේ දී සහයෝගය ලබාදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නොහැකි බව තීරණය කළා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරම්භයේ සිට ඉතිහාසය පුරාම වාමවාදී බලවේග සම අත්වැල් බැඳගනිමින් රාජ්‍ය පාලනය කර ඇත. එකී අත්දැකීම්ද සැලකිල්ලට ගනිමින් ශ්‍රීලංකා නිදහස් පක්ෂය හා එහි ප්‍රතිපත්තීන්ට වඩාත් සමීප වන්නේ පොදුජන පෙරමුණ හා එය වටා ඒකරාශී වී ඇති වාමාංශික දේශපාලන පක්ෂ බවද සැලකිල්ලට ගත්තා. ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ මහතා 30 වසරක කුරිරු ත්‍රස්තවාදය ශ්‍රී ලංකා ධරණිතලයෙන් මුලිනුපුටා දැමීම සඳහා ඉටුකරන ලද ජාතික මෙහෙවර ඔහුගේ කැපවීම ඔහු තුළ ඇති සහජ පරිපාලනමය දක්ෂතා හා ඔහු ප්‍රදර්ශනය කර ඇති නොසැලෙන නායකත්වයේ ලක්ෂණ මෙන්ම ජාතික ආරක්ෂාව පිළිබඳ ඔහුට ඇති පළපුරුද්ද හා පරිණතභාවය සැලකිල්ලට ගනිමින් එළඹෙන ජනාධිපතිවරණයේදී රට දිනවීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, පොදුජන පෙරමුණ හා ගෝඨාභය රාජපක්ෂ මහතා අතර ඇතිකරගන්නා ලද ප්‍රතිපත්තිමය එකඟතාවය ද පදනම් කර ගනිමින් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය සඳහා සිය පූර්ණ සහයෝගය හා ශක්තිය ලබාදිය යුතු බව තීරණය කළේය.
බදුල්ල දිස්ත්‍රික් සමූහ ජයසේන විජේනායක
0 Comments