Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ආරක්ෂාව හොඳයි: අපේ රටට එන්න

පාකිස්තාන ක්‍රිකට් නායකයාගෙන් ඉල්ලීමක්

ආරක්ෂක තත්ත්වයේ සැළකිය යුතු ප්‍රගතියක් තිබෙන බැවින් පාකිස්තානයේ සංචාරයේ නිරතවෙන්නැයි පාකිස්තාන එක්දින හා විස්සයි20 පිලේ නායකයා ලෙස නැවත පත්වූ සර්ෆ්‍රාස් අහමඩ් ඉල්ලීමක් කරයි. නියමිත පරිදි ශ්‍රී ලංකා කණ්ඩායම මේ සංචාරයට එක්වනු ඇතැයි විශ්වාසය පළ කරන පාකිස්තාන ක්‍රිකට් නායකයා ඒ සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දිරිගැන්වීමට ද අමතක නොකළේය.

පසුගිය ලෝක කුසලාන තරගමාලාවේදී අසාර්ථක වීම මත පාකිස්තාන පිලේ නායකත්වය අවදානම් තත්ත්වයක පැවැතියත් කණ්ඩායමේ ඉදිරි තරගාවලි සඳහා දිරිගැන්වීමක් ලෙස 34 හැවිරිදි සර්ෆ්‍රාස් අහමඩ් යළි නායකත්වයට පත් කිරිමට එරට තේරීම් කමිටුව පියවර ගත්තේය. ඔහුගේ උපනායකයා ලෙස නම් කර ඇත්තේ මෑත කාලයේ පාකිස්තානයෙන් බිහිවූ විශිෂ්ටතම පිතිකරුවකු වන බාබර් අසාම්ය.

‘ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාව යළි පාකිස්තානයට ගෙන ඒමට අපගේ ක්‍රිකට් පාලක මණ්ඩලය කැපවීමෙන් කටයුතු කරනවා. අනිකුත් රටවල ක්‍රිකට් ආයතනත්, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයත් ඊට සහාය දෙනවා නම් අපි අගය කරනවා. අනිකුත් රටවල සංචාරය කරමින් අපිත් අපේ සහයෝගය ලබා දුන්නා. පසුගියදා ශ්‍රී ලංකාවේ පාස්කු දිනයේ එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුවත් අපි අවුරුදු 19න් පහළ කණ්ඩායම ශ්‍රී ලංකාවට යැව්වා.‘ අහමඩ් කියා සිටියේය.

එක්දින තරග 3කට සහ විස්සයි20 තරග 3කට පාකිස්තානයේ සංචාරය කිරිමට නියමිත ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයන් 10 දෙනකු එරට ආරක්ෂාව පිළිබඳ සැක පහළ කරමින් එම සංචාරයෙන් ඉවත්වීමෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් ළහිරු තිරිමාන්නගේ නායකත්වයෙන් එක්දින කණ්ඩායමත්, දසුන් ශානකගේ නායකත්වයෙන් විස්සයි20 කණ්ඩායමත් පාකිස්තානය සංචාරයට නම් කරනු ලැබීය. එහෙත් ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවීමට ඉඩ ඇතැයි ලද තොරතුරක් මත මේ වනවිට එම සංචාරය අවදානම් තත්ත්වයක පවතී.

Post a Comment

0 Comments