ශ්‍රී ලංකාවේ ප්‍රථම පෞරාණික තාක්ෂණික කෞතුකාගාරය සහ පුස්තකාලය පසුගිය දා (03) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සුරතින් පොළොන්නරුවේදී ජාතියට දායාද කෙරිණ.
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ සංකල්පයකට අනුව ඉදි කළ කොළඹ පිහිටි කෞතුකාගාරයට පමණක් දෙවැනි වන මේ කෞතුකාගාරය මහල් තුනකින් සහ මැදිරි හතකින් සමන්විත වේ. මෙහි බිම් මහල පොළොන්නරුවේ ඉතිහාසය පිළිබඳ තොරතුරු, ප්‍රාග් හා පූර්ව ඓතිහාසික තාක්ෂණය, මැටි බඳුන් හා ලෝහ තාක්ෂණය සහ කෘෂි හා වාරි තාක්ෂණය පිළිබඳ විශ්ලේෂණය කෙරෙන මැදිරි හතරකින් සමන්විතය.
පළමු මහලේ මැදිරි තුනක් තුළ ගොඩනැගිලි තාක්ෂණය සහ ලෝහ වාස්තු තාක්ෂණය, සිතුවම් මූර්ති හා දැව තාක්ෂණය, රෙදි පිළි, නාවුක හා ගණිත මිණිත තාක්ෂණය පිළිබඳ පැහැදිලි කිරීමක් සිදු කෙරෙන අතර, මේ මහලේ නව්‍යකරණ මධ්‍යස්ථානයක් සහ සමරු හා ප්‍රකාශන මධ්‍යස්ථානයක් ද ස්ථාපිත කර ඇත.
දෙවැනි මහල තුළ පුස්තකාලය සහ තොරතුරු මධ්‍යස්ථානය, රැස්වීම් ශාලාව සහ කාර්යාලය ස්ථාපිත කර ඇත. ග්‍රන්ථ 30,000කට අධික ප්‍රමාණයකින් සමන්විත මෙහි ශ්‍රී ලංකාවේ ඉතිහාසය හා සම්බන්ධ පැරැණි තාක්ෂණික ක්‍රමවේදයන් සහ සංස්කෘතික උරුමය පිළිබඳ පර්යේෂණ හා අධ්‍යාපනික අවශ්‍යතා සපුරාලීමට අවකාශ සලසා ඇත. ඉතිහාසය, පුරාවිද්‍යා, පැරැණි සාහිත්‍ය, ජනශ්‍රැතිය, කෘෂිකර්මය, පැරැණි තාක්ෂණය, බෞද්ධ දර්ශනය හා පරිසරය යන විෂයන් පිළිබඳ ලියවුණු ග්‍රන්ථ එකතුවකින් සහ පොළොන්නරුව යුගයේ දී රචනා කරන ලද ග්‍රන්ථවලින් මේ පුස්තකාලය සමන්විත වේ.
පුස්තකාලය; පොත් බැහැර ගෙන යෑමේ පහසුකම්, මුද්‍රිත හා ඉලෙක්ට්‍රොනික මාධ්‍යයෙන් පුවත්පත් කියවීම, ඉලෙක්ට්‍රොනික මාධ්‍ය ඔස්සේ සෙල් ලිපි කියවීම, දේශීය හා විදේශීය වාර සඟරා පරිශීලනය, අධ්‍යයන හා පර්යේෂණ කටයුතු සඳහා අවශ්‍ය කියවීම් ශාලා පහසුකම් ආදී වශයෙන් පහසුකම් රාශියකින් සමන්විතයි.
කෞතුකාගාරයට පිවිසීමේ දොරටුවේ සිට අවසානය දක්වා නවීන තාක්ෂණය උපයෝගී කර ගනිමින් මාර්ගෝපදේශකයකුගේ මඟ පෙන්වීමකින් තොරව මහජනතාවට කෞතුකාගාරය නැරැඹීමට පහසුවන පරිදි නිර්මාණය කර ඇත.
පොළොන්නරුව රාජධානිය සමයේ භාවිත කළ තාක්ෂණික අංශ අධ්‍යයනය කිරීමට, නැරැඹීමට සහ ඒ පිළිබඳ දැනුමක් ලබා ගැනීමට මහජනතාවට අවස්ථාවක් ලබා දීමේ හා ශ්‍රී ලංකාවේ පුරාණ තාක්ෂණික උරුමයන් හඳුනා ගනිමින් ඒ ආශ්‍රිත දැනුම සංරක්ෂණය කොට මතු පරපුරට දායාද කිරීමේ අරමුණින් මේ කෞතුකාගාරය ස්ථාපිත කර ඇත.
මේ හරහා ශ්‍රී ලංකාවේ පැරැණි උසස් තාක්ෂණය පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට මහජනතාවට අවස්ථාව උදා වන අතර, ශ්‍රී ලංකාවේ පැරැණි තාක්ෂණ ක්‍රමවේදය නව තාක්ෂණය හරහා යොදා ගැනීම පිළිබඳ මහජනතාවට අවබෝධයක් ලබා ගැනීමට එමගින් අවකාශ සැලසේ.
නවීන තොරතුරු සම්පාදන මධ්‍යස්ථානය, ඉතිහාස අධ්‍යයනයේ නූතන ක්‍රමවේද භාවිතය, ස්වයං අධ්‍යයන පහසුකම් හා සුහුරු තාක්ෂණික මෙවලම් භාවිතයට මේ කෞතුකාගාරය තුළ පහසුකම් සලසා ඇත. තව ද මෙමගින් ඉතිහාසයේ අනාදිමත් කාලයක සිට අපේ මුතුන් මිත්තන් විසින් උරුම කර දුන් විශිෂ්ට තාක්ෂණික දැනුම ලෝකයට සම්ප්‍රේෂණය කිරීමට අවස්ථාව උදා වනු ඇත.
විශේෂයෙන්ම සංචාරක ආකර්ෂණයක් ඇති ස්ථානයක් ලෙස ස්ථාපිත කර ඇති මේ ආයතනය හරහා දේශීය මෙන්ම විදේශීය සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට රැකුලක් ලැබෙනු ඇත. ඒ හරහා ශ්‍රී ලංකාව කෙරෙහි සංචාරක ආකර්ෂණය වැඩි කර ගැනීමටත්, අපේ පැරැණි තාක්ෂණික ක්‍රම පිළිබඳව ජාත්‍යන්තරයේ ප්‍රචලිත කිරීමටත් හැකියාව පවතී. ඒ තුළින් වැඩි වැඩියෙන් විදේශ විනිමය උපයා ගැනීමටත්, ප්‍රදේශයේ තරුණ තරුණියන්ට සෘජු හා වක්‍ර රැකියා අවස්ථා උත්පාදනය කර ගැනීමටත් දොරටු විවර වනු ඇත. මේ වන විට කෞතුකාගාරයේ නාම පුවරු, Audio සහ Video දර්ශන සිංහල, දමිල සහ ඉංග්‍රීසි බසින් පමණක් නිරූපණය කෙරෙන අතර, ඉදිරියේ දී වෙනත් භාෂාවලින් ද පැහැදිලි කිරීම් සිදු කිරීමට කටයුතු යොදා ඇත.
රුපියල් මිලියන 900ක මූල්‍යමය ප්‍රතිපාදන යටතේ ඉදි කර ඇති මේ කෞතුකාගාරය ශ්‍රී ලංකාවේ පුරාණ තාක්ෂණය පිළිබඳ අධ්‍යාපන හා පර්යේෂණ මධ්‍යස්ථානයක් වශයෙන් ගත් කළ විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන්ට මේ පිළිබඳ පර්යේෂණ කටයුතු සිදු කිරීමට තෝතැන්නකි.
කෞතුකාගාරයේ ඉදි කර ඇති සමරු අලෙවිහල හරහා ශ්‍රී ලංකාවේ ඉපැරැණි කර්මාන්ත ඇසුරෙන් නිර්මාණය කරන ලද පුංචි සමරුවක් කෞතුකාගාරය නැරැඹීමට පැමිණෙන මහජනතාවට අලෙවි කිරීමටත්, ඒ තුළින් එකී කර්මාන්තකරුවන්ගේ ආර්ථික මට්ටම ඉහළ නැංවීමට පුංචි දායකත්වයක් ලබා ගැනීමටත් අපේක්ෂිතයි.
දයානි මුණසිංහ
ප්‍රවෘත්ති නිලධාරී
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව

0 Comments