ඔහු වෘත්තියෙන් වෛද්‍යවරයෙකි. එපමණක් නොව කෙටිකතා, නවකතා, කාව්‍ය සංග්‍රහ මෙන්ම පරිවර්තකයකු ලෙස ද ඔහුගේ නිර්මාණකරණය සාහිත්‍ය කලාවේ විවිධ පරාසයන් සොයා දිව යයි. වෛද්‍ය චින්තන විරාජ් ලියනගේ මේ වන විට විවිධ විෂයයන් ඔස්සේ රචනා කර ඇති කෘති සංඛ්‍යාව පහළොවකට ආසන්නය. ඊට අමතරව ඔහුගේ නවතම කෘති හතරක් මේ වන විට දොරටවැඩීමට නියමිතය. එම නිර්මාණ අතර යොවුන් නවකතා, පරිවර්තන හා ළමා කතා සංග්‍රහ ද වේ. හෙතෙම සිංහල සහ ඉංග්‍රීසි භාෂා දෙකෙන්ම නිර්මාණකරණයේ යෙදෙන්නේය.
මේ සියල්ලම අතරේ ඔහු ගැන කිවයුතු තවෙකක් වේ. ඒ ඔහු හොඳ ගොවියෙකි. . විවේකයෙන් ගත කරන හැම අවස්ථාවකම ඔහු කල්ගත කරන්නේ එක්කෝ කුඹුරේය. නොමැතිනම් වත්තපිටියේය. දේශීය වී වගාව ගැන විශේෂ උනන්දුවක් දක්වන ඔහු සතුව දේශීය වී බීජ සංචිතයක් ද වෙයි. දේශීය වී ගොවිතැන සුරැකීමේලා දැඩි උනන්දුවක් දක්වන වෛද්‍ය ලියනගේ සිය කුඹුරුවල වගා කරන්නේ දේශීය වී ය. ආහාරයට ගන්නේ දේශීය සහල් පමණක් බවද ඔහු පවසයි.
දේශීය වී බීජ එකතුවක්
“දේශීය වී ගොවිතැන ගැන උනන්දුවක් දක්වන අප කණ්ඩායමක් එකතුවෙලා දේශීය වීවල ගුණාත්මකභාවය හා ඉන් ඇතිවන සෞඛ්‍ය සුරක්ෂිතතාව ගැන මහජනයා දැනුම්වත් කිරීමේ වැඩ සටහන් පවත්වනවා. එපමණක් නොවෙයි පැරැණි ගොවිමහත්වරුන් සමඟ එක්වී දේශීය ගොවිතැන අපේ පළාතේ ව්‍යාප්ත කිරීමටත් කටයුතු කරනවා.
මම උපන්නේ කෑගල්ලේ. ඉගෙන ගත්තේ ඉගිරිවත්ත විද්‍යාලයෙන්. ගිනිගත්හේන විද්‍යාලයෙන් සහ නිට්ටඹුව සංඝබෝධි විදුහලෙන් ද්විතීක අධ්‍යාපනය ලැබුවා. පසුව රාගම වෛද්‍ය පීඨයට ඇතුළත් වුණා. පතපොත ඇසුරු කරමින් නිර්මාණකරණයේ යෙදීම කුඩා කල සිටම කළා. මගේ පියාත් නිතරම පොතපත අසුරු කළ කෙනෙක්. ඒ අභාසය මටත් නොඅඩුවම ලැබුණා. වෛද්‍යවරයකු වීමට මා දිරිමත් කළේ මගේ පියා. ඉතා සුන්දර ගම් ප්‍රදේශයක ළමාවිය ගෙවුණු නිසා අපේ ළමා කාලයත් සුන්දරව ගෙවී ගියා. ඇළ දොළ කඳු තැනිතලා මේ හැම තැනකම සහොදරයන් තුන්දෙනාත් මගේ මිතුරන් පිරිසත් එක්ක දුව පැන ඇවිද්දා. ඒ ලද අත්දැකීම් හා විදීම් තමයි මගේ නිර්මාණවලට ප්‍රස්තුත වෙන්නේ.
මේ හැමදේම අතරේ අධ්‍යාපන කටයුතුත් සමබරව කරගෙන ගියා. හැමදාම පන්තියේ පළමු වැනියා වුණා. වෛද්‍ය විද්‍යාලයේදීත් මම පොත පතේම ඇලීගැලී හිටියේ නැහැ. බාහිර වැඩ කටයුතුවලට දායක වුණා. විශේෂයෙන් නිවේදන, කලා කටයුතු, ශිෂ්‍ය සංගම් කටයුතු මේ හැමදෙයකටම වගේ දායක වුණා. කලාව කියන දේ කුඩා කල සිටම ඇඟ ඇතුළේ තිබුණා. ඒත් එය මුවහත් වුණේ වෛද්‍යවරයෙකු ලෙස කටයුතු කරන සමයේදියි. මම මුලින්ම කෙටිකතා එකතුවක් විදිහට ලිව්වේ 'වෙද නළාවක සුසුම් හඬ ' කෘතිය. ඒ වෛද්‍යවරයෙකු ලෙස කටයුතු කරන්න පටන්ගත් මුල්ම අවධියේ. මට නිරතුරුව විවිධ තරාතිරමේ විවිධ ලෙඩරෝග වැලඳුණු රෝගීන් හමුවෙනවා. ඒ එක් එක් රෝගීන් මුහුණ පෑ සිදුවීම් ඇසුරෙන් තමයි මේ කෘතියට වස්තුබීජ සම්පාදනය වෙන්නේ. මෙහි අඩංගු හැම දේම සත්‍ය සිදුවීම්. හුදෙක් කතාවකට වැඩි අවබෝධයක් දැනුමක් පාඨකයාට මේ ඔස්සේ ලැබෙනවා.
ජනතාවට සෞඛ්‍ය දැනුම
සෞඛ්‍ය ක්ෂේත්රයෙන් වගේම යොවුන් නවකතා, පරිවර්තන, ළමා කතා, කවිය යන විවිධ අංශ ඔස්සේ මම නිර්මාණකරණයේ යෙදෙනවා. මේ වන විට පොත් පහළොවකට වැඩි ප්‍රමාණයක් එළිදක්වා තිබෙනවා. ඒ අතර, කොහොඹ දෙව් අඩවිය, අසිරිමත් යොවුන් විය, මගේ තාත්තා ( කාව්‍ය), තාත්තාගෙන් අහන්න, ගමට නමක් හැඳුණු හැටි, ස්ථුලභාවය හෙවත් තරබාරුකම, පුංචි අපට කතන්දර, දරුවන්ට බහුලව වැලඳෙන ලෙඩරෝග කෘති හඳුන්වා දෙන්න පුළුවන්. ශිලා යුගයට චාරිකාවක්, කඳුකරයේදී හමු වූ සෙටීගේ නෑයෝ සහ තවත් ළමා කතා වගේම පරිවර්තන කිහිපයකුත් ළඟදීම එළිදක්වන්න සූදානම්. මේ අතුරෙන් 'කොහොඹ දෙව් අඩවිය' කෘතියට පාදක වන්නේ ළමා කාලයේ මා ලද අත්දැකිම්. කිතුල්ගල ප්‍රදේශයේ විවිධ ස්ථාන සොයාගෙන කඳු වැටි ගල්ලෙන් සොයා ගිය අතීතයෙන් ගත් සිදුවිම් ඇසුරින් තමයි මේ කෘතිය රචනා වෙන්නේ. 'අසිරිමත් යොවුන් විය' කෘතියෙන් කතාබහට ලක් වෙන්නේ ළමා වියේ සිට යොවුන් වියට පරිවර්තනය වන අවධිය පිළිබඳවයි. ඊට අමතරව සඟරාවක වෛද්‍ය අතිරේකයට මම ලිපි මාලාවක් රචනා කරනවා. ඒ දරුවන් වෙනුවෙන්.
ලොකු ආත්ම තෘප්තියක්
මගේ කෘතිවලට හුඟාක් හොඳ පාඨක ප්‍රතිචාර ලැබෙනවා. ඒ ප්‍රතිචාර නිසා තමයි මේ විදිහට කෘති එළිදක්වමින් පාඨකයා වෙත මිහිරක් වගේම දැනුමකුත් මට ලබා දෙන්නට හැකි වී තිබෙන්නේ. අනෙක මම සේවය කරන බියගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මූලිකම කාර්යභාරයක් තමයි ජනතාවට සෞඛ්‍ය පිළිබඳ දැනුම ලබා දීම.
ගොවිතැන් කටයුතුවල යෙදෙන එකට අමතරව මං ලැබෙන හැම මොහොතෙදිම ලිවීමේ හා කියවීමේ යෙදීම මගේ පුරුද්දක්. එය මට ලොකු ආත්ම තෘප්තියක් ගෙන දෙන කාරණයක්. අද සමාජයේ හුඟදෙනෙකුට ලේඛන හැකියාව තියෙනවා. ඒත් ඒ අය උත්සාහ කරන්නේ නැහැ. වෙලාවක් නැහැ කියනවා. අපේ අත්දැකීම් හා දැනුම තවකෙනෙකුට බෙදලා දෙන එක ලොකු පිනක්. මම එකදිගටම නිර්මාණකරණයේ යෙදුණේ නැහැ. පළමු කෘතිය කරලා කාලයක් යන විට මගේ හිතවතුන් කිහිප දෙනෙකුගේම ඉල්ලීම හා දිරිමත් කිරීම උඩයි තව තවත් ලියන්නට පෙලඹුණේ. ඔවුන්ට මම ස්තුතිවන්ත වෙනවා.”
ජායාරූප - රංජිත් අසංක
from silumina sithmalyaya
0 Comments