Ticker

6/recent/ticker-posts

Header Ads Widget

නිලවරණ නැති ක්‍රීඩා සංගම් 7ක වැඩ අභියෝගයට ලක්වෙයි

Author(s): 
ප්‍රින්ස් ගුණසේකර

ධූර කාලය ඉක්ම ගියත් මුල් පුටු රත් කරලා

ජාතික ක්‍රීඩා සංගම් 7ක් නිසි පරිදි ගිණුම් විගණනය නොකට නිලවරණ පැවැත්වීම පැහැර හැර ඇති බැවින් ඒවායේ කටයුතු නීත්‍යානුකූල තත්ත්වයෙන් බැහැරවී ඇතැයි වාර්තා වේ. හොකී, බැඩ්මින්ටන්, ජිම්නාස්ටික්, කායවර්ධන, නෙට්බෝල්, ජූඩෝ හා චෙස් යන ජාතික ක්‍රීඩා සංගම්වල නිළධාරීන්ගේ ධූර කාලය ඉක්ම ගියද නිලවරණ නොපවත්වා ඇතැම් අය එම තනතුරුවල දිගින් දිගටම රැදී සිටීම නීති විරෝධී බව ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව ලිපි මගින් දැනුම්වත් කිරීමට පියවර ගෙන ඇත. එහෙත් එම දැනුම්දීම් ගණනකට නොගෙන ජාතික ක්‍රීඩා සංගම් පවත්වාගෙන යෑමෙන් කල් ඉකුත්වූ නිලධාරීන් ගන්නා තීන්දු අභියෝගයට ලක්වනු ඇතැයි ක්‍රීඩා අමාත්‍යාංශ ප්‍රකාශකයකු පැවැසීය.

වසර 3ක් තිස්සේ ශ්‍රී ලංකා හොකී සම්මේලනයේ නිලවරණය පවත්වා ගැනීමට නොහැකිව සිටින අතර පසුගියදා එහි ව්‍යවස්ථා සංශෝධනයක් සිදු කිරීමට ගොස් සාමාජික සංගම්වල විරෝධතා එල්ලවී නිලවරණය පවත්වා ගැනීමේ අපහසුතා මතුවිය. හොකී සම්මේලනයේ නිලවරණය පැවැත්වීමට නොහැකි වීමෙන් වසර ගණනාවක් මෙරට හොකී සම්මේලනය ක්‍රියාකාරීත්වය ඇණහිටි අතර පරිපාලන කටයුතු වරින් වර ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල්වරයා යටතට පත්කර තිබිණි.

බැඩ්මින්ටන් ගිණුම් වාර්තා විගණනය නොවීමට අමතරව නිලවරණය සම්බන්ධව ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට එරෙහිව බස්නාහිර පළාත් බැඩ්මින්ටන් සංගමයේ සභාපතිවරයා ඇතුලු නිලධාරී පිරිසක් විසින් නඩුවක් ගොණුකර තිබිණි.

බැඩ්මින්ටන් පරිපාලනය නිශාන්ත ජයසිංහ මහතා ප්‍රමුඛ කමිටුවක් මගින් කලක් පාලනය වුවද එම කමිටුවේ බලතල ගැසට් පත්‍රයක් මගින් විසුරුවා අධ්‍යක්ෂ ජෙනරාල් මගින් නිලවරණය පැවැත්වීමේ අවස්ථා උදාකර ගැනීමට බලාපොරොත්තු වුවද තවමත් එම උත්සහය සාර්ථකවී නොමැත. මෙම තත්ත්වය හමුවේ ලෝක බැඩ්මින්ටන් සංගමයෙන් ජාත්‍යන්තර තහනමක් පැනවීමේ අවදානමක් පවතින බව බැඩ්මින්ටන් ප්‍රවීණයෝ පෙන්වාදී ඇත.

ශ්‍රී ලංකා ජිම්නාස්ටික් සංගමයේ නිලවරණය අනුබද්ධ ක්‍රීඩා සමාජ කිහිපයක් සාමාජික මුදල් නොගෙවීමෙන් සාමාජිකත්වය අහෝසිවූ බවට ක්‍රීඩා අමාත්‍යාංශයට ලැබුණු පැමිණිල්ලක් විභාග කිරීමෙන් කල් ගිය අතර තවමත් එහි අවසානයක් නැතැයි සාමාජික සංගම්වල චෝදනාවකි. ජිම්නාස්ටික් සම්මේලනයේ සාමාජික ක්‍රීඩා සමාජවල වාර්ෂික සාමාජික මුදල රුපියල් 5000ක් දක්වා ඉහළ දැමූ අතර නියමිත පරිදි මුදල් නොගෙවන සංගම්වලට දඩ මුදලක් ද නියම කොට තිබුණි. එම මුදල් සංශෝධනයත් සමග සාමාජික මුදල් ගෙවීම අඩුවී තිබේ. ජිම්නාස්ටික් සංගමයට අනුබද්ධ ක්‍රීඩා සමාජ 31ක් ඇති අතර එයින් සංගම් කිහිපයකට ඡන්ද අයිතිය අහිමිවී ඇත.

ශ්‍රී ලංකා කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනය නීත්‍යානුකූල නොවන ලෙස පවත්වාගෙන යෑමෙන් ක්‍රීඩාව පරිහානියට පත්වන බව එම සම්මේලනයේ විධායක සභිකයන් පිරිසක් පෙන්වාදී තිබියදී නිලවරණය නොපවත්වා වසර ගණනාවකට පෙර පත්වූ නිලධාරීන් දිගින් දිගටම කටයුතු කරමින් සිටිති. කායවර්ධන සභාපති හා ලේකම් අතර මත ගැටුම් අවසන් කරමින් වහාම නිලවරණයට අවශ්‍ය පසුබිම සකසන ලෙස ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා උපදෙස් දුන්නද එම උපදෙස් ගණනකට නොගෙන කායවර්ධන සම්මේලනයේ නිලධාරීන් සිටින බව විධායක සභිකයෝ චෝදනා කරති. වසර 2015 මැයි 15වැනිදා පැවැති නිලවරණයෙන් තේරී පත්වූ නිලධාරී මණ්ඩලය 2017න් අවසන් විය යුතු වුවද, මේවන තුරුම කටයුතු කරමින් සිටීම ක්‍රීඩා අමාත්‍යාංශයට ද බරපතල ප්‍රශ්නයකි.

ශ්‍රී ලංකා නෙට්බෝල් සම්මේලනයේ නිලවරණය මේ වසරේ පැවැත්වීමට අවශ්‍ය කටයුතු යොදන ලෙස ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව නෙට්බෝල් සම්මේලනයේ ලේකම් තිසාංගනී ෂන්මුගනාදන් මහත්මියට ඊමේල් මගින් දැනුම්දී තිබුණද එහි ගිණුම් විගණනය නොවීමෙන් නිලවරණය පැවැත්වීමට නොහැකි විය.

එහෙත් ශ්‍රී ලංකා නෙට්බෝල් සම්මේලනයේ සභාපතිනී ට්‍රික්සි නානායක්කාර මහත්මිය ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ මෙම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වෙත ලිපියක් භාරදී ඇති අතර එහි සදහන් වූයේ වසර 2017දී නෙට්බෝල් නිලවරණය කැඳවා ඇත්තේ 2019 දක්වා වසර දෙකක කාලයකට බැවින් මේ වසරේ නෙට්බෝල් නිලවරණය පැවැත්වීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බවය. මූල්‍ය වාර්තා විගණනය කිරීම ප්‍රමාදවූයේ පසුගිය නෙට්බෝල් සම්මේලනය සතුව තිබූ රුපියල් ලක්ෂ 3.5ක් සොයා ගැනීමට නොහැකිවීමෙන් බව ද නානායක්කාර මහත්මිය පෙන්වා දී ඇත.

ජූඩෝ සංගමය වසර ගනනාවක් තිස්සේ ආදායම් වියදම් පිළිබඳ වාර්තා අනුබද්ධ සාමාජික සංගම් වෙත ලබාදී නොමැත. එමෙන්ම ඒවා විගණනය කොට වාර්ෂික මහා සභාවක් හෝ නියමිත කලට නිලවරණයක් පැවැත්වීම පැහැර හැර ඇතැයි චෝදනාවකි. ශ්‍රී ලංකා චෙස් සංගමයටද ඇත්තේ වසර ගණනාවක් තිස්සේ ගිණුම් වාර්තා විගණනය නොකිරීමේ චෝදනාවය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();