වෛද්‍ය උපාධිධාරීන් සඳහා වෛද්‍ය නිලධාරී සීමාවාසික පත්විම් ලබාදීම අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (26) අතුරු තහනම් නියෝගයක් නිකුත් කෙළේය. මාර්තු මස 27 වැනි දින තෙක් මෙම අතුරු නියෝගය බල පැවැත්වේ.
සීමාවාසික පත්වීම් ලබා ගැනීමට සුදුසුකම් ලබා සිටියදී එම පත්වීම් තමන්ට නොදී වෛද්‍ය පීඨ සහ කොතලාවල වෛද්‍ය පීඨ සිසුන්ට පමණක් එම පත්වීම් ලබාදීමට එරෙහිව සයිටම් වෛද්‍ය උපාධිධාරින් පිරිසක් ගොනු කළ පෙත්සමක් සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කෙළේය.
සයිටම් සිසුන් වෛද්‍ය වෘත්තිකයන් ලෙස ලියාපදිංචි වීමට සුදුසුවන බවට අධිකරණය විසින් ද අනුමත කැර තිබියදී තමන්ට නොදී මෙම පත්වීම් ලබා දීමට කටයුතු කරන බවට පෙත්සම මඟින් පෙන්වා දී තිබිණි.
වෛද්‍ය වෘත්තිකයන්ගේ ඇබෑර්තු දහසක් පමණ තිබියදී මෙලෙස පත්වීම් ලබාදෙන්නේ 450 දෙනකුට පමණක් බවද පෙත්සමෙහි සඳහන් විය.
එලෙස තමන්ට පත්වීම් නොදී වෛද්‍ය පීඨ සහ කොතලාවල වෛද්‍ය පීඨ සිසුන්ට ලබාදීම මඟින් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට සයිටම් වෛද්‍ය උපාධිධාරින් සඳහන් කැර තිබුණි.
වත්තල ප්‍රදේශයේ පදිංචි එස්. එම්. හල්පෙ ඇතුළු තිදෙනකු මෙම පෙත්සම ගොනු කැර තිබුණි.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ, සෞඛ්‍ය ඇමැතිවරයා, අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු පිරිසක් මෙහි වගඋත්තරකරුවෝ වෙති.
ප්‍රසන්න ජයවර්ධන, ප්‍රීති පද්මන් සූරසේන සහ එස්. තුරෙයිරාජා යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවෙහි මෙම පෙත්සම කැඳවන ලදී. ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටියේය.
නෙල්කා මැදගෙදර

0 Comments