ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න
වත්මන් ආණ්ඩුව මනුෂ්‍යත්වයට සලකා වැඩ කරන විට එය හෑල්ලුවට ලක් කිරීමට ඇතැම් පිරිස් උත්සාහ දරන බවත් ජනතාවට සුබසෙත සලසමින් රටේ සංවර්ධන කටයුතු සිදු කිරීමට යහපාලන ආණ්ඩුව පියවර ගත් බවත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
ජනතාවට සැලකූ හිංසා නොකළ බණ්ඩාරනායක වැනි යහපත් චරිතවලට අපහාස කරමින් සෙවල බණ්ඩලා ලෙස අන්වර්ථ නාමයන්ගෙන් හැඳින්වූ බවත් ජනතාව පීඩාවට පත් කළ මර්දනය කළ පිරිස් දේශප්‍රේමීන් ලෙසට හඳුන්වන බවත් ඇමැතිවරයා පැවැසුවේය.
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් ගාල්ල අක්මීමන ප්‍රදේශයේ පැවැති ජන රැළියකට එක් වෙමින් ඇමැතිවරයා මේ බව පසුගියදා (24) පැවැසුවේය.
ඇමැතිවරයා මෙසේද ප්‍රකාශ කළේය. 2015 යහපාලන රජය සෑම ක්ෂේත්‍රයක්ම සංවර්ධනය කළා. රාජ්‍ය සේවක වැටුප ඉතිහාසගත වන අයුරින් ඉහළ දැමුවා. සෞඛ්‍ය, අධ්‍යාපන ඇතුළු ක්ෂේත්‍රවල ගුණාත්මකභාවය ඉහළ නැංවූවා. පැවැති රජයට වඩා අධිවේගී මාර්ග ඉදිකිරීමට පියවර ගත්තා, මේ ආණ්ඩුව ඔබලාගේ දේපල මංකොල්ල කාපූ, මිනිමරුවන්, දුෂිතයින්ට නීතිය ක්‍රියාත්මක කළා. එතකොට කියනවා පළිගන්නවා කියලා. එහෙම නම් මේ රටේ ඉන්න හැම මීනිමරුවාම කියයි උගෙන් පළි ගත්තා කියලා. අපි නීතිය ක්‍රියාත්මක කළ නිසා මුළු ලෝකයම මේ රටට ගරු කළා. අපි එදා දිනුවේ නැත්නම් එක්සත් ජාතීන්ගේ සංවිධානය, මානව අයිතිවාසිකම් කොමිටිය මේ රටට විරුද්ධව ආර්ථික තහංචි දානවා. එහෙම වුණා නම් මේ රටේ බඩු යුරෝපට හා ඇමරිකාවට අපනයනය කරන්න බැරි වෙනවා. එතකොට කර්මාන්ත ශාලා වැහිලා දස දහස් ගණනකට රැකියා අහිමි වෙනවා. කන්න නැති වෙනවා.
විදේශ විනිමය නෑ. එතකාට පරිප්පු ටික ගේන්න ඖෂධ ටික ගේන්න මුදල් නැති වෙනවා. එදා ඔවුන් දිනලා ආවා නම් ලක්ෂ ගාණක් මිනිස්සුන්ට පාරට බහින්න සිදු වෙනවා. ඒ ආණ්ඩු පෙරළන්න නොවෙයි. බඩ ගින්නට කෑම ඉල්ලලා. අන්න එදාට තමයි ඉන්න තිබුණේ ඔය ගෝඨාභය. එහෙනම් ගෝඨාභය කියනවා අයියට “අයියණ්ඩිය බිය නොවන්න. මරණ සැටි මම පෙන්වමි” කියලා මද්දුම මල්ලි ඇවිත් අර රතුපස්වල මිනිසුන්ට වෙඩි තිබ්බා වගේ, ධීවරයින්ට වෙඩි තිබ්බා වගේ අපේ රටේ බඩගින්නට කෑම ඉල්ලපු මිනිස්සුන්ට, බෙහෙත් ටික ඉල්ලපු මිනිස්සුන්ට හම්බවෙන්නේ උණ්ඩය.
එහෙනම් මේ රටේ මහා ලොකු විනාශයක් වෙලා අන්තිමට නවතින්නේ ලෝකයේම කළු රටක් බවට පත්වෙලා. එයාලා කිවුවා විදුලි පුටු ගැන. එයාලා ඒ විදුලි පුටුවලිනුත් බේරුනේ අපි නිසා. ඒ වගේම පහුගිය දවස්වල වැඩවර්ජන කළා. ඉතිහාසයේ කිසිදු රජයක් සිදු නොකළ පරිදි අපේ රජය රාජ්‍ය සේවක වැටුප වැඩි කළා. නමුත් පොඩි විෂමතාවයක් තියෙනවා කියලා ගුරු, දුම්රිය, විධායක ශ්‍රේණි වැඩ වර්ජනය කළා. ඒක අපේ ආණ්ඩුව කළ එකක් නොවෙයි පැවැති ආණ්ඩුව කාලේ කරපු දෙයක්. සියලුම අතපසුවීම් කවර් කරන්නේ මේ ආණ්ඩුවෙන්. ගිය ආණ්ඩුවේ දී ගියා නම් හම්බ වනවා ඒවාට හොදට. ඒක නිසා මේ ආණ්ඩුවෙන් තමයි ඔක්කොම ගන්න හදන්නේ. ඇගේ පතේ කිසිම අමාරුවක් නැතිව ඉල්ලීම් දිනාගන්න පුළුවන් එකම ආණ්ඩුව මේක කියලා. අපි ඒවාත් නිවැරදි කරලා දුන්නා.
අපි මිනිසුන්ගේ අතක් පයක් කඩන්න තියා ඇගේවත් හැප්පෙන්නේ නැතිව අහිංසක දුප්පත් ජනතාවට සේවය කරලා තිබෙනවා. මේ ආණ්ඩුව මනුෂ්‍යත්වයට සළකලා වැඩ කළා. ඒ නිසා අපේ අගමැති හා ජනාධිපතිට පාංකඩ කිව්වා. බැන්නත් ඔහේ අහක බලා ගන්නවා. බණ්ඩාරනායක මහත්තයා හරි අහිංසකයි වැඩ වර්ජකයෝ බණ්ඩා සෙවල බණ්ඩා කියලා බැන්නා. එතමා වීදුරුව පාත් කරලා අතවනාගෙන ගියා. එහෙව් බණ්ඩාරනායකලා මරලා දැම්මා. මිනිස්සු කිව්වේ සෙවල බණ්ඩා කියලා ඒ මිනිස්සුන්ට සළකපු නිසා. ජනතාවට කරදරයක් නොකළ නිසා එයා සෙවලයෙක් වුණා. ඔබලාට ගෙම්බර් දාපු මහින්ද, මහජනතාව තලපු, පෙළපු, පොඩි කරපු, මරපු ගෝඨාභයලා දේශප්‍රේමී රණකාමී පුද්ගලයෝ වුණා. මේ රටේ මිනිස්සු හදුනා ගත්තේ එහෙමයි.
මෙම අවස්ථාවට නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා, දකුණු පළාත් මැති ඇමැතිවරු, ආසන සංවිධායකවරු ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.
0 Comments